V2025

පුවත්

ජනාධිපතිවරයාගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් - සාගල

රට ගොඩනැඟීම සඳහා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති රාජ්‍ය නිලධාරීන් සහ ලෝක බැංකු සාමාජිකයින් අතර ලෝක බැංකු අයවැය සහාය සහ සංවර්ධන ප්‍රතිපත්ති සූදානම් කිරීමේ මෙහෙයුම (DPO) ආරම්භ කිරීමේ හමුවට එක්වෙමිනි.

රට ආර්ථික වශයෙන් ස්ථාවර කිරීමට, ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් ඇති කර ගැනීමට සහ අවශ්‍ය මාර්ග සිතියමට යාමට මෙය හොඳම අවස්ථාව බව පෙන්වා දුන් රත්නායක මහතා රටක් ලෙස අපට එම හැකියාව තිබෙන බවත් එයින් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

ඉදිරි සති දෙක අවසානයේ එම ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමට අදාළ අවසන් වාර්තාව ලබා ගැනීම, මාර්ග සිතියම සැකසීම සහ කාල රාමුවට අනුව සියලුදෙනා කැපවී කටයුතු කිරීමේ වැදගත්කම ද සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙහිදී සඳහන් කර සිටියේ, රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැපවී සිටින බවත් ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ඉතා අසීරු තීරණ ගෙන ඇති බවත්ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රට වෙනුවෙන් වූ ක්‍රියාකාරී ප්‍රතිපත්තිය සහ දැක්ම පිළිබඳ මවිතයට පත් වන බවත් ඊට සහාය දැක්වීමට ලෝක බැංකුව කටයුතු කරන බවත් මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරීස් හඩඩ් ස්වෝස් (Faris Hadad-Zervos) මහතා සඳහන් කළේය.

ප්‍රතිපත්ති සහ ආයතනික ප්‍රතිසංවිධානය සඳහා රජයන්ට සෘජු අයවැය සහාය ලබා දෙන සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් හරහා විශේෂිත සංවර්ධන ප්‍රතිඵල සමූහයක් සාක්ෂාත් කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණු වේ.

අපේක්ෂිත සංවර්ධන මූල්‍ය අවශ්‍යතා සමඟ කටයුතු කිරීමට ඉඩ සැලසීම සඳහා වේගවත් මූල්‍ය ආධාර සැපයීම, මූල්‍ය පාලනය පරිවර්තනය කිරීම, තරඟකාරිත්වය ඉහළ නැංවීම යන කරුණු තුනක් යටතේ මෙම මෙහෙයුම් සැලසුම් කර ඇත.

ණය කළමනාකරණය සහ විනිවිදභාවය, මූල්‍ය අධීක්‍ෂණය, බදු පරිපාලන ප්‍රතිපත්තිය වැඩිදියුණු කිරීම, රාජ්‍ය ප්‍රසම්පාදන විනිවිදභාවය මෙන්ම මුදලෙහි වටිනාකම වැඩි කිරීම, ස්වෛරී මූල්‍ය අංශයේ සම්බන්ධය බිඳ දැමීම සහ ක්‍රමානුකූල අවදානම අවම කිරීම යන ක්ෂේත්‍ර පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා මෙහිදි කරන ලදී.

රජය සතු ව්‍යවසාය පිළිබඳ අධීක්ෂණය ප්‍රතිසංස්කරණය සහ වැඩි දියුණු කිරීම, ජාතික තීරුබදු ප්‍රතිපත්තියේ අපනයන විරෝධී නැඹුරුව අඩු කිරීම, විදේශ ආයෝජන සඳහා ඇති බාධා ඉවත් කිරීම, බලශක්ති සහ ප්‍රවාහන ක්ෂේත්‍රය ආනයනික ඉන්ධන මත යැපීම අඩු කිරීම, වඩාත් දේශගුණික හිතකාමී කිරීම, සමාජ ආරක්ෂණ ආයතන, බෙදා හැරීමේ පද්ධතිය ශක්තිමත් කිරීම සහ ඉලක්ක කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට සමාජ සවිබල ගැන්වීම් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ලෝක බැංකුවේ දේශීය කළමනාකරු චියෝ කන්දා සහ ලෝක බැංකු කණ්ඩායමේ සාමාජිකයින් හා රේඛීය ආයතනවල නිලධාරීහු එක්ව සිටියහ.

සංගීතාගෙන් ජීවන්ගෙන් පැය 05 බැගින් CID ප්‍රශ්න කරලා !

තිළිණි ප්‍රියමාලි කළ මහා පරිමාණ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනයන්ට අදාළව ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්න මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (07) පැය 05ක පමණ කාලයක් දීර්ඝ ලෙස ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.

