අපේ විශිෂ්ට කවීන්ගේ උරුමය අද සාහිත්‍යයෙන් ඈත්වෙලා - ජ්‍යේෂ්ඨ මහාචාර්ය ජයන්ත අමරසිංහ

අපේ විශිෂ්ට කවීන්ගේ උරුමය අද සාහිත්‍යයෙන් ඈත්වෙලා - ජ්‍යේෂ්ඨ මහාචාර්ය ජයන්ත අමරසිංහ

රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ විනේතෘ මහාචාර්ය ජයන්ත අමරසිංහ තම පියාණන් එකතු කළ ජන කවි රැසක් ‘දොන් නිකුලස් අමරසිංහ එකතු කළ ජන කවි’ නමින් (සරසවි ප්‍රකාශන) ප්‍රකාශයට පත් කර ඇත. මේ මහාචාර්ය ජයන්ත අමරසිංහයන් සමග ජන කවිය පිළිබඳ කළ සංවාදයකි.


ඔබේ පියාණන්ගේ ජන කවි එකතුව කෘතියක් ලෙසින් ප්‍රකාශයට පත් කරන්නේ ඒ කවි එකතුවට වසර සියයක් ගතවීමට ආසන්න කාලයකදි යි. මෙවැනි කෘතියකින් ඔබ බලාපොරොත්තු වුණේ කුමක් ද?

මීට පෙර කිසිම ජන කවි එකතුවක නොතිබූ ජන කවි රාශියක්


මගේ පියාණන් එක්දහස් නවසිය විසි හයේ තමයි ගුරු වෘත්තියට බැඳී තිබුණේ. නවසිය හැටහතරේ එතුමා විශ්‍රාම යද්දි ලංකාවේ නොයෙක් පළාත්වල පාසල් දහයක පමණ සේවය කර තිබුණා. ඒ කාලයේ තමයි මේ ජන කවි එකතු කර තිබුණේ. මීට පෙර කිසිම ජන කවි එකතුවක නොතිබූ ජන කවි රාශියක් මේ එකතුවේ තිබුණා. ඒ නිසා මම කල්පනා කළා එය මගේ පෞද්ගලික මතක වස්තුවක් කරගන්නවාට වඩා ඒවා මුද්‍රණය කර පාඨක ලෝකයට බෙදාහැරීම වැදගත් කියා.

පැරැණි ගුරුවරුන් තමා අවට සමාජයේ තිබුණු ජන උරුමය කෙරෙහි කොයිතරම් ආදරයකින් කටයුතු කළාද කියන එක මේ කවි එකතුවෙන් පැහැදිලි වෙනවා. මම හිතන්නේ මේවා පළ කිරීමේ අදහසක් මගේ පියාට නොතිබෙන්න ඇති. නමුත් මේ ජන කවි සමාජයේ වින්දනය සඳහා පසුකාලීනව හෝ වැදගත් වෙයි කියන අදහසින් ඒවා අභ්‍යාස පොත්වල ලියා එකතු කර තිබුණා විය හැකියි. මාරස්සන ඩී. පී. වික්‍රමසිංහ, මොරටුව එගොඩඋයනේ ටී. ඇස්. ධර්මබන්දු, ගන්දර පී. ඩී. ඇස්. වීරසූරිය වැනි ගුරුවරු ජන කතා සහ ජන කවි එකතු කර පළ කළ මගේ පියාගේ පරම්පරාවේ ගුරුවරුන්. අද නැතත් මතු පරම්පරාවෙන් හෝ මෙවැනි අය බිහිවෙයි කියන බලාපොරොත්තුවෙන් මේ උරුමයන් ඔවුන්ට නැවත මුණගැස්සවීම වැදගත් කියා මා සිතුවා.

ඔබ විශ්වාස කරනවාද අලුත් කවි පරම්පරාවට මෙවැනි කවි ඇස ගැටෙයි කියා? මොකද වාක්‍යයක පද පහළට කඩා ඒවා කවි ලෙසින් හඳුන්වන පරම්පරාවක් තමයි අද ඉන්නේ.


