V2025

පුවත්

සති අන්තේ විදුලි කප්පාදුව පැයයි

සති අන්තයේ විදුලි කප්පාදුව පැය 1 කට සීමා කර තිබේ.

ඒ අනුව විදුලි කප්පාදුව හෙට (19) සහ අනිද්දා (20) සවස 5.30 සිට 8.30 දක්වා පැය 1 ක් කප්පාදු කෙරෙනු ඇත.

තව ද නොවැම්බර් 21 වැනි දා පැය 2 ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසමේ (PUCSL) අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව 21 වැනි දා A-W කාණ්ඩවලට දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 ක් විදුලි කප්පාදුව සිදු කරනු ඇත.

පාසල් උපකරණ මිළෙහි වෙනසක්

සෙස් බදු සංශෝධනය කිරීම හේතුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණවල යම් මිල වැඩිවීමක් සිදුවී ඇත් නම් එය වෙනස් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්ය.

"සෙස් බද්ද වෙනස් කිරීම නිසා පාසල් උපකරණවල මිල වැඩිවීමක් ගැන. ඒ පිළිබඳ විශේෂ සොයාබැලීමක් සිදුකරනවා. යම් හෙයකින් අපේ රටේ ආදේශන ආනයනයක් හෝ තියෙන සෙස් බද්දක් නිසා පාසල් දරුවන්ගේ මූලික උපකරණවලට බලපෑමක් වෙනවා නම් අපි එක වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා."

 

ගෝඨාට වැටුණු අලුත්ම බාල්දිය මෙන්න !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික ආයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නම්කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් ලැබී තිබේ.

එම පෙත්සම ඉදිරිපත් කළ පාර්ශ්වය විසින් අදාළ ඉල්ලීම අද (17 ) දින ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිදුකර තිබුණි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගය සඳහා අද ගාමිණි අමරසේකර සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල ඉදිරියේ එලෙස කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි එම්.ඒ. සුමන්දිරන්, ජෙෆ්රි අලගරත්නම් යන ජනාධිපති නීතිඥවරුන් සහ නීතිඥ එරාජ් ද සිල්වා අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නම් කිරීමට තමන් අපේක්ෂා කරන බවය.

ඊට අදාළ ලේඛන දැනටමත් අධිකරණය හමුවේ තමන් විසින් ගොනු කර තිබෙන බවත් එම නීතිඥවරුන් දන්වා සිටියේය.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට කර ඇති ඉල්ලීම, කරුණු තහවුරු කිරීම සඳහා ලබන 24 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් මරණීය දණ්ඩනය නියම කළ බවත් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අනුමත කර ඇති බවය.

එසේ තිබිය දී පිළිගත් නීතිමය පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව ඔහුට පොදු සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළ බව පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මේ තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් දුමින්ද සිල්වා නිදහස් කරමින් ප්‍රදානය කර ඇති පොදු සමාව බලරහිත කිරිමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

මූලාශ්‍රය - මව්රට

ඇමති ටිරාන්ට මඩ ගහන්නන්ගේ සැබෑ අපේක්ෂාව අනෙකකි !

මෙරට සමාජ මාධ්‍ය කිහිපයක 2022 නොවෙම්බර් 16 දින සඳහන් වූ ප්‍රධාන ශීර්ෂය වූයේ 'ඇමති ටිරාන්ගේ නියෝගයට පොලිස් ලොක්කෙක් මූණටම බෑ කියයි!'

සහ අනු සිරසෙහි සඳහන් වූයේ 'කොළඹ සියලුම විරෝධතා මර්දනය කරන්න්නැයි ඇමති ටිරාන්ගේ පොලිසියට නියෝග' කළ වගයි." යනුවෙනි.

මෙකී වෙබ් අඩවි යනු ශ්‍රී ලංකා පොලිසිය කීර්තිනාමය හැමවිටම කෙලෙසීමට ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් එහි පාඨකයාව නොමග යවමින් හිට් වෙන්න ලියන තුට්ටු දෙකේ පඩංගු ය.