තිළිණි ප්‍රියමාලි සමඟ ඇයට තිබුණු හිතවත්කම් ගැන මෙන්ම ඇය සමඟ කර ඇති ගනුදෙනු සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරමින් ප්‍රශ්න කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් තිළිණි සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලින් මතු කර ගත් වීඩියෝ දර්ශනයක් සංගීතා වීරරත්න මහත්මියට ඉදිරිපත් කරමින් ඒ ගැන විමසීමේදී ඇය කිසිවක් පැවසීමට නොහැකිව මඳ වේලාවක් නිරුත්තර වී සිටි බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

සංගීතා වීරරත්න මහත්මිය විසින් ප්‍රශ්න කිරීමේදී ලබා දුන් තොරතුරු සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් පැවැත්වෙන බවත් එහිදී ඇගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව හැඟී ගියහොත් ඇයව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

තිළිණි ප්‍රියමාලි සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වීම් සම්බන්ධයෙන් පසුගිය සතියේ ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගණ ශිල්පිනියක් වූ සේමිණි ඉද්දමල්ගොඩ මහත්මියගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 4ක් ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන්කර ගත්තේය. තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙ‍ෙරන විමර්ශනයට අදාළව තවත් නවක නිළියක්ව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති අතර, ඇය මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව හමුවේ පෙනී සිට නැත. ඇයත් ඉදිරියේදී මේ ආකාරයටම පැමිණ ප්‍රකාශයක් දෙනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

තිළිණි ප්‍රියමාලි ජනප්‍රිය නිවේදක යුවළකට නිවසක් මිලදී ගැනීමට දී ඇතැයි කියන කෝටි එකහමාරක මුදලක් සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන නිලධාරින්ගේ අවධානය යොමු වී තිබේ. එම නිවේදක යුවළක් ද ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත බව එහි අභ්‍යන්තර තොරතුරු සඳහන් කළේය.

මේ අතර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග මහතාගෙන් සහ එම මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සෙනසුරදා පැය 5 කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇත්තේ තිලිණි ප්‍රියමාලී සමඟ ඔහුටත් ඔහුගේ පවුලේ සමාජිකයන්ටත් පැවැති සම්බන්ධතාවය සහ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමක් සම්බන්ධයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

ඉදිරියේදී ඒ මහතාගේ පවුලේ කිහිපදෙනකුගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කරයි.

ගයාන් කුමාර වීරසිංහ

ගෝලීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට තිරසර ණය සහන සැලැස්මක් අවශ්‍යයි - ජනපති

ගෝලීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තිරසර ණය සහන සැලැස්මක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) හි දී පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP-27 සමුළුවේ “ආහාර සුරක්ෂිතතාව” පිළිබඳ වට මේස සාකච්ඡාවට අද (07) සහභාගී වෙමිනි.

2023 පෙබරවාරි මස වන විට මෙම තිරසර ණය සහන සැලැස්ම සකස් කර 2023 පළමු කාර්තුව අවසන් වන විට එය ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එසේ නොවුණහොත් රටවල දේශපාලන හා සමාජ ව්‍යුහයන්ට සිදුවිය හැකි හානිය නැවත පිළිසකර කළ නොහැකි බව පැවසීය.

ඉදිරි දෙවසර සඳහා ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ COP27 හි ප්‍රධානත්වය දරන ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ කථාව පහත දැක්වෙයි .

අද වන විට බිලියනයකට ආසන්න ජනතාවක් කුසගින්නේ පෙළෙන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව මිලියන 300 කට අධික ජනතාවගේ ජීවනෝපාය අනතුරට පත්ව තිබෙනවා. මෙම බලපෑමට ලක් වූ රටවල් වර්ග දෙකක් තිබෙනවා.ඉන් එකක් තවදුරටත් ආහාර නොමැති රටවල්. එනම් ඉහළ යන වියදම් හේතුවෙන් ආහාර මිලදී ගැනීමට ක්‍රමයක් නැති හෝ තමන්ගේම ආහාර නිෂ්පාදනය කිරීමට හැකියාවක් නොමැති රටවල්. අනෙක සාම්ප්‍රදායිකව ප්‍රමාණවත් ආහාර සැපයුමක් තිබූ, නමුත් පිරිවැය ඉහළයාම හේතුවෙන් ආහාර සපයා ගත නොහැකි රටවල්.
පසුගිය සමයේ ඇතිවු පොහොර ගැටලුව හේතුවෙන් ලංකාවට ආහාර නිෂ්පාදනය සිදු කිරීමට නොහැකි වුණා. කෙසේවෙතත් අප විසින් ක්‍රියාවට නංවන ලද ආහාර සුරක්ෂිතතාව සඳහා වූ ඒකාබද්ධ යාන්ත්‍රණය මගින් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගයෙන් මෑතකදී අපට පොහොර තොග ලබා ගැනීමට හැකි වුණා. එසේ වුවද, ආහාර ලබා ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති සැලකිය යුතු පිරිසක් අපේ රටේ ඉන්නවා.