රත්න ශ්‍රී අපේ අවධියේ බිහිවුණු විශිෂ්ටම කවියා නෙවෙයි

පැරැණි ජන කවිය පමණක් නෙවෙයි, අප ජීවත්වන ආසන්න අඩ සියවසේ ලියූ කවි ගැනවත් වත්මන් පරපුරට අවබෝධයක් නැහැ. ජන ඇසුරෙන් හෝ පොත-පත ඇසුරෙන් සම්ප්‍රදායය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට ඔවුන් උනන්දු නැහැ. නිර්දිෂ්ට සාහිත්‍ය නිර්මාණවත් නොකියවා සිංහල විෂය සමත්වුණ සිසුන් තමයි විශ්වවිද්‍යාලවලට එන්නේ. ‘බැද්දේගම’ නවකතාවේ සිලිඳු කියන්නේ ගැහැනියක් කියලා පිළිතුරු ලියූ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යයෙක් මට හමුවුණා. මේක තමයි ඇත්ත ම තත්ත්වය. මේ විදිහට සාහිත්‍ය සේවනයෙන් තොර පරම්පරාව වල් කුඩමැටි වගේ පඳුරු ගසන සමාජයක තමයි අපි ජීවත්වෙන්නේ.

බොහෝ තරුණයො කවි ලියා ඒවායේ ගුණදොස් මගෙන් විමසනවා. මම ඔවුන්ගෙන් අහනව ගුණදාස අමරසේකර, සිරි ගුනසිංහ, මහගම සේකර, දයාසේන ගුණසිංහ, සිරිලාල් කොඩිකාර යන අයගෙ කවි කියවා තියෙනවද කියල. කණගාටුවට කරුණ නම් ඔවුන් ඒ කවි කියවා නැහැ. ඔවුන් රත්න ශ්‍රී හැරුණු කොට වෙනත් කවියන් පිළිබඳ දන්නෙ නැහැ. රත්න ශ්‍රී අපේ අවධියේ බිහිවුණු විශිෂ්ටම කවියා නෙවෙයි. විශිෂ්ටම කවියෝ හිටියේ ඉන් ඈත යුගයේ. කවිය චූල ප්‍රවාහයක් බවට පත්වී එන අවධියේ බිහිවූ කවීන් තමයි රත්න ශ්‍රී ගෙන් මෙපිට පරම්පරාවෙ හිටියෙ. ඉන් එහා හිටිය විශිෂ්ට කවීන්ගේ උරුමය අද අපේ සාහිත්‍යයෙන් ඈත්වෙලා. ඒ නිසා තමයි බෙහෙත් වට්ටෝරු වගේ ගද්‍ය වාසගම් කඩ කඩා ලියන ඒවා කවි ලෙසින් පිළිගන්න මට්ටමට ඇවිත් තියෙන්නෙ.

            මේ ජන කවි එකතුවේ තියෙන ‘බත් ගස වැනුම්’ ජන කවිය සමග නිතැතින්ම අතීතයට යනවා. මොකද මමත් ඒ අත්දැකීම් ලැබූ පරම්පරාවේ සාමාජිකයෙක්. ඇත්තෙන්ම ජන කවි කියන්නෙත් අතීතය දෙස බැලුම් හෙළිය හැකි කවුළුවක්.

ගැමි සූපවේදයේ සුවඳ

ජන කවියෙ තියෙනවා හරිම අව්‍යාජ බවක්. සමහර විට විදග්ධ කවිය ඉක්මවා යන ගුණයක් ජන කවිය සතුව තිබුණා. මට හිතෙනවා එවක සමාජයේ යම්කිසි දැනුම් තේරුම් ඇති පිරිසක් අතරින් මේ කවි බිහිවුණා කියල. ඔබ මතු කළ ‘බත් ගස් වැනුම්’ ජන කවියේ එදා ගැමි සූපවේදයේ තිබුණු ඇතැම් දේ ගැන තියෙනවා. ඔව්, ජන කවිය ඇතුළෙ පැරැණි ජන සමාජයේ සත්‍ය තොරතුරු රැසක් තියෙනවා. එදා සමාජයේ ජීවන ව්‍යවහාර ජන කවියේ තියෙනවා.
 

ජන කවිය එවක සමාජයේ දැනුම් තේරුම් ඇති පිරිසක් අතරින් බිහිවුණ බව ඔබ පවසනවා. ඒ සමග සිහිපත් වෙන්නේ මහාචාර්ය සෙනරත් පරණවිතාන සීගිරි ගී ගැන ලියූ දෙයක්. සීගිරි ගී අවියත් ජන කවියන්ගේ නිර්මාණයක් නොවන බවත්, ඒ සමයේ පැවැති කාව්‍ය වංශයක අවබෝධයෙන් ලියූවක් බවයි ඔහුගේ අදහස.

