බොරිස් පැස්ටර්නැක් ගේ දොස්තර ශිවාගෝ දීර්ඝ ගද්‍ය කාව්‍යය කියවීමි.
එම කියවීම වෙහෙසකර ය; එහෙත් සිත්ගන්නාසුලු කියවීමකි. ශිවාගෝ නවකතාවේ සිංහල පරිවර්තනය කරුණාදාස හෙට්ටිආරච්චි නම් කීර්තිමත් පරිවර්තකයාගේ ය. ඔහු පරිවර්තනයේ පූර්ණ නිදහස තමන් සතුව පවතින බවට වූ අදහසකින් ශිවාගෝ පරිවර්තනය කර තිබීම අගය කළ යුතු ය. මේ වෙහෙසකර කියවීම සිත්ගන්නාසුලු එකක් වන්නේ ඔහුගේ එම නිර්මාණ කාර්‍යයට ස්තුති වන්නට ය.
සෝවියට් සාමූහික අවිඥානයේ සාහිත්‍ය ත්‍යාගය
දොස්තර ශිවාගෝ නවකතාව බොරිස් පැස්ටර්නැක්ගේ තනි අයිතියට පැවරීම කිසිසේත් යුතු නොවේ.එය සෝවියට් සාමූහික අවිඥානයේ සාහිත්‍ය ත්‍යාගයකි. එනම් පසුගිය සියවසේ සෝවියට් වැසියන් සාමූහික ප්‍රයත්නයක් ඉටු කිරීමට යෑමේ දී උපයාගත් අත්දැකීම් සම්භාරයේ සමාලෝචනයක් ශිවාගෝ හරහා අත්විදින්නට අපිට ඉඩකඩ සැලසී ඇත. ශිවාගෝ අප ගේ මිතුරෙක් වන්නේ එබැවිනි. ඔහු ගේ මරණය සිදුවූ ඍතුවේ දී සොයාගැනීමට දුෂ්කර වූ සුදු ලිලැක් මල් පඳුරු පිටින් මේ මිනිසා ගේ මළගම සරසන්නට පැමිණියේ ඒ මිත්‍රත්වය නිසා ය. ශිවාගෝ ජීවිතයේ බොහෝ තැන් තනිව විඳදරා ගන්නට රුචියක් දැක්වූ පුද්ගලයෙකි. එහෙත් සමාජය ඔහුව තනි කළේ නැත. සමාජයෙන් ඈත්වීමට පුද්ගලයා උත්සාහ කරන තරමටම සමාජය ඔහුව අත්පටලා තදින් ග්‍රහණය කරගන්නා බවට හොඳ ම උදහරණය ශිවාගෝ ය.