මෙම කොටස් දෙකටම අයත් රටවලට අවශ්‍ය ආහාර ලබාදීමට සියලුදෙනා සහතික විය යුතුයි. එම ජනතාවට ආහාර සැපයීම සදහා මුල්‍ය ආධාර අවශ්‍ය වෙනවා. මෙම කාණ්ඩ දෙකටම පොදු කරුණ නම් ණය පොළිය ඉහළ යාමයි. වැඩිවන ණය පිරිවැය නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල සමස්ත ජනගහනය සඳහා ආහාර සැපයුම සහතික කිරීම වඩා දුෂ්කර වී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර ඇත්තේ ඉහළ යන ආහාර හා පොහොර මිල දරා ගත නොහැකි වනු ඇති බවයි. ණය පොළී පිරිවැය ඉහළ යාමත් සමඟ බලපෑමට ලක් වූ රටවල් 48 හි ආහාර ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 9 ක් එකතු වන බවත් එහි සඳහන් වෙනවා. මෙයින් අදහස් කරන්නේ මෙම රටවල් වර්ග දෙකෙහිම ණය අර්බුදයට තීරණාත්මක විසඳුමක් අවශ්‍ය බවයි.

මේ තත්ත්වයට නිසි ලෙස මුහුණ දීමට දැනට කිසිදු පොදු සැලැස්මක් හෝ කේන්ද්‍රස්ථානයක් නොමැති බවයි පෙනෙන්නට තිබෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, COP, ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), ලෝක ආහාර වැඩසටහන (WFP) ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එක්ව එම කේන්ද්‍රස්ථානය ස්ථාපිත කළ යුතු වෙනවා.

2023 සහ 2024 ආහාර අවශ්‍යතා තක්සේරු කර ආහාර තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස මම COP27හි ප්‍රධානියා ලෙස ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටිනවා.

බහුආංශික අරමුදල් ප්‍රභවයන් සමඟ සමීපව කටයුතු කිරීම හා ගෝලීය ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා තිරසාර ණය සහන සැලැස්මක් කඩිනමින් සකස් කළ යුතුයි. මෙම සැලැස්ම 2023 පෙබරවාරි වන විට සකස් කර 2023 පළමු කාර්තුව අවසන් වන විට ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි.
මේ සඳහා අපි කඩිනමින් ක්‍රියා කළයුතුයි. එසේ නොවුනහොත් රටවල දේශපාලන හා සමාජ ව්‍යුහයන්ට සිදුවන හානිය නැවත පිළිසකර කළ නොහැකි වනු ඇති බව සඳහන් කරන්න කැමැතියි. එළැඹෙන COP28 සමුළුවේ දී ගෝලීය ආහාර සුරක්‍ෂිතතාව සහතික කිරීම සඳහා අප මධ්‍ය කාලීන සැලැස්මක් සම්පාදනය කිරීම අතිශයින් වැදගත් බව ද කිව යුතුයි.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ක්‍රිකට් තහනම් වූ ධනුෂ්ක ගැන දසුන් කතා කරයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිදු වූ දේ පිළිබඳව තමන් කණගාටුවට පත්වන බව නායක දසුන් ශානක පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට යාම හේතුවෙන් ලංකා කණ්ඩායම අද (07) මෙරටට පැමිණි අවස්ථාවේය.

“ඇත්ත තත්ත්වය තාම දන්නේ නෑ මොකද වෙලා තියෙන්නේ කියලා. අධිකරණයෙන් ඉක්මනින්ම ඒකට පිළිතුරක් හම්බවෙයි. අපි දැනගෙන හිටියේ නෑ එහෙම දෙයක් වෙලා කියලා. අපිට කතා කරන්න වුණේ නෑ.”

මේ අතර ධනුෂ්ක ගුණතිලකට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පනවා ඇති බව වාර්තා වන අතර ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්ය.

ආයතනයේ සභාපති ශම්මිද සිල්වා සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියාවේ අධිකරනයෙන් ලැබෙන තීන්දුව මත ඔහුගේ ක්‍රිකට් අනාගතය තීන්දු වනු ඇති බවයි.

ලංකා - ස්ලෝවේනියා ජනපතිවරු හමුවෙති !

COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ස්ලෝවේනියා ජනරජයේ ජනාධිපති බෙරුට් පාහෝර් (Borut Pahor) අතර හමුවක් අද (07) සිදු විය.

ස්ලෝවේනියා ජනාධිපතිවරයා මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහව ඉතා සුහදශීලිව පිළිගත් අතර අනතුරුව නායක දෙපළ සාකච්ඡාවකට එක් වූ බව වාර්තා වෙයි.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන සහභාගී වූහ.

කන්දකාඩු සිදුවීම ගැන ජනපති වාර්තාවක් කැඳවයි !

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දීමක් සිදු කර ඇති බව වාර්තා වෙයි.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

එවැනි සිදුවීම් යළි ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා එහිදී ඉල්ලා සිටියේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින පුද්ගලයන් දෙපිරිසක් අතර ඊයේ (06) ආරම්භ වූ ගැටුමක් අතරතුර 05 දෙනකු තුවාල ලබා 50ක පමණ පිරිසක් පළා ගොස් ඇත. නොසන්කාරී තත්වය තවදුරටත් පවතින බැවින් පොලිසියේ සහ හමුදාවේ සහය ඉල්ලා ඇති බව ද පළා ගිය පිරිස් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.