මෙහි සඳහන් වන උක්ත ලිපියද ව්‍යාජ කරුණු දක්වමින් ශ්‍රී ලංකා පොලිසිය කීර්ති නාමය කෙලෙසීමට දරන තවත් නිශ්ඵල උත්සහයක ප්‍රතිපලයකි.

මෙහිදී අනු සිරසෙහි සඳහන් වන සියලු විරෝධතා මර්දනය කරන්නැයි නියෝග කලා යැයි කීමම නීති විරෝධී ප්‍රකාශයකි. මෙහිදී ටිරාන් අලස් අමාත්‍යවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ විරෝධතා කිරීමේදී අනුගමනය කල යුතු නීතියානුකූල අවසර ගැනීම් ක්‍රම පටිපාටිය අනුගමනය කරමින් පවත්වන කිසිදු විරෝධතාවයකට පොලිසියෙන් බාධා නොකරන බවයි. ඒ බව එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවය කිසිදු පොලිසියේ බාධාවකින් තොරව පැවැත්වීම දැක්විය හැක. සියලු විරෝධතාවයන් මර්දනය කිරීමේ නියෝගය රටේ විධායක ජනාධිපති වරයාටවත් කල නොහැක්කකි. කිමද එය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නොහොත් භාශාණයේ නිදහස අමු අමුවේ උල්ලංඝනය කිරීමක් නිසාවෙනි.

නමුදු රාජ්‍ය අස්ථාවර කිරීමේ නීති විරෝධී විරෝධතාවයන් විසුරුවා හැරීමේ බලය ශ්‍රී ලංකා පොලිසියට පොලිස් ආයතන පනතට ප්‍රකාරව හිමිව තිබෙන්නෙ කුමන්ත්‍රණකාරී ලෙස රාජ්‍ය බිඳවැට්ටවීම වැලැක්වීමටයි.

පසුගිය 15 වෙනිදා මහජන ආරක්ෂක අමාත්‍යාංශ සාකච්ඡාවේ සිදුවූ යේ කුමක්ද?

පොලිස්පතිවරයා ජේෂ්ඨ පොලිස් අධිකාරි මාරපනගෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වීම සම්බන්ධව කරුණු විමසුවේය.එහිදී මාරපන නිදහසට කාරණා එකින් එක පැහැදිලි කෙරිණි.මෙහිදී පොලිස්පතිවරයා නැවත නැවත එම ප්‍රශ්නය මොහුගෙන් විමසීමේදී ඔහුගේ අවසාන පිළිතුර වූයේ මම නීතිය අනුව වැඩ කරා යන්නයි. කතාව උණුසුම් වන විට ඊට මැදිහත් වූ ඇමැතිවරයා කියා සිටියේ ඒ අදාල පුද්ගලයා පොලිස් නිලධාරීන් තල්ලු කරමින් හැසිරූ ආකාරය පොලිසියේ කීර්තිනාමය කෙලෙසීමක් බවත් පොලිස්පතිවරයාගේ නියෝගය අනුව එම පුද්ගලයාව කලින්ම අත්අඩංගුවට ගත්තේ නම් එය වලක්වා ගත හැකිව තිබුන බවත්ය.

අතීතය මතක් කර දෙමින් ඇමැතිවරයා පැවසුවේ මහ මග පොලිසියේ නිලධාරීන්ට පහරදීමේ සිට නැවත පොලිසියේ ගෞරවය නැවත ලබාගැනීමේ අරමුණ සඳහා සියලු පොලිස් නිලධාරීන් කැප වෙන මෙවන් සමයක පොලිස්පතිවරයාගේ නියෝගය පැහැර හැරීම වරදක් බවත් පොලිස්පතිවරයාගේ නියෝග පිලිනොපැදීම නීතියානුකූල නොවන ක්‍රියාවක් බවත් ය.

