තීරු බදු සම්බන්ධයෙන් අමෙරිකාව සමග කළ සාකච්ඡා සාර්ථක බවත් එහි ප්රතිඵල ඒකාබද්ධ නිවේදනයකින් කඩිනමින් ඉදිරිපත් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (23) පස්වරුවේ රත්නපුරයේදී පැවැති ජන රැලියකට එක්වෙමිනි.
පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කර ජාතික ජන බලවේගය සංවිධාන කරන, ජය නියතයි - ගම අපිටයි" ජන රැලි මාලාවේ තවත් රැලියක් අද පස්වරුවේ රත්නපුරයේදී පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙනි.
එහිදී අදහස් දැක්වූ නාධිපති අනුර කුමාර දිසානායක,
"සමහරු අපෙන් අහනවා ඔයාලා සොරකම් නොකලාට කරපු අයට මොකද කරන්නේ කියලා. මම අද උදේත් නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කළා. කොතනද හිරවෙලා තියෙන්නේ කියලා. ඉදිරියේදී නඩු රැසක් මහාධිකරණයේ පවරනවා කියලා දැනුම් දුන්නා. ඉතින් අපිට දැනෙනවා මේ ආයතන ශක්තිමත්. ජනතාව අපිට ඡන්දය දීලා නීතිගරුක රටක් අපේක්ෂා කළා නම් මාලිමා රජය ඒ තත්වය ඇති කරලා තියෙනවා."
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බවත්, පාසලට ඇතුලත් කිරීමේදී අසාධාරණයක් සිදුවන්නේ නම් අමාත්යංශයට දැනුමි දෙන ලෙසත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
දොඩංගොඩ ප්රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අද (22) පස්වරුවේ අග්රාමාත්යවරිය මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය.
තමන්ගේ සමාජය නිවැරදි කරගන්න එකඟතාවය මත වැඩ කරගෙන යනකොට වැරදි හදාගන්න, ඒ ක්රමය වෙනස් කරන්න සංවිධානාත්මකව ජනතාව මැදිහත් වෙනවා, මේක තමයි බලාපොරොත්තු වූ වෙනස. මේක තමයි ප්රජාතන්ත්රවාදය කියන්නේ. වෙනදා පොලීසියට පැමිණිල්ලක් දාන්න ගියාම අහන්න වෙන බැණුම් දැන් අහන්න වෙන්නේ නැහැ. සාවධානව ඇහුම්කන් දෙනවා, පැමිණිල්ල නිවැරදිව ලියාගන්නවා. සුහදව කතා කරනවා මේක තමයි ජනතාව ඉල්ලන වෙනස,
මේ රටේ ජනතාවට තිබුණ ලොකුම කරදරේ දරුවෙක් පාසලට ඇතුළත් කරන එක. මෙතෙක් කාලයක් පුරුද්දක් හැටියට ළමයි පාසලට දාගන්න දේශපාලනඥයින් ගාවට පෝලිමේ ආවා ලියුම් ගන්න. එහෙම තමයි දරුවන් පාසලට ඇතුලත් කළේ ඒ ක්රමය අපි වෙනස් කළා. අද ජනතාව අපිට කියනවා ලිපියක් ඉල්ලන එක වැරදියි කියලා අපි දන්නවා. ඒ වැරැද්ද වෙනවා දකින්න කැමති නෑ කියලා. ඒ එන ජනතාව දුක කියලා අඩනවා සමහර කාරණාවලට මටත් ඇඩෙනවා. හැබැයි ඒ කිසි කෙනෙක් වැරදි වැඩක් කරන්න කියලා මට කියලා නැහැ. පෞද්ගලික දෙයක් වෙනුවෙන් දේශපාලනඥයින්ගෙන් වාසි බලාපොරොත්තුවෙන එක වැරදියි කියලා ජනතාවම කියනවා, ජනතාව අපි ළගට ඇවිත් දුක කිව්වත්, ඇඬුවත්, දේශපාලනඥයින්ගෙන් උදව් ඉල්ලන්නේ නෑ කියන තරමට හැදිලා නම් අපි වෙනස් වෙලා නැද්ද, ජනතාව වෙනස් වෙලා නැද්ද මේක තමයි මේ රටේ ජනතාව ඉල්ලපු දේ.