මෙම ගැටුමට මුල් වී ඇත්තේ දෙදෙනකු අතර ඇති වූ බහින්බස්වීමකි. ඔවුන් දෙදෙනා සමඟ විශාල පිරිසක් දෙපැත්තට බෙදී අනතුරුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ගල්මුල්වලින් පවා එකිනෙකාට ප්‍රහාර එල්ලකරගෙන ඇති බව වාර්තාවේ.

ධනුෂ්කට ඇප නෑ !

අතවර චෝදනා මත අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම සිඩ්නි අධිකරණ විනිසුරු රොබට් විලියම්ස් අද(07) ප්‍රතික්ෂේප කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා අනුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ සැකකරු සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.

ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් නීතිඥ ආනන්ද අමරනාත් පෙනී සිට ඇත.

ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නගරයේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කරන ලෙස අධිකරණය නියෝග කල බවත් වාර්තා වෙයි.

කන්දකාඩු කඳවුරේ ගැටුමක් : රැඳවියන් 50ක් පළා යති !

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රී ගැටුමක් හට ගෙන ඇත.

එම ගැටුම අතරතුර රැඳවියන් 50ත් 100ත් අතර පිරිසක් පලාගොස් ඇතැයි යුද හමුදාව පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියෙකු හා යුද හමුදා සාමාජිකයෙකු තුවාල ලබා පොලොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.

යුද හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසුවේ, රැඳවියන් පිරිසක් කදවුර තුළ ඇති ආයුධ ගබඩාව වෙත ඇතුළුවීමට තැත් කිරීම, කලහකාරි තත්ත්වය දුරදිග යාමට හේතු වී ඇති බවය.

ආයුධ ගබඩාවේ ආරක්ෂාවට සිටි 9 වන කාලතුවක්කු හමුදා සාමාජියින් එය ව්‍යවර්ථ කොට ආයුධ ගබඩාව මේ වනවිට සම්පූර්ණයෙන්ම සුරක්ෂිත කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එම පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ හමුදා නිලධාරීයෙක් පැවසුවේ හට ගත් එම ගැටුමෙන් වාහන හා දේපල වලට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි.

ජානකීට පස්සේ නාමල් ද ?

මේ දවස්වල ඔන්න ආයෙත් හිට් එක වෙලා තියෙන්නේ , තිළිණි පියුමාලි.

මුලින් මුලින් තිළිණිගේ කේස් එකට, විවිධ දේශපාලනඥයින්ගේ නම් ඈඳලා, නම් ලිස්ට් එකක් එලියට ආවා..

හැබැයි ඒ ලිස්ට්වල නම් තිබුන, දේශපාලනඥයෝ හුඟ දෙනෙක්ම, වහාම CID එකට ගිහින්, ඒ ගැන පැමිනිලි කලාට පස්සේ, ඒ ලිස්ට් එකේ කතාව යටගියා. ඒක මඩක් කියල පක්ෂ විපක්ෂ බේදයකින් තොරව, හැමෝම කියන්න පටන් ගත්තා .

කොහොම වුනත්, නාමල් නාවලපිටියේ පොහොට්ටුවේ රැස්වීම්දී කරපු කතාවකින් ... පුහුල් හොරා කරෙන් දැනේ කිව්වා වගේ , ලිස්ට් එක හැදුවෙ කවුද කියලා තේරුනා කියල, සජබේ කට්ටිය කියනවා.

නාමල් කිව්වේ, තිලිනිත් එක්ක හොර ගනුදෙනු කරපු අයගේ ලැයිස්තුවේ, අනෙක් පක්ෂ හැම පක්ෂේකම කට්ටිය ඉන්නවා, හැබැයි අපේ‍ කාගෙවත් නම් ඒකේ නෑ කියලා.

'' අඩුමගානේ තමන්ගේ පක්ෂයේ , දෙතුන් දෙනෙකුගේවත් නම් බොරුවට හරිදාලා , යන්තන් හරි පිළිගන්න පුළුවන් ලැයිස්තුවක් එලියට දාගන්න වත්, දැන් රාජපක්ෂලාට හරි හමන් කෙනෙක් නැති පාටයි....'' ශෝෂල් මිඩියා එකේ සමහරු කියල තිබුනේ එහෙම..

ඒ කතා මොනවා වුනත්, මේ වෙනකොට, මේ තිලිනිගේ ගනුදෙනු වලට, සපෝට් කළා කියලා , අත්අඩංගුවට අරගෙන, තුන්දෙනෙක් රිමාන්ඩ් කරලා ..

ඒ තිලිනිගේ සැමියා කියපු, ඉසුරු බන්ඩාර..තමුන් රහතන් වහන්සේ කෙනෙක් කියා ගන්න, බොරැල්ලේ සුදු සාදු ..