මෙම සිදුවීම මෙකී වෙබ් වාර්තා කිරීම කර තිබුනේ නීති විරෝධී විරෝධතාකරුවන් හා පොලිසිය අතර අර්බුදකාරී තත්ත්වය තීව්‍ර වන ආකාරයටයි. රටම අර්බුදයක මුහුණ දෙමින් සිටින විට නැවත වටයකින් රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක් ආරම්භ වී ඇත්දැයි සැක සහිතයි.

එහිදී මාරපන වගේ පොලිස් නිලධාරීන් කුමන්ත්‍රණකරුවන්ගේ ඉත්තන් වී රාජ්‍ය විරෝධී කැරැල්ලකට පාර කපමින් ඇති බවත් අදාළ වෙබ් අඩවි මේ කුමන්ත්‍රණයේ මාධ්‍ය අනුග්‍රහකයන් ද යන්න සැක සහිත බවත් නොලියා සිටීමට නොහැකිය. එනිසා මේ සම්බන්ධව මහජන ආරක්ෂක ඇමැති වරයා හා ජනාධිපතිවරයා අවධානය යොමුකළ යුතුය. ම්ව්‍ය ජනතාවට ඇත්ත වාර්තා කරන වගකීම් සහගත වෘත්තීය මාධ්‍යවේදීන්ට කරන බාධාවක් හෝ මර්දනයට අතවැනීමක් නොවේ. මෙසේ කියන්නේ මාධ්‍ය නිදහස වල්බූරු කරන අවස්ථාවාදීන් අතින් අපහරණය වීම වලක්වා ගැනීම සඳහා යි.

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

බෝපගේට ඇප ලැබෙයි !

අරගලය පැවති ජූලි මස 09 වනදා කොටුව ජනාධිපති මන්දිරයට අයුතු ඇතුළු වීමක් කළැයි කියන සිද්ධියේ 59 වන සැකකරු ලෙස නම් කර සිටි නීතිඥ නුවන් බෝපගේ රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (17) නියෝග කළේය.

නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාර වූ නීතිඥවරයාට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා 19 වැනිදා පෙරවරු 10.00 ට කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසටද නියෝග කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර නීතිඥ නුවන් බෝපගේට විදේශ ගමන් තහනමක් නිකුත් කරන ලෙසට පොලීසිය කළ ඉල්ලීමට ඔහු වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විරෝධතාවය ප්‍රකාශ කළේය.

ඔහු සැකකරුවෙක් ලෙස නම් කළ පසු අධිකරණයට භාර වූ අයෙකු බවත්, පොලීසිය එම සැකකරුව අත්අඩංගුවට නොගත් බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, ඔහු නීතිඥවරයෙක් වන බැවින් අධිකරණය මග හරින බවට කරුණු තිබෙනවාදැයි පැමිණිල්ලෙන් ප්‍රශ්න කර සිටියේය.

එමෙන්ම පුද්ගලයන් අපහසුතාවයට පත් කරන නියෝග නොඉල්ලන ලෙසත්, සැකකරු අධිකරණය මග හරියිකියා හැගෙයි නම් අවශ්‍ය නියෝග තමන් ලබා දෙන බවත් ප්‍රකාශ කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ලේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

මෙහිදී නීතිඥ නුවන් බෝපගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සමග නීතිඥවරුන් 50 ක පමණ පිරිසක් ඉදිරිපත්ව සිටි බවත් වාර්තා වෙයි .

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ WB සමඟ සාකච්ඡාවක් !

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ගේ ප්‍රධානත්වයෙන් අද (17) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරීස් හඩඩ් ස්වෝස් (Faris Hadad-Zervos) ඇතුළු නියෝජිත පිරිස සමඟ පැවති මෙම සාකච්ඡාවේ දී මෙරට ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ දීර්ඝ ලෙස විමසා බැලිනි.

රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය හා ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම, බදු පරිපාලන ප්‍රතිපත්තිය වැඩි දියුණු කිරීම, ස්වෛරී මූල්‍ය අංශයේ සම්බන්ධය සහ පද්ධතිමය අවදානම් අඩු කිරීම, බලශක්ති අංශයේ කාර්ය සාධනය වැඩිදියුණු කිරීම හා කාබන් විමෝචනය අඩු කිරීම, ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව අවම කිරීම සහ ආර්ථිකයේ තරගකාරීත්වය වැඩි කිරීම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, පුද්ගලික ප්‍රාග්ධනය ක්‍රියාත්මක කිරීම සහ එමඟින් බ්‍රෝඩ්බෑන්ඩ් වෙළෙඳපොළේ තරගකාරිත්වයක් ඇති කිරීම, සමාජ ආරක්ෂණ ආයතන ශක්තිමත් කිරීම හා බෙදාහැරීමේ පද්ධති ඉලක්කගත කිරීම යනාදී ක්ෂේත්‍ර අටක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඊට අදාළ යෝජනා ද ඉදිරිපත් කෙරිණි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක , ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග , මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ රේඛීය ආයතනවල රාජ්‍ය නිලධාරීහු ද මීට එක්ව සිටියහ.

ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරීස් හඩඩ් ස්වෝස් (Faris Hadad-Zervos) ඇතුළු නියෝජිත පිරිස මෙම කරුණු පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කළහ.

IMG 20221117 WA0027

ජනපති සහ දකුණු අප්‍රිකානු ජනපති අතර හමුවක් !

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ඊයේ (16) පස්වරුවේ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.

ඉන්දුනිසියාවේ පැවතී ජී20 සමුළුවට සහභාගී වී නැවත සිය රට බලා යන අතරතුරදී කෙටි සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා මෙරටට පැමිණ තිබේ.

මෙහිදී නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරතවූ අතර ආර්ථික සහයෝගීතාව සහ ආයෝජන ඉලක්ක කර ගනිමින් දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ අවධානය යොමුවිය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට දකුණු අප්‍රිකාවේ සහාය ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා විය.

ප්‍රජාවන් අතර කල්පවත්නා සංහිඳියාවක් ඇති කර ගැනීම වෙනුවෙන් විශ්වසනීය සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් පිහිටුවිම සඳහා දකුණු අප්‍රිකානු සහාය, මඟපෙන්වීම සහ උපදේශනය ලබා ගැනීම කෙරෙහි ද සැලකිල්ල යොමුකෙරින.

හමුව සනිටුහන් කරමින් නායක දෙපළ අතර සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු දෙරටේ නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
https://newstube.lk/news?start=4500#sigProId92d95cccce

අයවැය ගැන හරිනිට සහනාධාර ප්‍රශ්නයක් !

රටට වැරදුණු හේතුවට අයවැයෙන් වැරදිකරුවන් බවට පත්කර තිබෙන්නේ සහනාධාර මත යැපෙන අසරණ ජනතාව බව ජාතික ජනබලවේගයේ මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

ඒ අයවැය තෙවැනි දින (17) විවාදයට සහභාගී වෙමින් ය.

ලැබෙන ආදායමින් ජීවිතය හරියට කළමනාකරණය කරගන්නට බැරි පුරවැසියන්ට මත වරප්‍රසාදිත ජීවිත ගත කරන අය විසින් වරද පටවා තිබෙන බව පැවසු මන්ත්‍රීවරිය ප්‍රශ්නය මේ විදිහට දකින්න නම් කොච්චර නපුරු විය යුතුදැයි ද ප්‍රශ්න කර සිටියාය.