මේ අලුත් දේශපාලන සංස්කෘතිය සෑම ස්ථරයකම සිදුවිය යුතුයි. ජනාධිපති, පාර්ලිමේන්තුව, අමාත්ය මණ්ඩලය වගේම පලාත් පාලන ආයතන තුළත් ඒ වෙනස ඇතිවිය යුතුයි. ඒ ගැළපීම සිදු නොවුනොත් මේක කරන්න බැහැ.
සමහර පලාත් පාලන ආයතන තිබෙන බව හෝ එම ආයතන සිදුකළ යුතු මෙහෙය පිළිබඳව ජනතාව දැනුවත් නැති බවත් ඊට හේතුව එවැනි ආයතනයක් තිබෙන බව දැන ගැනීමට හෝ සේවයක් සිදුවී නැතිබවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
සෞඛ්ය අමාත්ය නලින්ද ජයතිස්ස, ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු මහජන නියෝජිතයින් අපේක්ෂකයින් සහ පාක්ෂිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රාදේශීය සභා අපේක්ෂක ඩෑන් ප්රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තුන්දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ
ඔවුන්ගෙන් මේ වනවිට ප්රකාශ සටහන් කර ගනිමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රාදේශීය සභා අපේක්ෂක ඩෑන් ප්රියසාද් ඝාතනයට කණ්ඩායම් 04ක් මගින් විමර්ශන ක්රියාත්මකයි.
කොලොන්නාව, සාලමුල්ල ප්රදේශයේ මහල් නිවාසයක් තුළදී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් ඩෑන් ප්රියාසද් බරපතළ තුවාල ලබා ඊයේ (22) රාත්රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.
පොලීසිය පැවසුවේ ප්රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මියගිය බවයි.
39 හැවිරිදි ඩෑන් ප්රියසාද් වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනා පිස්තෝලයකින් වෙඩි තබා පළාගොස් ඇති බවයි.
වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එරෙහි චෝදනා විමර්ශනය සිදුකිරීම සඳහා වන ත්රිපුද්ගල කමිටුව පත්කර ඇත.
ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල, පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරු නම්කර තිබේ.
ඒ අනුව එම කමිටුව අද (23) පළමුවරට පාර්ලිමේන්තුවේදී රැස්වී මූලික සාකච්ඡා සිදුකර ඇත.
මෙම කමිටුව එළැඹෙන 25වනදා නැවත රැස්වීමට නියමිතව තිබේ.
මෙරට දරුවන්ට පෝෂ්යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ක්රියාත්මක කිරීමට, ප්රතිපත්තිමය තීන්දුවක් ගත් බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සමන්ත කුමානායක සඳහන් කරයි.
ලේකම්වරයා මේ බව සඳහන් කළේ, අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීයි.
ලෝක ආහාර වැඩසටහනේ ආධාරමත ක්රියාත්මක වන මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ පාසල් සිසුන් රක්තහීනතාව අඩු කිරීමටයි.
මෙම සාකච්ඡාව සඳහා අමාත්යාංශ ලේකම්වරු,රාජ්ය ආයතන සහ ලෝක ආහාර වැඩසටහන නියෝජනය කරමින් මහත්ම මහත්මීන් පිරිසක් එකව සිටියහ.
මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද (22) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
පොලිස් මාධ්ය ඒකකය සඳහන් කරන්නේ, බන්ධනාගාරයේ සිටි රැඳවියන් තිදෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමට යාමේදී මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි.
එහිදී වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවියන් පිරිසක් ඊට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර ඒ අනුව තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩිතබා ඇත.
ඒ අනුව හටගත් නොසන්සුන්තාව තරමක් දුරට පාලනය කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
වාර්තාවන පරිදි බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය කැඳවා ඇත.