එතකොට , අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි කිය කියා ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න, එතකොට පහුගිය දවස්වල උසාවියේ දී CID එකෙන් ප්‍රශ්න කරපු, ජානකී සිරිවර්ධනත් ඔන්න ඊයේ රිමාන්ඩ් කරලා. ඔන්න දැන් තුන්දෙනයි..

CID එක අධිකරණෙ දී කියපු විදියට, ජානකීයි, සුදු සාදුයි තමයි, තිලිනි ගේ ජාවාරම් වලට, කස්ටමර්ලා හොයලා දීලා තියෙන්නේ.

කව්ද මේ ජානකී .. ජානකී සිරිවර්ධන කියන්නේ, සාමාන්‍ය මිනිස්සු දන්නේ නැති උනාට , කොළඹ ව්‍යාපාරිකයෝ , විශේෂයෙන්ම දේශපාලකයෝ අතර ප්‍රසිද්ධ චරිතයක්.

ජානකී හාපුරා කියල කරලියට එන්නේ 2010 -2014 රාජපක්ෂ යුගයේ දී . විපක්ෂයේ උදවිය කියන විදියට, රාජපක්ෂලත් එක්ක, පුදුම විදියේ සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒ කොච්චරද කිව්වොත්, ඒ දවස්වල ටෙම්පල් ට්‍රීස් යන්න එන්න, ජානකීට ඇපොයින්ට්මන්ට් එකක් වත් ඕන නෑලු. ..ඒ කියන්නේ ජනකීට ඕන වෙලාවක, අරලියගහ මන්දිරයට , යන්න එන්න අවසර තිබුන ලු..

ඒ කාලේ යුද්දේ ඉවර වෙලා, විදේශ ආයෝජකයෝ ලංකාවට එන්න පටන් ගත්තු කාලේ. ඒ කාලේ ආයෝජකයෝ සැහෙන පිරිසකට, රාජපක්ෂලා එක්ක සම්බන්ධකම් හදල දුන්නයි කියන්නේ, මේ ජානකි ලු. සමහරු කියන විදියට, නිල නොවන BOI සභාපතිනි වගේ වැඩකළා කියන්නේ ජානකී..

කාටවත් ගන්න බැරි ඉඩම්, කොන්ත්‍රාත් රජයෙන් අරගන්න, අතරමැදියා විදියටත් ජානකී වැඩකලා ලු..

ඒ කතා මොනවා වුනත්, ජානකීගේ නම ඉස්ඉස්සෙල්ලම මිඩියා වලට එන්නේ , ක්‍රිස් හුටපටේ නිසා.

සුප්‍රකට ක්‍රිෂ් ඉන්දියානු ආයෝජනයෙන්,, කොමිස් ගත්තා කියලා, යහපාලන ආණ්ඩුව ආපු ගමන්ම වගේ, නාමල් ට විරුද්ධව FCID එකෙන්, මහාධිකරණයේ කේස් එකකුත් ෆයිල් කරනවා .. මොකද රාජපක්ෂ යුගයේ, කොළඹ හිල්ටන් එක ඉස්සරහ තියෙන, අක්කර 5 ක් ඉඩමක්, ටෙන්ඩර් නැතුව , ක්‍රිෂ් සමාගමට දුන්නා කියන කාරනේට.

නඩුවේ ප්‍රධාන සාක්ෂිය විදියට දාන්නේ, ජානකි සිරිවර්ධනව.. ඉන්දියානුවෙකුට අයිති මේ සමාගමේ , ක්‍රිෂ් ව්‍යාපෘතියේ CEO ජානකී .. තාම නඩුව අහල ඉවර නෑ. ඒ සිද්ධිය මේවෙනකොට යටගිහිල්ලයි තියෙන්නේ ..

මේ අස්සේ තමයි, ජානකී සිරිවර්ධන , තිලිනි පියුමාලි කේස් එකට සම්බන්ධයි කියලා කතාව, මේ ඊයේ පෙරේදා එලියට එන්නේ. වැඩේ පත්තුකරන්නේ අසාද් සාලි.

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න කියන විදියට, ප්‍රබල දේශපාලනඥයෙක්, පහුගිය දවස්ටිකේ, ජානකීව අත්අඩංගුවට ගන්න නොදී, පොලීසියට බලපෑම් කළා ලු..

ඒ කවුද කියලා මෛත්‍රී නමින් කිව්වේ නෑ... නමුත් සජබේ චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා, පාර්ලිමේන්තුවේදී මේ ගැන, නාමල්ට චෝදනා කෙරුවා.

මෛත්‍රී කියන විදියට, චමින්ද කරුණු පටලවගෙන... චමින්ද කිව්වේ නාමල් , තිළිනිට උදව් කරන කතාවක්..

නාමල් , චමින්දගේ ඒ කතාව අභියෝගයට ලක් කෙරුවා.

හැබැයි එදා චමින්ද , පාර්ලිමේන්තුවේදී නාමල් - ජානකී ව ආරක්ෂා කරණවා කියලා කිව්වනම්, නාමලට ඒ වේට් එකෙන්, චමින්දට ඇටෑක් කරන්න බැරිවෙන්න තිබුනා කියල , මෛත්‍රී කියල තිබුනා.