අයවැයෙන් ප්‍රශ්නය හෝ දේශපාලන තත්වය තේරුම් ගෙන නැහැ. ජනතාව ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මොකක්ද කියා කිසිම සංවේදී බවක් පෙන්නුම් කරන්නේ නැහැ. ජනතාව පාලකයන්ගේ දුරස් වී ඇත්තේ ඇයි දැයි කිසිම හැඟීමක් නැතිව මෙය ඉදිරිපත් කර තිබෙනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තීරණයක් නෑ - රාජ්‍ය ඇමති

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර විදේශීය ද්විපාර්ශවික සහ වාණිජ ණයහිමියන් සමග ණය ප්‍රතිව්‍යහුගත කිරීමට අදාළව පමණක් ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බවත් සඳහන් කර ඇත.

රාජ්‍ය බැංකු සහ දේශීය මූල්‍ය ක්ෂේත්‍රයට අහිතකර බලපෑමක් එල්ල විය හැකි බැවින් දේශිය ණය ක්ෂේත්‍රය ප්‍රතිව්‍යහගත කිරීමට රජය අවධානය යොමු කර නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙයි.

ධනුෂ්කට ඇප දෙන්න දාපු කොන්දේසි මෙන්න !

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට සිඩ්නි අධිකරණයක් මගින් ඇප ලබාදී ඇති බව වාර්තා වෙයි.

අධිකරණයට ගුණතිලකගේ නීතිඥයින් දන්වා ඇත්තේ සැකකරු ට සහාය වීමට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් වී ඇති බවය.

ඒ අනුව ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ධනුෂ්ක ව ඇපමත නිදහස් කිරීමට අධිකරණය නියෝගකර තිබේ.

කෙසේ වුවත් මහෙස්ත්‍රාත් ජැනට් වැක්විස්ට් විසින් පහත සඳහන් ඇප කොන්දේසි ධනුෂ්කට එරෙහිව පනවා තිබේ.

*ඩොලර් 150,000 ඇපයක්
*දිනපතා පොලීසියට වාර්තා කළ යුතුය
*රාත්‍රී 09ත් උදෑසන 06ත් අතර ගමන් බිමන් තහනම්ය
*ටින්ඩර් සහ වෙනත් Dating App භාවිතය තහනම් ය.
*පැමිණිලිකාරිය සමග සම්බන්ධතා පැවැත්වීම තහනම් ය.

31 හැවිරිදි ධනුෂ්ක ව පසුගිය 06 වනදා සිඩ්නි පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනුලැබූ අතර ඒ 29-හැවිරිදි තරුණියක් කළ පැමිණිල්ලකට අනුවය.

එහිදී අය සඳහන් කර තිබුණේ ධනුෂ්ක විසින් තමාව "තම කැමැත්ත නොමැතිව" සිව් වතාවක් ලිංගික අපයෝජනයට ලක්කළ බවය.

අධිකරණයේ දී අනාවරණය වුණු ආකාරයට ඒ නොවැම්බර් 02 වනදා, එම තරුණියගේ නිවසේදීය.

සහනාධාර යටතේ ගෙනා පොහොර : වැඩි මිලට පෞද්ගලික සමාගම්වලට !

සහනාධාර යටතේ ගොවීන්ට ලබාදීමට ආනයනය කරන ලද පොහොර ගොවීන්ට ලබා නොදී පෞද්ගලික සමාගම් වලට වැඩි මිලට ලබා දී ඇතැයි හෙළි වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව සිදු කළ විමර්ශනයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ අවසරය මත යූරියා පොහොර ආනයනය කළ පෞද්ගලික සමාගම් ගොවීන්ට එම පොහොර ලබා නොදී කර්මාන්ත කටයුතු සඳහා පෞද්ගලික සමාගම් වලට ව්‍යාජ ලේඛන සකසා වැඩි මිලට ලබා දී ඇති බවද සඳහන්ය.

ගොවීන්ට අවශ්‍ය පරිදි පොහොර නැති වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ 2020 වසරේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් සුමේධ පෙරේරා සහ රුවන් චන්ද්‍රසිරි මහත්වරුන් වෙත දැනුම් දීමෙන් අනතුරුව එම ලේකම්වරුන් විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන මත මෙම ජාවාරම හෙළිව තිබේ.