පරණවිතාන නිවැරැදියි

පරණවිතාන මහත්තයා කියන දේ හරියටම හරි. ගම්වල හිටපු හේන් කොටන, පැල් රකින මිනිසුන්ට කාව්‍යමය සංකල්ප, රස විඳීම පිළිබඳ ඇල්මක් තිබුණා වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ට සීගිරි ගිහින් කවි ලියන්න වෙලාවක් තිබුණෙ නැහැ. සීගිරි ගියේ ඒ ඒ පළාත්වල යම් වත්පොහොසත්කම් සහිත, පරිවාර සම්පත්තිය සහිත යම්කිසි විවේකයකින් සිටි පිරිසක්.

සීගිරි කවි ලියූ අයටත් කාව්‍යකරණය පිළිබඳ මනා පරිචයක් තිබුණු බව ඒ නිර්මාණවලින් පේනවා. “කොමුල් අමඩ් ලෙඩ් ලිනසී – එ බොන්ද මියුර් යහ බැ සී - එ කපල් දල වන් දිගැ සී – මන ජල්වයි සිත් නොමුසී” කොමඩු ගෙඩිය වගේ සීතල ගුණයක් තියෙන ස්ත්‍රිය, කොමඩු ගෙඩියක බීජ පන්තිය වගේ ඇගේ මනස්කාන්ත සිනහව. හැබැයි ඒ සිනහව මගේ හදවත දල්වනව. ගින්නක් වගේ ඉක්මනට දහනය වෙන්න ගත්ත. සිත අතහරින්නේ නැහැ. මේක හරි ප්‍රබල කාව්‍යෝක්තියක්. මෙවැනි කාව්‍යෝක්ති කවිය පිළිබඳ අවබෝධයක්, පරිචයක් ඇති කවි සේවනය කළ පිරිසකගේ නිර්මාණ මිසක් හිටිහැටියේ පහළ වූවක් නෙවෙයි.
 

ජන කවිය මිනිස් ශ්‍රමය හා ඓන්ද්‍රීයව බැඳුනක් බවත්, වී ගොවිතැනට යන්ත්‍ර සූත්‍ර පැමිණීමත් සමග ජන කවිය ද කෙතෙන් පිටමං වූ බව ඔබ මේ කෘතියේ පූර්විකාවේ දී පවසනවා. නමුත් තවමත් මිනිස් ශ්‍රමය සමග බැඳුණු කර්මාන්ත තියෙනවා. තවමත් ඈත ගම්වල හේනේ පැල් රකිනවා. තවමත් ධීවරයෝ මාදැල් අදිනවා... ඇයි අද අලුත් ජන කවි නොඇසෙන්නේ...?

මානව බන්ධුත්වය වාණිජකරණයට ලක්වෙලා

අද පැල් රකින කෙනෙක් සුහුරු දුරකතනයෙන් සමාජ මාධ්‍ය එක්ක ගනුදෙනු කරනවා වෙන්න පුළුවන්. දැන් තවදුරටත් මිනිස්සු අතර මානව සබඳතා නැහැ. එදා කවිය පැවතුණේ අන්තර් මානව සබඳතාවන් එක්ක. සීසාද්දි ගයන අඬහැරයේ තිබුණේ ගවයාට සහ ඒ ගවයා දක්කමින් රටාවට ඒ කටයුත්ත කරද්දි අවශ්‍ය කායික රිද්මය. ධීවරයා දැලක් අදිනකොට ඒ කවියේ තිබුණේ කායික රිද්මය. එදා එක පවුලක සාමාජිකයන් දහයක් විතර හිටියා. අද වෙද්දි පවුලක ඉන්නෙ සාමාජිකයෝ තුන්දෙනයි. එය මේ සමාජයේ ලොකු වෙනසක් ඇති කළ තැනක්. එදා නිවසක වහළේ පොල් අතු බඳින්න ගමේ ඉන්න තරුණ පිරිස එකතුවුණා. අද එවැනි සාමූහික ශ්‍රමයක් නැහැ. එවැනි දෙයක් කරනවා නම් එයට යම් මුදලක් නියම වෙනවා. ස්වභාවික මානව බන්ධුත්වය මිලට ගන්න තත්ත්වයට ඇවිත්. ඒවා වාණිජකරණයට ලක්වෙලා. ජන කවියට තිබුණු තැන පුරවන්න ගීතය, චිත්‍රපටය යනාදි ජනප්‍රිය මාධ්‍යය ආවා. එවැනි තැනක සාමූහික නිර්මාණශීලීත්වය සමග එන සුහදත්වයේ තෘප්තිමත් ආත්ම ප්‍රකාශන මාධ්‍ය ඉබේම මියගියා.