විපක්ෂයේ උදවිය ඔය මොනවා කිව්වත්, ජානකී කියන්නේ, අති දක්ෂ ගෑනියක් .. CID එක උසාවියේදී කියන කතාවලිනුත්, ඒක හොඳාකාරවම තේරෙනවා.. ඒ කියන්නේ ජානකී ආණ්ඩුවේ කට්ටිය එක්ක විතරක් නෙමෙයි, විපක්ෂයේ උදවිය එක්කත්, ලඟින්ම ඇසුරු කරලා තියනවා.

- දේශපාලන වාර්තාකරු

ආයෝජන ඉහළ දමාගන්න : ජනාධිපතිගෙන් උපදෙස් !

රට තුළට පුළුල් ලෙස සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා අවශ්‍ය සේවා අංශයෙහි ක්‍රමානුකූලව සිදුකළ යුතු ලිහිල් කිරිම් හා කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමෙහි (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවෙහි නිලධාරීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දි ඊයේ (05) වනදා පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මෙම කරුණු පෙන්වා දුන්නේය.

නිදහස් වෙළෙඳ සාකච්ඡා මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳාම අරභයා වන ඉදිරි දැක්ම සහ ඊට අදාළව ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා පෙළගැස්විය යුතු ආකාරය පිළිබඳ එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අන්තර්ජාතික වෙළෙඳ කටයුතු පුළුල් කිරීමට සමගාමීව තවදුරටත් එම තරඟකාරිත්වයට ගැළපෙන පරිදි දේශීය කර්මාන්තවලට රුකුලක් වීම සඳහා වෙළෙඳ ගැලපුම් වැඩසටහනක් (Trade Adjustment Programme) රජය විසින් ක්‍රියාත්මක කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

අපනයන සහ අපනයනාභිමුඛ සෘජු විදේශ ආයෝජන වැඩිදියුණු කිරීම සදහා කලාපීය හා ගෝලීය සැපයුම් දාමයන් වෙත පිවිසීම හා ගෝලීය ආර්ථිකය සමඟ නැවත සම්බන්ධවීම, දේශීය ආර්ථිකය යළි ගොඩනැංවීමේ රජයේ ආර්ථික වැඩපිළිවෙළෙහි මූලිකාංගයකි.

ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපය යන ප්‍රධාන අපනයන වෙළෙඳපොළ තුළට තවදුරටත් අවතීර්ණ වන අතරම විශාල හා නැඟී එන ආර්ථිකයන් ඉලක්ක කරගනිමින් සිදු කරන අපනයන වර්ධනය කර ගැනීම සඳහා විස්තීර්ණ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමේ ප්‍රයත්නයක රජය මේ වනවිට යෙදී සිටී.

ඒ වෙනුවෙන් ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවක් පිහිටුවීමට රජය පියවර ගෙන ඇති අතර, විශාල සෘජු විදේශ ආයෝජන හා අපනයන විභවතාවයක් මෙන්ම ආර්ථික අර්බුදය හේතුවෙන් අඩපණ වී ඇති දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය ප්‍රාග්ධන යෙදවුම්, අමුද්‍රව්‍ය හා අතරමැදි භාණ්ඩ අඩු වියදමකින් ලබාගත හැකි ක්‍රමෝපායික වශයෙන් වැදගත් ඉන්දියාව, චීනය හා තායිලන්තය සමඟ වන නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි පණ ගැන්වීම මෙම කමිටුවෙහි ප්‍රධානම කාර්යය වී ඇත.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්, විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, මහා භාණ්ඩාගාරය, වාණිජ දෙපාර්තමේන්තුව යන රේඛීය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ණය හිමියන් සමග සාකච්ඡා සුබවාදී තැනක - ශෙහාන්

මෙරට ණය හිමියන් සමග පැවැති දෙවැනි වටයේ සාකච්ඡා සුබවාදී අවසානයක් කරා එලඹි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි .

චීනය, ඉන්දියාව සහ ජපානය ඇතුළු බහුතර ණය හිමියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට නීති සහ මූල්‍ය උපදේශකයන්ගේ සහය ද ලැබුණු බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

සියලු ණය හිමියන්ට සාධාරණ හා සමානව සලකමින් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට එහිදී එකඟතාව පළ කළ බව ද අමාත්‍යවරයා පැවැසීය.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව කිසිදු රටක් කොන්දේසි ඉදිරිපත් කර නොමැති බව අවධාරණය කළ රාජ්‍ය අමාත්‍යවරයා ණය හිමි රටවල් ශ්‍රී ලංකාවට පිටුපානු ඇතැයි නොසිතන බව ද පැවසීය .

අලුත් ගමනකට : ඇමතිවරුන් 4ක් ආණ්ඩුවෙන් එළියට !

කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන් කිහිප දෙනකු ඉදිරි කාලයේදී සිය ඇමැති තනතුරුවලින් ඉවත්ව නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

එහි ආරම්භය ගැනීම සඳහා ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉදිරි කාලයේ සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමටද තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහුට අමතරව තවත් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකුද මෙම දේශපාලන ව්‍යාපාරය සමඟ එක්වනු ඇතැයි දැනගන්නට තිබේ.

මෙකී දේශපාලන ව්‍යාපාරය හිටපු කතානායක කරු ජයසූරිය සහ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් දැනටමත් ක්‍රියාත්මක කෙරෙන "සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය" සමඟ බද්ධව සිදු කිරීමට තීරණය කර තිබේ.

හිටපු කතානායක කරු ජයසූරිය  සහ වික්ටර් අයිවන් මහතා සිය ජාතික ව්‍යාපාරය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හමුවේ මෑතකදී එක් අවස්ථාවක දේශනයක් ද සිදු කළේය. ආරම්භ කිරීමට යෝජිත නව දේශපාලන ව්‍යාපාරය දේශපාලන ආර්ථික සහ සමාජයීය පරිවර්තනයක් සිදු කිරීම අරමුණු කර ගනිමින් ජාතික ප්‍රතිපත්තියක් සමඟ ගොඩනැගීමට දැනටමත් තීන්දු කර ඇත. මේ සඳහා සිවිල් ව්‍යාපාර, වෘත්තීය සමිති සහ අරගලයේ කොටස්කරුවන් එක්කර ගැනීමටත් යෝජනා වී තිබේ.

-deshaya

ජනාධිපති රනිල් : එක්සත් ජාතීන්ගේ මහලේකම් හමුවෙයි !

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 27) සඳහා සහභාගී වීමට ඊජිප්තුවේ කයිරෝ නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ , එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් අද (06) හමුවිය.

ශ්‍රී ලංකා රජයේ ජාතික පරිසර ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගෙන ඇති සැලසුම් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළේය.

අන්තෝනියෝ ගුටේරස් විසින් 1978 වසරේ සිය පළමු ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ මතකයන් සිහිපත් කරනු ලැබුවේය.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, පරිසරය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

ධනුෂ්කට ඇප නෑ : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත්ත තීන්දුව මෙන්න !

ඕස්ට්‍රේලියාවේ හෝටලයක රැඳී සිටියදී ඊයේ (05) රාත්‍රියේ ඕස්ට්‍රේලියා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුශ්ක ගුණතිලකට ඇප ලබාදීම පැරමාටා අධිකරණය ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තරුණියකට අතවර කිරීම ඇතුළු ලිංගික අතවර චෝදනා හතරක් එල්ල වීම මත ඔහුව අත්අඩංගුට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇති ආකාරයට ක්‍රීඩකයා සම්බන්ධයෙන් වන චෝදනාව බරපතළ ය.

මේ හේතුවෙන් 20-20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ධනුෂ්ක ගුණතිලක නොමැතිව ආපසු ශ්‍රී ලංකාව බලා පිටත් වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත්ත තීන්දුව !

මේ අතර නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහුව හෙට (07) දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිත බවට ICC ය විසින් දැනුම් දී ඇති බව ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඕස්ට්‍රේලියාවේ අධිකරණ ක්‍රියාපටිපාටීය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරනු ලබන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ICC සමඟ සාකච්ඡා කොට පුළුල් පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කරන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වුවහොත් ක්‍රීඩකයාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ලබන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි.

COP 27 සමුළුවට සහභාගීවීමට : ජනපති ඊජිප්තුවට !

ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Sharm El Sheikh) හිදී නොවැම්බර් 6 සිට 18 දක්වා පැවැත්වීමට නියමිත COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනෙන් අද (06) පිටත්ව ගියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ , ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා දේශගුණික විපර්යාස ගැටලු පිළිබඳ සමුළුවේ කටයුතු සඳහා 07 සහ 08 දෙදින තුළ සහභාගී වන අතර එම සමුළුව ඇමතීමට ද නියමිතය.

මෙයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෝලීය ආහාර සුරක්ෂිතතා සමුළුවට සහ ලෝක නායකයින්ගේ සමුළුවට ද සහභාගී වනු ඇත.

COP 27 හි දී, පැරිස් ගිවිසුම සහ සම්මුතිය යටතේ එකඟ වූ පරිදි ලෝකයේ සාමූහික දේශගුණික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට රටවල් එකතු වේ.

පසුගිය වසරේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ (Glasgow) හි පැවැති COP 26 හි සමුළුවේදී සාකච්ඡා කළ සම්මුතීන් පැරිස් ගිවිසුමට අනුකූලව ඉටු කර ගැනීමට හා ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරිමට නියමිතය.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා ද මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා එක්වූහ.

මිළ සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිළ ඉහළට

අද(06) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා ඇතැයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,360ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඒ සිලින්ඩර් වර්ගය අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ගෑස් මිල ගණන් ඉහළ දමා ඇති ආකාරය පහතින් දැක්වේ.එ

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, මිල සූත්‍රයට අනුව මෙම මිල ඉහළ දැමීම සිදු කරන බවයි.