ඩිෆෙන්ඩරයෙන් තරුණයකු පැහැරගෙන : හිරුගේ නඩු විභාගය ජනවාරියට !

ඩිෆෙන්ඩර් රථයකින් තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා වධහිංසාවට ලක් කළේ යැයි චෝදනා එල්ලවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ට එරෙහි නඩුවේ විභාගය ජනවාරි 30 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද (16) නියම කර ඇත.

ඒ අදාළ නඩුව අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ වන අතර එහිදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අෂාන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ වීඩියෝ සාක්ෂි දෙකක් ඉදිරිපත් කිරීමට පැමිණිල්ල සූදානම් බවත් එම වීඩියෝ සාක්ෂිවල අන්තර්ගතය අධ්‍යයනය කිරීම සඳහා තමන්ට කාලය අවශ්‍ය බවත් සඳහන් කළේය.

ඒ අනුව අද දින නඩු විභාගය කල්තබන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ මෙම නඩුවේ විභාගය දැනටමත් වසර හයක් පමණ ප්‍රමාදවී ඇති බවය.

කෙසේ වෙතත් විනිසුරු අමල් රණරාජා සඳහන් කළේ මෙම නඩු විභාගය අවසන් වශයෙන් ජනවාරි මස 30 වනදා දක්වා කල්තබන බවය.

එදින නඩුව අනිවාර්යෙන්ම විභාගයට ගන්නා බවත් විනිසුරුවරයා නියෝගකර සිටියේය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැළක සේවය කළ අමිල ප්‍රියංක නැමැති තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා වධහිංසනයට ලක්කිරීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ගේ ආධාරකරුවන් අට දෙනෙකු මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ට අධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවම් හා දඩ මුදල් නියමකර තිබුණි.

ආර්ථිකය බැලන්ස් : මහ බැංකු අධිපති කියයි !

ඉතාම අනතුරුදායක තත්වයක තිබූ මෙරට ආර්ථිකය මහ බැංකුව හඳුන්වාදුන් මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් මේ වනවිට යම්කිසි ස්ථාවර තත්වයක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

රට තුළ රුපියල බාල්දුවීමට සහ උද්ධමනය ඉහළයෑමට ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් බලපෑ බවද ඔහු පවසා තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මෙසේ පැවසුවේ ඊයේ (15) කොළඹ පැවති සම්මන්ත්‍රණයකදීය.

රට නැවත මෙවැනි ආර්ථික අර්බුදයකට ගමන් නොකිරීමට අවශ්‍ය මූලික ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ 2023 අයවැය තුළ අන්තර්ගත බවද ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා මෙසේද පැවසීය.

ජනවාරි මාසයෙන් පස්සේ අපේ සංචිත තිබ්බෙ අඩුවෙන සහ තවත් ඉදිරියට නොලැබෙන තත්වයක. ඒ අනුව අපට ණය ගෙවන්න තවදුරටත් හැකියාවන් නොමැතිව තියෙද්දි මහ බැංකුවෙන් 203 ට රුපියලේ අගය පවත්වාගෙන ගියා. සංචිත තියෙන ටිකත් ණය ගෙවන්න සහ ඉන්ධන වලට වියදම් කරලා.

" එහෙමත් බැරි වුණාම තමයි මාර්තු මාසයේ රුපියල පා කර හැරියේ. කිසිදු පාලනයකින් තොරව. එතනදි තමයි රුපියල් රු.203 ඉඳලා එකපාරටම 365 ,380 ට ගියේ.

