මයිකල් ප්‍රනාන්දු සමග මගේ මතකයෙන් බිඳක්

මයිකල් ප්‍රනාන්දු සමග මගේ මතකයෙන් බිඳක්

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු අභාවයට පත් වී ඇති පණිවිඩය ආවේ දැන් (2026-01-31 රාත්‍රී 11.30ට පමණ). පේරාදෙණියේ අපේ කාලයේ සිටි ගුරුවරුන් අතර ඉතාමත් වැදගත් තැනක් ආචාර්ය මයිකල් ට තියෙනවා.

එතුමන් මට මුළින්ම හමුවූයේ 1993 වසරේ පමණ ඔහු ජර්මනියේ සිට නැවතත් පේරාදෙණියට පැමිණි පසුවයි. ඒ කාලයේ අපි ජනතා මිතුරෝ සංවිධානය හදන්න සහ ජාතික චින්තන සංවාදය ගොඩ නගන්න පේරාදෙණියේ සෑහෙන මහන්සියක් ගනිමින් හිටියේ. තවත් පැත්තකින් මාක්ස්වාදී දේශපාලනය සහ වාමාංශික දේශපාලනය ලෝක පරිමාණයෙන් කඩාවැටෙමින් තිබුණේ. ඒ කඩා වැටීම එක්ක ජාතික චින්තන සංවාදය උඩට ගන්න අපි උත්සාහ ගන්න කාලයේ අපේ ජාතික චින්තන සංවාදයට විරුද්ධව පෙනී සිටි ආචාර්යවරුන් කීපදෙනා අතර ආචාර්ය මයිකල් ඉදිරියෙන් ම හිටියා.

රංඩු වෙවී යාළු වෙවී

මමත් ධම්මිකත් (ඇමරකෝන්) මුල් වී සූරිය ගුනසේකරයන්ගේ දේශනයක් අපේ කලාගාරයේ කර තිබූ දිනයක ආචාර්ය මයිකල් සමගින් බරපතළ මතවාදී ගැටුමක් ඇතිවූ ආකාරය තවමත් මතකයේ තිබෙනවා. ඒ දේශනයෙන් පසුව මයිකල් ප්‍රනාන්දු මහතා සමග ඇතිවු සංවාදය ඉතාමත් උද්වේගකර වූ නමුත් එතුමන් සමගින් යම් 'රංඩු වෙවී යාළු වෙවී' යන තැනකට ගෙනියන්න අපිට හැකි වුණා.

චම්පික (රණවක) ලියු 'සංවර්ධනයේ තුන්වෙනියාමය' කෘතිය හරහා චම්පිකව පේරාදෙණියේ වාමාංශික විද්වතුන්ට හඳුන්වා දෙන්නට අපි උත්සාහයක් ගත්තා. එහිදීත් මයිකල් සහ සුමනසිරි (ලියනගේ) මහතුන් ඒ මතය සමගින් බරපතළ න්‍යායික ගැටුමක් ඇතිකර ගත් අතර ඒ නොඑකඟතාව තියා ගනිමින් පරසර දේශපාලනයක අන්තර්ගතය පිළිබදව සාකච්ජා කිරීමට අපට හැකි වුණා.