පැස්ටර්නැක් ගේ විවේචනය කුමක් ද...?
සමාජයත්, පුද්ගලයා ගේ අනන්‍යතාවත් අතර පවත්නා මේ දයලෙක්තික සම්බන්ධය අප තේරුම්ගන්නේ කෙසේද යන ප්‍රශ්නය මත ශිවාගෝ නවකතාවට ඔබ පක්ෂ ද විපක්ෂ ද යන්න තීන්දු වනු ඇත. බොරිස් පැස්ටර්නැක් ගේ ලේඛනය සෝවියට් බලධාරින් ගේ වෛරයට භාජනය වන්නේම එකී දයලෙක්තිකය වටහා නොගත් බැවිනි. සෝවියට් සංගමයේ පිරිහීමට පවා මේ පුද්ගල විඥානය නියමාකාරයෙන් වටහා නොගැනීම යම් විදිහකින් හේතු වූවා විය හැකි ය. සෝවියට් සංගමයේ වෛරයට පාත්‍ර වූ නමුත් මට අනුව ශිවාගෝ සෝවියට් සමාජයේ සතුරෙක් නොවේ. ඔහු සෝවියට් කම්කරුවාගේ මිතුරෙකි. සමූහ පරිකල්පනය තුළ මෙහෙයවන්නට උත්සාහ කරන සමාජයක ශිවාගෝ සටන් වැදුණේ අහිමි වී සිය පුද්ගලිකත්වයේ අනන්‍යතාව වෙනුවෙන් බව අමතක නොකළ යුතුය. පැස්ටර්නැක් මේ විවේචනය කරන්නේ සමාජය තුළ මම කවුද ? මට හිමි තැන, මගේ මතවාදය, මගේ කැමැත්ත, මට හිමි දේ, මේ පුද්ගල විඥානය මගහැර සමූහ පරිකල්පනයක් හිස මතට බලහත්කාරයෙන් පටවන්නට යෑමේ දී මතු වූ අර්බුදය යි. මේ අර්බුදයට විසඳුම පුද්ගලයාට ඉඩ දී විප්ලවය අතහැරීම නොවේ. ශිවාගෝ එවැනි අදහසක් නොදරයි. ඔහු පවසන්නේ මෙකී විරුද්ධාභාෂය තේරුම් ගනිමින් එකී ප්‍රතිවිරෝධය ක්‍රමිකව යටපත් කිරීමට අසමත් වීමේ ඛේදවාචකය පිළිබඳව යි.
බොරිස් පැස්ටර්නැක්
"අර බලන්න, පවුල් ජීවිතය ගැන උපතින්ම ගෙනාව ඉව තමයි ඔය. පිළිවෙළක් ඇතුව ජීවත් වෙන්ඩත් ගෙයක් දොරක් අයිති කරගන්ඩත් මිනිස්සුන්ට තියෙන ආශාව මොනම හේතුවකින් වත් විනාශ කරන්ඩ බැරි බව ඕකෙන් හොඳට පෙනෙනවා. ළමයි වැඩිහිටියන්ට වඩා අවංකයි..... "
මේ කත්යා සෙල්ලම් ගෙවල් තනනු දකින ලාරාගේ මුවින් පිට වූ වදන් ය.
ප්‍රේමය නමැති සංකීර්ණ මානව හැඟීම
ශිවාගෝ ටෝන්යා සමග ගෙවූ පවුල් ජීවිතය අර්බුදයට නොගිය මුත් දේශපාලන ආර්ථිකය මගින් ශිවාගෝ තුළ ඇති කළ අර්බුදය ඔහුව ලාරා වෙත බලහත්කාරයෙන් ළං කරයි. එහෙත් එය පුද්ගලික ඕනෑ එපාකම් මත පැටවූවක් නොවේ. ලාරා ගේ සම්බන්ධයට අවශ්‍ය උනන්දුව සපයනු ලැබ තිබුණේ අදාළ වටපිටාව මගින් ය. මරීනාගේ සම්බන්ධය කෙරෙහි ද එකී තර්කයම ආදේශ කිරීම අසාධාරණ නොවේ. ප්‍රේමය යනු දේශපාලනය සහ ආර්ථිකය තුළ වටහාගැනීමට වඩාත්ම අපහසු සංකීර්ණ මානව හැඟීමකි. එය පවත්නා තත්ත්වය තුළ කෙබඳු වේදැයි (එනම් ප්‍රේමයේ අනාගත හැඩතල කවරාකාර වේදැයි ) පූර්ව නිගමනයකට එළඹීම දුෂ්කර ය. සාමූහික අරගලයක් තුළ පවා පුද්ගල අනන්‍යතාව සිතන තරම් ලෙහෙසියෙන් අමතක කර යා නොහැක්කේ මේ නිසා ය.

විප්ලවවාදී දේශපාලන ව්‍යාපාර ශිවාගෝ සමග මිතුරු විය යුත්තේ ඇයි...?
බොරිස් පැස්ටර්නැක් මතුකර පෙන්වන මෙකී තර්කනය විප්ලවවාදීන්ට මගහැර යා නොහැකිය. එනම් ශිවාගෝට පයින් ගසා විප්ලවය කළ නොහැකි ය. ශිවාගෝ පෙන්වා සිටින දුර්වලතාවය හඳුනාගෙන එයට පිළියම් නොකළහොත් සමාජවාදී දම්වැල ඕනෑම මොහොතක බිඳී යනු ඇත. එබැවින් නූතන විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරය අනිවාර්යයෙන් ශිවාගෝ සමග මිතුරු විය යුතු අතර ඔහුගේ දේශනාවට සාවධානව ඇහුන්කන් දීමද මගනොහැර කළ යුතුය. ශිවාගෝ විප්ලවයේ සතුරෙක් නොවන බව අමතක නොකළ යුතුය.

සටහන - තරිඳු සම්පත්