දිගටම මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය වැඩි වෙනවා. එතකොට අපිට කරන්න තිබුණු ඊළඟ එක තමයි මුදල් ප්‍රතිපත්තිය දැඩි කරන එක. ඒ අනුව තමයි අපි අප්‍රේල් මාසයේ ප්‍රතිපත්ති පොලී අනුපාතය වැඩි වශයෙන් ඉහළ නංවා මුදල් ප්‍රසාරණය අඩු කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළේ. ඒ සමගම මුදල් අච්චු ගැසීම අඩු කරල ආදායම් වැඩි කර ගැනීමට අවශ්‍ය විවිධ පියවර ගත්තා.

තිළිණි ඇතුළු 4 ක් : ආයෙත් රිමාන්ඩ් !

බරපතළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි ඇතුළු සිව්දෙනෙකු යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට අධිකරණය අද(16)නියෝග කර ඇත.

ඒ අනුව එම සැකකරුවන් නොවැම්බර් මස 30 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

මෙසේ බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවේ තිළිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන, පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර යන සැකකරුවන්ය.

ටයිගැට මහත්වරුන්ට : ඇමති ප්‍රසන්නගෙන් තගක් !

චක්‍රලේඛන සකස් කර ඇත්තේ වැඩ කිරීම පහසු කිරීමට මිස වැඩ නොකර කකුලෙන් ඇදීමට නොවන බැවින් චක්‍රලේඛනවලට මුවා වී තමන් ඇන්දීමට කටයුතු නොකරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග නිළධාරීන්ගෙන් ඉල්ලයි.

ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් රාජ්‍ය නිළධාරීන් ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකිරීම ප්‍රමාද කිරීමට චක්‍රලේඛන හේතුවක් කරගන්නා බවයි.

“මිනිහෙකුගේ සාධාරණ ඉල්ලීමක් ආපුවාහම නෑ, බෑ කියාගෙන එන්න එපා. ඒක නීත්‍යානුකූල විදිහට ඉටු කරන්න පුළුවන් විදිහ කියන්න. ඔය නෑ, බෑ කියන එක මට දිරවන්නෙම නෑ.” යැයි ද ඇමතිවරයා කීවේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අයවැය හා ඉදිරි කටයුතු පිළිබද අමාත්‍යාංශ නිළධාරින් සමඟ පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය අමාත්‍යවරුන් වන තේනුක විදානගමගේ, අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණ.

මෙහිදී අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් මෙසේ කීවේය.

“අපිට හැමදාම ඉතිහාසයට බැණ බැණ ඉන්න බෑ. වර්තමානයට මුහුණ දෙමින් අනාගතය සැලසුම් කළ යුතුයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය කියන්නේ රටේ සංවර්ධනයට අදාළ ප්‍රධාන අමාත්‍යාංශයක්. විශේෂයෙන්ම රටේ ජනතාවගේ නිවාස ගැටළුවට සෘජුවම විසඳුම් ලබාදීමට බැඳී සිටින අමාත්‍යාංශයක්. පසුගිය සමයේ පැවති කොවිඩ් වසංගත තත්ත්වයත් මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදයත් නිසා මේ අමාත්‍යංශය යටතේ සිදු කෙරෙන නිවාස ණය හා ආධාර වැඩසටහන් ඒ වගේම නිවාස ව්‍යාපෘතිවල තාවකාලික පසුබෑමක් සිදුව තිබෙනවා.

ජනාධිපතිවරයා මෙවර ඉදිරිපත් කළේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා වන අයවැයක්. එමගින් මුලික අවධානය යොමුව තිබෙන්නේ මේ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද කියන එක. අපි බලන්න ඕනේ ඒ වැඩපිළිවෙල ඇතුළේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට ගත හැකි පියවර පිළිබඳවයි. පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැගීම ඉලක්ක කරගෙන තමයි අපි ඩොලර් වලට නිවාස විකිණීමේ වැඩසටහන, One Stop Unit සංවර්ධන ව්‍යාපෘති සඳහා අනුමැතිය දීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සිදු කළේ. තව තවත් අලුත් ව්‍යාපෘති හඳුනාගෙන ඉදිරි කාලය තූළ කඩිනමින් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුයි.