තම මතය නිශ්චිතව ඉදිරිපත් කරමින්

මේ සියල්ලටම වැඩිය ආචාර්ය මයිකල් සහ කණ්ඩායම් අතර පරස්පරතා ගොඩනැගුණේ ජාතික ගැටලුව සම්බන්ධයෙන් 1994 චන්ද්‍රිකා ආණ්ඩුව ගෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධව සංවාදය පැමිණි අවස්ථාවේ දී යි. ඒ සංවාදයේ පේරාදෙණියේ අපේ ආචාර්යවරුන් ගණනාවක් ම ඒ බලය බෙදාහැරීමේ ව්‍යාපෘතියේ ඉදිරියෙන් ම සිටියා. ඒ අතර මහාචාර්ය අමරසිංහ, මහාචාර්ය කීර්වැල්ල, මහාචාර්ය නවරත්න බණ්ඩාර, මහාචාර්ය සුමනසිරි ලියනගේ යන අය සමග ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතාත් සිටි අතර ඒ සංවාද රූපවාහිනි තුළ සහ පුවත් පත් තුළ සිදු කෙරුණු අවස්ථාවල ඔහු තමන් ගේ මතය (ආණ්ඩුක්‍රම ප්‍රතිසංකරණ සම්බන්ධව ඒ දිනවල අපි දැරූ සමහර ස්ථාවර නිවැරැදි නොවන බවත් ඒ සම්බන්ධයෙන් අපිට විරුද්ධ පැත්තේ අය දැරූ සමහර මත නිවැරැදි බව මගේ දැන් පිළි ගැනීම බවත් මෙහිදී සටහන් කළ යුතුයි) ඉතාමත් නිශ්චිත්ව දැක්වූවා.

කේ.එන්.ඕ. ධර්මදාස සහ මයිකල් ප්‍රනාන්දු විවාදය

මේ සංවාද අතර දිවයින පුවත් පතේ සිදුවූ කේ.එන්.ඕ. ධර්මදාස - මයිකල් ප්‍රනාන්දු විවාදය තවමත් සමහරුන් ට මතක ඇති. ඒ කාලයේ පේරාදෙණියේ අය එක දෙපාර්තමේන්තුවක අධ්‍යයන වැඩ කරමින් ජාතික සංවාදයේ ප්‍රතිවුරුද්ධ පැති නියෝජනය කිරීම සාමන්‍ය තත්ත්වයක්. රූපවාහිනියේ හෝ පුවත් පතේ ප්‍රතිමල්ලවයන් වන අතරම senior common room එකේ මිතුරන් ලෙසින් එකට අල්ලාප සල්ලාපයේ යෙදුනු ඒ ශාස්ත්‍රීය සම්ප්‍රදායේ ප්‍රබලයෙක් ආචාර්ය මයිකල් ප්‍රනාන්දු.

ඔහු දිනක් මට කියු පරිදි ඔහුගේ උපන් ගම වන්නේ මගේ ගම් ප්‍රදේශයේ බෝපිටියේ ලබ්බල යි. පසු කාලයේ ඔහු පේරාදෙණීයේ ජීවිතයේ වැඩි කාලයක් ගත කළ අතර විශ්‍රාම ගත් පසුව තිඹිරිගස්යායේ සුලෙයිමන් ටෙරස් හි පදිංචියට පැමිණියා.

2005 -2010 කාලයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඔහු විරුද්ධ වූ නමුත් 2010 සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නැගී සිටින්නටත් ඔහු පසුබට වුණේ නැහැ. ඒ සම්බන්ධව ඔහු සක්‍රීයව කටයුතු කළ ආකාරය සුමනසිරි ලියනගේ මහතා ඉතාමත් හොඳින් ම දන්නවා. පේරාදෙණියේ සිංහල දෙපාර්තමේන්තුවේ ඒ කාලයේ සිටි දැවැන්තයින් අතර එතුමන් එක් අයෙක්. ඒ කාලයේ සිංහල දේපාර්තමේන්තුවේ සිටි අය මතවාදවලින් වෙනස්කම් තිබෙද්දී ම අනෙකාගේ දක්ෂතා අගය කරන ආකාරයේ වැදගත් ආචාර්යවරුන් බව කිව යුතුයි. වසර 30 කට අධික කාලයක් අපි හොදින් දන්නා හඳුනන අපේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වූ, දේශපාලන වශයෙන් වෙනස් මත දරද්දීත් ඉතාමත් විශිෂ්ට මිතුරෙකු වු, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා ගේ අභාවය පිළිබදව සංවේගය සටහන් කරනවා.

සුභ ගමන් මයිකල් සර්...!

චරිත හේරත්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න