 
අතීතයේ කවිය සහ පොදු ජන සමාජය අතර තිබුණේ සමීප සබඳතාවක්. එය බිඳී ගියේ කවිය විදග්ධ භාවිතයක් වූ නිසා ද?

නූතන අධ්‍යාපනයෙන් ළමයින්ට සාහිත්‍ය එපා කරවනවා

නැහැ, එය සම්පූර්ණයෙන් වැරැදි අදහසක්. කවියේ විදග්ධ සහ පොදු ජන කියන කොටස් දෙක ම අනාදිමත් කාලයේ සිට තිබුණා. සමහර විට ඒ දෙක එකම තලයක ගමන් ගත්තා. ඇතැම් තැනකදි සම්මිශ්‍රණය වුණා. හොඳම උදාහරණය තමයි ගුත්තිල කාව්‍යය. වෑත්තෑවේ හාමුදුරුවෝ ජන කවිය සම්බන්ධයෙන් තිබුණු පාරම්පරික උරුමය සංකලනය කරනවා විදග්ධ කවිය සමග. තාමත් අපේ ගම්වල ඉන්නවා ගුත්තිලයේ කවි කට පාඩමින් කියන අවුරුදු අසූවේ වැඩිහිටියෝ.

අද සෞන්දර්ය, සාහිත්‍යය වින්දන මාධ්‍යයක් විදිහට උගන්වන ක්‍රමයක් අපේ අධ්‍යාපනයේ නැහැ. දැන් තියෙන අධ්‍යාපනයෙන් කරන්නේ කෘත්‍රිම විදිහට සාහිත්‍යය උගන්වා ළමයින්ට එය එපා කරවීම. පෙර හිටපු ගුරුවරුන්ට හරි ලස්සනට කවි ගායනා කරන්න පුළුවන්. හෙළ හවුලේ ගුරුවරු හිටියා ඔවුන් හරිම නිර්මාණශීලීයි. අද එහෙම අය නැහැ. රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධුරයට බඳවා ගැනීමට පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයකට පැමිණි එක් ආචාර්යවරියක්ගෙන් ඇසුවා ඒ වසරේ සම්මාන උලෙළවල දි ඇගැයීමට ලක්වූ නවකතාවක නමක්. ඇය ඒ එක නවකතාවක් ගැනවත් දැන හිටියේ නැහැ. මේ සිංහල විෂය උගන්වන ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධුරයට පත්වෙන්න ඉන්න කෙනෙක්. දැනුම උඩින් ආරෝපණය කරගත්ත, බාහිර ආලේපනයක් කරගත් අය තමයි මේ. දැනුම ඔවුන්ගේ ජීවිතයේ කොටසක් නෙවෙයි. කටපාඩම් කරගත් කෘතිම දැනුමක් හැර අවංකව උපයාගත් ඥානයක් ඔවුන්ට නැහැ. අද කවි ලියන අයත් මේ පොදු ඉරණමේ කොටස්කරුවන්. එහෙම නැතිව සුවිශේෂ නැහැ.
 

අපේ සිංහල කවීන්ගෙන් ජන කවියේ සාරය හොඳින්ම උකහා ගත් කවියා කවු ද?

අලුත් කවියෝ අමරසේකර නැවත හැදෑරිය යුතුයි

ගුණදාස අමරසේකර. ඔහුගේ ‘අසක්දා කව’ තමයි සිංහල කාව්‍යයේ ජන කවිය, විදග්ධ කවිය සියල්ලෙන්ම පෙරාගත් සාරය මූර්තිමත් වන කෘතිය. ජන මනස ශූර ලෙසින් ප්‍රකාශ කරන්න ඒ තරම් ශූර කවියෙක් බිහිවුණෙත් නැහැ, බිහිවන බවට ලකුණක්වත් නැහැ. අපේ අලුත් කවියෝ අමරසේකර නැවත හැදෑරිය යුතුයි. ඔහුගේ ජීවිතය දැන් සියවසකට ආසන්නයි. ඊළඟ සියවසේ අමසේකරගේ නිර්මාණ විචාර වීමංසන බුද්ධියෙන් කියෙව්වොත් සිංහල කවියේ අර්බුදය වුණත් අපිට තේරුම් ගන්න පුළුවන්.
 