පසුගිය කාලයේ නිවාස ණය, ආධාර වැඩසටහන් වගේම ඇතැම් නිවාස ව්‍යාපෘති හා ඇතැම් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරලා තියෙන්නේ නිසි සැලසුමකින් තොරවයි. ඇතැම් ව්‍යාපෘති ආරම්භ කරලා තියෙන්නේ නිළධාරීන්ට ඕන විදිහට. තිබෙන ව්‍යාපෘති අවසන් කිරීම වෙනුවට තවත් අලුතින් ව්‍යාපෘති ආරම්භ කිරීම සිදුවෙලා තියෙනවා. මෙතෙක් ක්‍රියාත්මක ණය, ආධාර, වැඩසටහන් හා ව්‍යාපෘති අවසන් කරනතුරු නව ව්‍යාපෘති හා ණය හා ආධාර වැඩසටහන් ආරම්භ නොකළ යුතුයි.

ඇතැම් නිළධාරින්ගේ වැරදි නිසා දේශපාලනඥයින් වන අපියි බැණුම් අහන්නේ. “ටයි ගැට” ප්‍රශ්න නිසා නිළධාරීන් අතර විවිධ ගැටළු තියෙනවා. ඒකත් මේ රාජ්‍ය ආයතනවල වැඩ නොවීමට හේතුවක්. තනතුරු ප්‍රශ්න, සීනියෝරිටි ප්‍රශ්න එහෙම නැත්නම් වෙන පුද්ගලික ප්‍රශ්න නිසා නිළධාරීන් අතර විවිධ ප්‍රශ්න තියෙනවා. ඒකට තමයි කියන්නේ “ටයි ගැට” ප්‍රශ්න කියලා. මේ ප්‍රශ්න නිසා ආයතනවල වැඩ නොවුණාම බනින්නේ බලය තියන ආණ්ඩුවට. නැත්නම් ඇමතිට ඒ නිසා “ටයි ගැට” ප්‍රශ්න නිසා ජනතා සේවය බාල්දු කරන්න එපා. අමාත්‍යාංශයේ වැඩ ප්‍රමාද කරන්න එපා. ”

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනම් කරන්න - ජනාධිපති

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා කෙටි කලක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් දෙනු ලැබීය.

මේ සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පවතින සියලු ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, නීතිපති සංජය රාජරත්නම්, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී. කොඩිකාර, සහ රේඛීය ආයත ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ලංවීම පසුගිය මාස 3 ට කෝටි 4431 ක පාඩුවක් !

ලංකා විදුලිබල මණ්ඩලයේ පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 4431ක මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව වාර්තා වෙයි.

මේ වසරේ ජූලි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාර්තුව වෙනුවෙන් ලංකාවිදුලි බල මණ්ඩලයට එම පාඩුව සිදුව ඇතැයි එම මණ්ඩලයට නිකුත් කළ මූල්‍ය වාර්තාවේ සඳහන් වේ.

ලංකා විදුලි බලමණ්ඩලය ඉකුත් 2021 වසරේ එම කාර්තිවේදි රුපියල් කෝටි 2145ක පාඩුවක් ලබා තිබිණි.

මන්නාරම රදගුරු ජනපති හමු වෙයි !

මන්නාරම රදගුරු ෆිඩෙල්ස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් ඇතුළු පූජකතුමන්ලා පිරිසක් අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූහ.

මන්නාරම ප්‍රදේශයේ ඉඩම් ගැටලු ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැණුවත් කෙරුණු අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා බව සඳහන් කළේය.

මඩු වන්දනාවේ පැමිණෙන බැතිතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව ද මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් විය.

ජොයිස් පෙපි සොසායි (Joyce Peppi Sosai Santia) පියතුමා, ඇන්තනී සොසායි පියතුමා (Antony Sosai) ඇතුළු පියතුමන්ලා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20221116 WA0003

Page 251 of 462