අද (22) රාත්රියේ වෙඩි ප්රහාරයකට ලක්වූ ඩෑන් ප්රියසාද් ජීවිතක්ෂයට පත්වී තිබේ.
අද රාත්රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්රියසාද් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇත.
සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටී.
යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලීසිය සිදුකරයි.
කොරියානු ජනරජ නාවික හමුදාවේ නෞකාවක් වන ‘Kang Gam Chan’ නෞකාව නිල සංචාරයක නිරත වෙමින් අද (අප්රේල් 22) දින කොළඹ වරායට සේන්දු විය.
අද උදෑසන එම නෞකාවේ පැවති මෙම උත්සවයට ආරක්ෂක නියෝජ්ය අමාත්ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්රාමික) සහභාගී විය.
මෙම අවස්ථාවට ශ්රී ලංකාවේ කොරියානු තානාපතිනි අතිගරු මියන් ලී මැතිනිය ද සහභාගී විය.
නියෝජ්ය අමාත්යවරයා නෞකාවේ කපිතාන්වරයා සහ කොරියානු තානාපතිවරිය සමඟ නෞකාව නැරඹීමට එක් වූ අතර, අනතුරුව පැවති සාකච්ඡාවේදී නියෝජ්ය අමාත්යවරයා මෙම නෞකා සංචාරය දෙරට අතර දීර්ඝ කාලීනව පවත්නා හවුල්කාරිත්වයේ සන්ධිස්ථානයක් ලෙස සටහන් වන බවත්, එය නාවික සහයෝගීතාවයේ ශක්තිය පමණක් නොව සමුද්රීය ආරක්ෂාව සහ කලාපීය ස්ථාවරත්වය සඳහා දෙරටේ පොදු දැක්ම ද පිළිබිඹු කරන බවත්, සඳහන් කළේය.
ශ්රී ලංකාවේ තරුණ සංවර්ධනය සඳහා කොරියාවේ දායකත්වය ද නියෝජ්ය අමාත්යවරයා අවධාරණය කළේය. ශ්රී ලාංකික තරුණ තරුණියන්ගේ වෘත්තීය කුසලතා සහ භාෂා ප්රවීණතාවයන් වැඩිදියුණු කිරීම සඳහා කොරියානු ජනරජය විසින් ඉටු කරන ලද වැදගත් කාර්යභාරය ඔහු මෙම අවස්ථාවේ අගය කළේය.
දෙරට අතර අන්යෝන්ය වශයෙන් වැදගත් වන දිගුකාලීන සබඳතා අගය කරන බවත්, සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්, කොරියානු තානාපතිනිය පැවසීය.
මෙම අවස්ථාවට ත්රිවිධ හමුදාපතිවරුන්, රාජ්ය තාන්ත්රික සාමාජිකයින් සහ කොරියානු තානාපති කාර්යාල නිලධාරීන් ද, සහභාගී වූහ.
ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්ය කටයුතු ලබන 26 වැනිදා සිදුකිරීමට තීරණය කළ බව වතිකානය නිවේදනය කර තිබේ.
ෆ්රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්යය ශාන්ත පීතර බැසිලිකාව ඉදිරිපිට එළිමහනේ සිදු කෙරේ.
කාර්දිනල් විද්යාලයේ පීඨාධිපති ජියෝවානි බැටිස්ටා රේ මහතා දේව මෙහෙය මෙහෙයවනු ඇත.
සාමාන්යයෙන් පාප් වරයෙකුගේ අවමංගල කටයුතු වඩාත් විචිත්රවත්ව සාම්ප්රදායිකව සිදුකෙරුණත් ෆ්රැන්සිස් පාප් වහන්සේ පළකළ අභිමතය පරිදි උන් වහන්ගේ අවමංගල කටයුතු වඩාත් සරලව සිදුකිරීමට සැලසුම් කර තිබේ.
රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුව 06 වන වරටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ යන අයගේ ප්රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) රැස් විය.