Screenshot 2022 11 06 110345

ලංකාව මත්පැන් පරිභෝජනයෙනුත් පහළට !

මෙරට මත්පැන් පරිභෝජනය ශීඝ්‍ර ලෙස පහළ ගොස් ඇති බවත්, මත්පැන් අලෙවිය 40% දක්වා අඩු වී ඇති බව ත්, සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි පවසයි.

ඊට අනුව ලෝකයේ මත්පැන් පරිභෝජනයට අදාළ ශේ‍ර්ණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 79 වන ස්ථානය දක්වා පහළ බැස තිබේ.

ජනප්‍රිය වර්ගයේ මත්පැන් පරිභෝජනය ද මේ වන විට ශීඝ්‍ර ලෙස පහළ වැටී ඇති බව ද සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කරයි.

ඩීසල්, දැවිතෙල්, අමුද්‍රව්‍ය, එතනෝල්, වීදුරු බෝතල, මූඩි, ලේබල, වැට් බද්ද, සමාජ ආරක්ෂණ බද්ද ශීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් මත්පැන් නිෂ්පාදන සමාගම්, තුන් වතාවක් මත්පැන් බෝතල් මිල ඉහළ දැමූ අතර, එම මිල ඉහළ දැමීම නිසාම රටේ උද්ධමනය ද ඉහළ යාමත් මත්පැන් අලෙවිය ශීඝ්‍ර ලෙස පහළ වැටීමට එය හේතු වී ඇති බව ත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.

මෙම වසරේ බිලියන 185ක සුරාබදු ආදායමක් බලාපොරොත්තු වුව ද, බිලියන 160කට 165කට ආසන්න ගණනක් දක්වා එම ආදායම අඩු වෙතැයි සිතිය හැකි බව ත් ජනරාල්වරයා පෙන්වා දෙයි.

ජනප්‍රිය වර්ගයේ මත්පැන් ආදිය ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට සම්බන්ධ වූවන්, කම්කරුවන්, ත්‍රීවීලර් රියැදුරන්, කුලී වැඩවල යෙදෙන්නන් ඇතුළු බොහෝ පිරිස විසින් පරිභෝජනයට ගැනුණ ද ඔවුන්ගේ රැකියා අහිමි වීම්, ආදායම් අහිමි වීම් නිසා එම වර්ගයේ මත්පැන් අලෙවිය ද ශීඝ්‍ර ලෙස පහළ වැටී ඇතැයි හෙතෙම සඳහන් කරයි.

පසුගිය ජූනි-ජූලි මාසවලින් පසු මෙම පහත වැටීම සිදුව ඇතැයිද ඒ නිසා බලාපොරොත්තු වූ ආදායමක් ලබාගත නොහැකි යැයි ද ඔහු පෙන්වා දුන්නේ ය.

තිළිණි ගැන නොකියා කට්ටි පනියි නළුවා !

ඔන්න ප්‍රියමාලි ගැන, තවත් නිව්ස් එකක් ප්ලාන්ට් වෙලා. තිලිනි එක්ක කෝටි ගණක බිස්නස් කරපු නළුවෙකුයි , ඒ නළුවාගේ, නෝනා මහත්තයව යි ,CID එකෙන් හොයද්දී දැන් කට්ටි පැනපැන ඉන්නව ලු..

ආරංචියේ විදියට ඔය කියන නළුවා, තිළිණි ප්‍රියමාලි එක්ක, සමීප සම්බන්ධකම් පවත්වා තියනවා. පහුගිය කාලේ, කොළඹ පැත්තේ දේශපානයට සම්බන්ධ ප්‍රකට නළුවෙක් ලු..

නළුවගෙනුයි නොනගෙනුයි ප්‍රකාශ ගන්න, CID එකට එන්න කියල , පණිවිඩ පිට පණිවිඩ යැව්වත්, දෙන්නම මිසින් ලු..

අඩුම ගානේ නොපැමිණීම ට හේතුව මේ දක්වා ම දැනුම් දී නෑ කියලයි කියන්නේ .

ඔය කියන නළුවාටයි එයාගේ නෝනා මහත්තයටයි, දෙන්නටම, පොලිටිශියන් ලත් එක්ක සමීප සම්බන්ධකම් පවත්වන දෙන්නෙක් ලු..

ඒ විතරක් නෙමෙයි..., තිලිණි එක්ක කෝටි ගණනක ගනුදෙනු කරපු, ජනප්‍රිය නිලියක් ගැනත්, CID එක ඇහැ ගහගෙන ලු ඉන්නවයි කියන්නේ..

ඉස්සරහට ඇපිසොඩ් එකෙන් .. ඇපිසොඩ් එක බඩු ලීක් කරවී .. ඒක දිගටම විනෝද සාගරයක්..

දේශපාලන වාර්තාකරු

Page 255 of 462