 
සාර්ථක කවියෙක් වෙන්න නම් නව පරම්පරාව පටන්ගත යුත්තේ කොතැනින් ද?

අලුත් අය කවි ලියන්නේ එදිනෙදා සිල්ලර භාෂාවෙන්

අලුත් කවියන් කවිය ප්‍රහර්ශය දනවන ආත්ම ප්‍රකාශනයක් විදිහට ලියන්න උත්සාහ කරනවා. භාෂාවේ ව්‍යක්ත ව්‍යවහාරය, හැඟීම් දැනවෙන විදිහට භාෂාව ව්‍යවහාර කිරීමේ හැකියාව මේ පරම්පරාවේ වැඩි දෙනෙක්ට නැහැ. ඔවුන් කවි ලියන්නේ එදිනෙදා සිල්ලර භාෂාවෙන්. ඇත්තටම කවියෙක් භාෂාව පිරිපහදු කරගන්න ඕන. පිරිපහදු වූ භාෂාවක් කාව්‍යකරණයට යොදා ගැනීමේ මෑත සියවසේ හොඳම නිදර්ශනය සපයන්නේ දයාසේන ගුණසිංහ කවියා. ගුණදාස අමරසේකර දැරූ ප්‍රයත්නයේ කූඨප්‍රාප්තිය සලකුණු වුණේ දයාසේන ගුණසිංහගේ කවිවල. ඒ කවිවල තිබුණා ව්‍යක්ත භාෂාව. ඒක ප්‍රාතිහාර්යයක් වැනි දෙයක්.

අද ජීවමාන හොඳම කවියා එරික් ඉලයප්ආරච්චි. ජීවමාන භාෂාවේ පණ ගැහෙන රූපය ඔහුගේ කවිවල හොඳින් තියෙනවා. ඔහුගේ කවිය හැදෑරුවත් අපේ කවියේ ගමන ගැන අදහසක් ගන්න පුලුවන්. ඔහුගේ කවියේ තියෙනවා අමරසේකරගේ පිළිඹිබුව, සිරි ගුනසිංහගෙ පිළිඹිබුව. හැබැයි ඒක ඔහුට අනන්‍යයි. ඔහු එය තමාගේ රූපයක් බවට පත්කරගෙන තියෙනවා.
 

තමන් සතු දිළිඳු භාෂා වාක්කෝෂයෙන් කවිය ප්‍රකාශයට පත්කරන්න බැහැ

අලුත් පරම්පරාව මේවා ළැදිව හැදෑරිය යුතුයි. එහෙම නැතිව තමන්ට තියෙන දිළිඳු භාෂා වාක්කෝෂයෙන් කවිය ප්‍රකාශයට පත්කරන්න බැහැ. ඒත් අද තියෙන ලොකුම අර්බුදය තමයි මේවා පිළිබඳ තැන්පත් නුවණින් ඉවසීමෙන් කටයුතු කිරීමේ ගුණයක් තියෙන සාහිත්‍යකරුවන් නොමැතිවීම. මේ දිළිඳු රාජධානියේ ප්‍රාදේශීය රජවරුන් බිහිවෙනවා. සමහර විශ්වවිද්‍යාල මහාචාර්යවරු එවැනි දිළිඳු සාමාජික හවුලක් හදාගෙන වීරයෝ බවට පත්වෙනවා. ඔවුන් තමන්ගේ කුලකයේ අයට ව්‍යාජ පටසළු අන්දවා මංමුලා කරනවා. ඒ නිසා අලුත් කවි පරම්පරාව අව්‍යාජව කළ යුත්තේ ආසන්න පරම්පරාව දක්වා ආ ගමනත්, සම්භාව්‍ය සාහිත්‍යයත්, ජන සාහිත්‍යයත් විවේක බුද්ධියෙන් හැදෑරීම, එහි සාරය උකහා ගැනීම. ඒක තමයි එකම මාර්ගය.
 
උපුටා ගත්තේ Suranga Indika Lakmal Bogahawatta ගේ face book පිටුවෙන්

(සංවාදය | ලක්මාල් බෝගහවත්ත)
සති අග අරුණ 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න