අග්රාමාත්ය ලේකම් ප්රදීප් සපුතන්ත්රි, ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන ෙද අමාත්යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජික සාමාජිකාවෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශුද්ධෝතම ෆ්රැන්සිස් පාප් වහන්සේට සිදුකරනු ලබන ගෞරවයක් වශයෙන් ලොව ප්රසිද්ධ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය නිවා දැමීමට තීරණය කර තිබේ.
පැරිස් නගරාධිපතිනි ඈන් හිඩැල්ගෝ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ පාප් වහන්සේගේ මතකයට ගෞරව කිරීමක් වශයෙන් අයිෆල් කුළුණ අද රාත්රියේදී නිවා දැමීමට තීරණය කළ බවය.
මේ අතර පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක් ශෝක කාලයක් ප්රකාශයට පත් කර තිබේ.
ඒ අනුව ආර්ජන්ටිනාවේ දින හතක ශෝක කාලයක් ප්රකාශයට පත් කර ඇති අතර ෆ්රැන්සිස් පාප් වහන්සේ ලතින් අමෙරිකාවෙන් පැමිණි පළමු පාප් වහන්සේ ලෙසද සැලකේ.
එමෙන්ම බ්රසීලය සතියක ශෝක කාලයක්ද ප්රකාශයට පත් කර ඇති අතර ඔස්ට්රියාවේ එරට දේශීය වේලාවෙන් පස්වරු 5.00ට රට පුරා දේවස්ථානවල සීනු නාද කර ඇති අතර එම දේවස්ථාන සියල්ලගේම කළු කොඩි ද ඔසවා තිබේ.
තවද ස්පාඥඤයේ දින තුනක ශෝක කාලයක් ප්රකාශයට පත් කර ඇති අතර ප්රංශයේ පැරිසියේ නොට්රේ ඩෙම් ආසන දෙව් මැදුරේ සීනු අද දින 88 වතාවක් නාද වී තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ ලබන 25 වැනිදා පෙනී සිටින්නැයි නැවත දැනුම්දීමක් කර තිබේ.
ඒ, දූෂණ විරෝධී පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායකට එරෙහිව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාගැනීම සඳහායි.
පසුගිය 17 වැනිදා අල්ලස් කොමිසම හමුවේ හිටපු ජනාධිපතිවරයාට පෙනී සිටින ලෙස දැනුම්දීමක් කළද එම දිනයේ රනිල් වික්රමසිංහ කොළඹ නොමැති බව දන්වමින් කොමිසම හමුවට පැමිණියේ නැත.
එදින නොපැමිණිමට ඉදිරිපත් කර ඇති හේතුව සාධාරණ දැයි පරීක්ෂණයට යටත්ව නව දිනය ලබා දුන් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ප්රකාශ කළේය.
මේ අතර රනිල් වික්රමසිංහ අද ප්රකාශ කළේ සිය නීතිඥවරයා විදේශගතව සිටින බැවින් ඔහු ආපසු පැමිණීමෙන් පසුව දිනයක් ලබා ගන්නා බවයි.
මේ වන විට වැඩ තහනමට ලක් වී සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව යළිත් වරක් මාතර මහේස්ත්රාත් අධිකරණයට කැඳවීමට නියෝග කර තිබෙයි.
ඒ අනුව ඔහුට 25වනදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස මාතර මහේස්ත්රාත්වරයා අද (21) නියෝග කර තිබෙන බව වාර්තා වෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුණු දැක්වීමකින් අනතුරුව මහේස්ත්රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.
දේශබන්දු තෙන්නකෝන් අධිකරණ නියෝග නොතකමින් මාතර මහේස්ත්රාත් අධිකරණයෙන් වාහනයකින් පිටව යාම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කරුණු දැක්වීමට නියමිත බැවින් දේශබන්දු තෙන්නකෝන් හට අධිකරණයේ පෙනි සිටින ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අද ඉල්ලීම් කර තිබෙන බව වාර්තා වෙයි.
හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.
ඒ ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත වූ බව කියන සිද්ධියට අදාළව සිදුවන විමර්ශන සඳහා ප්රකාශයක් දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමක් අනුවයි.
එම සිද්ධියට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා පසුගිය 07 වැනිදා ද හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය.
ඒ අනුව පැය කිහිපයක ප්රකාශයක් ලබා දීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නික්ම ගියේය.
ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි.
88 හැවිරිදි පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන් වහන්සේගේ නිවසේදීය.
ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන් වහන්සේ එක්වුණි.
ශ්වසන මාර්ගය ආශ්රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප් වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.
පාස්කු සඳුදා පෙ.ව. 9:45 ට, අපෝස්තලික මණ්ඩලයේ කැමර්ලෙන්ගෝ කාදිනල් කෙවින් ෆැරල්, කාසා සැන්ටා මාර්ටා හිදී මේ බව නිවේදනය කළේය.
“ආදරණීය සහෝදර සහෝදරියනි, අපගේ ශුද්ධ වූ ෆ්රැන්සිස් පියතුමාගේ අභාවය පිළිබඳව මම දැඩි ශෝකයෙන් ප්රකාශ කළ යුතුයි.
අද උදෑසන 7:35 ට රෝමයේ රදගුරු ෆ්රැන්සිස් පියතුමාගේ නිවසට ආපසු ගියේය. ඔහුගේ මුළු ජීවිතයම ස්වාමින් වහන්සේට සහ උන්වහන්සේගේ පල්ලියට සේවය කිරීම සඳහා කැප කරන ලදී. ශුභාරංචියේ වටිනාකම් විශ්වාසවන්තව, ධෛර්යයෙන් සහ විශ්වීය ප්රේමයෙන්, විශේෂයෙන් දුප්පත්ම සහ වඩාත්ම ආන්තික වූවන්ට පක්ෂව ජීවත් වීමට ඔහු අපට ඉගැන්වීය. ජේසුස් ස්වාමීන් වහන්සේගේ සැබෑ ගෝලයෙකු ලෙස ඔහුගේ ආදර්ශයට ඉමහත් කෘතඥතාවයෙන් යුතුව, ෆ්රැන්සිස් පාප් වහන්සේගේ ආත්මය ඒකීය හා ත්රිත්ව දෙවියන් වහන්සේගේ අසීමිත දයානුකම්පිත ප්රේමයට අපි භාර දෙමු.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්යාපන ක්රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විෂමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
වන්නි දිස්ත්රික්කයේ ඉරට්ටපෙරියකුලම් නගර ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ඇය එසේ පැවසීය .
කිසිම දරුවකුට පාසල් අධ්යාපනය මඟ හැරීමට ඉඩ නොතබමින් දහතුන් වසරක අධ්යාපනය සියලු දරුවන්ගේ අයිතියක් ලෙස තහවුරු කරමින් විභාග කේන්ද්රීය අධ්යාපන ක්රමයෙන් මිදුණු පුළුල් අධ්යාපන ක්රමවේදයක් හඳුන්වා දෙන බව අගමැතිනිය ප්රකාශ කළාය.
එමෙන්ම පුළුල් අධ්යාපන පරිවර්තනයක් කිරීම උදෙසා පාසල් දරුවන්ගේ විෂය නිර්දේශය, ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්රමවේදය, විභාග ක්රමවේදය, පාසල්වල පන්තිකාමර ආකෘතිය සහ යටිතල පහසුකම් යන සියලු ක්ෂේත්ර වෙනස් විය යුතු බවයි අග්රාමාත්යවරිය වැඩිදුරටත් පැවසුවාය .
මෙවර අයවැයෙන් ඉතිහාසයේ අධ්යාපනය වෙනුවෙන් වෙන්කරන ලද විශාලතම මුදල වෙන් කර ඇති බව අග්රාමාත්යවරිය මෙහිදී ප්රකාශ කළාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
