'මාරියා' නම් නිම නොවන නාමය

'මාරියා' නම් නිම නොවන නාමය

තමන්ගේ ශරීරය ඇතුළෙ හංගලා යුදෙව් ජාතිකයින් රැකගන්න නාසි හමුදාවේ තිරස්චීන ගින්න එක්ක සටන් කරලා මුළු ජීවිතය ම ජය ගත්ත අවුරුදු 17ක කෙල්ලක ගෙ කතාවක් වූ මාරියා කියවන ඕනෑම ගැහැනියකට ඒ වේදනාවට සමාන වේදනාවක් අත්විඳින්න පුළුවන් වෙනවා කියන එක නම් පැහැදිලියි.

නමුත් ජීවිත තොරතුරු සොයාගෙන කරන සංචාරයක් නිසා ඒ ගැහැනිය මුහුණ දුන් ඒ සිද්ධිය ඉස්මතු කරන්න කතුවරයා කිසිදු උත්සාහයක් ගෙන නැහැ. එයට හේතුව ඒ සිද්ධිය කියන්නේ ගැහැණියකට මුහුණ දෙන්න සිද්ධ වෙන සාමාන්‍ය සිද්ධියක් විදියට යි කතුවරයා ඒක පොත ඇතුළෙ ප්‍රක්ෂේපණය කළේ. ඒ කියන්නේ ඒ නිර්භීතකම මිස ඒක ජීවිතයට මහා කැළලක් විදියට නොහිතන සමාජයක් අපිත් ගොඩනගන්න ඕනෑ කියන පණිවුඩය තමයි මේ පොත පුරාවටම දිලා තියෙන විදියට මම දකින්නේ.

මම මාරියා ගැන ලියපු ලිපි කීපයක් බැලුවා, හැබැයි මම පොත ගැන හිතන විදියට කවුරුත් ලියලා තියෙනවා මට අහු වුණේ නෑ. ඒ නිසාම මම හිතුවා මේ ගැන ලියන විචාරය ටිකක් චාරයක් ඇතිව ලියන්න ඕන කියලා.

yudw1

ආකෘතිය

මුලින්ම ආකෘතිය ගැන. ආකෘතිය සුපිරියි. මේක සංචාරයක්, පොළොවෙ වගේ ම ඕහේ චාරයක් නැතුව වගේ ගහපු කයිවාරුවක්, හැබැයි ඒ චරිතයේ අහුමුළු හොයාගෙන කරපු සවිචාරවත් සංවාද. හැබැයි ඒ චරිත කතාවක් උනාට එහෙම එකක් කියලා හිතන්න බැරි විදියටයි චරිතයේ සංසිද්ධි ගලාගෙන යන්නෙ. හරියට ටෙලි සීරීස් එකක එපිසෝඩ්ස් වගේ. එකෝමත් එක රටක කියලා දුවිලි පන්නරය ලියන්න මම පටන් ගත්තා වගේ චරිතය මුල ඉඳලා අගට පෙළ ගස්සලා නැහැ. එයාගෙ ආකෘතිය ඇත්තටම පොහොසත්. කොටින්ම පොතේ ස්පාටකස් එළියට එන්නෙ අන්තිමට ම නොසිතූ විදිහට. ඒක තමයි පොතේ සාරය සහ පොතේ සිද්ධි පුරාවටම දිවයන කටුකම්බිය. පොත ඒක එළි කරන අවසාන කෑල්ල නොකියවා පොත ගැන කතා කිරීමත් විහිළුවක්.

බහුත්වාදී දර්ශනය

ඔයාලට අදහසක් තියෙනවා ද කවුද මේ පොතේ වීරයා කියලා? ඒක මම මේක කියවන අයගෙන් අහන ප්‍රශ්නයක්. ඒ වගේම කතන්දරය ගොතන්නෙ දෙබස් වලින්. කථකයෙක් නෑ. චරිත කතාවක එන සුවිශේෂී එකක්. මේ දෙබස් ඇතුළෙ තමයි චරිතවල අතීත සිද්ධි ගලාගෙන යන්නේ. ඒ විතරක් නොවෙයි මේ එකතුපාදා වෙන පිරිස එකට රැඳීලා ඉන්නෙ බොහෝ විට එකතු වීම තියාගන්න සාරධර්ම ටිකක් එක්ක. මේ යාළුවො කවුරුත් තමන් ගේ පෞද්ගලික අනන්‍යතා එක පාරට ම එළියට දෙන්නෙ නෑ. ගන්න උත්සාහ කරන්නෙත් නෑ. අනෙක තමයි මේ යාළුවො සෙට් එක ජාතීන් අතින් විවිධාකාරයි වාගෙම වයසිනුත් ගොඩාක් වෙනස්. මාරියාට අවුරුදු 90 කට කිට්ටුයි, මැල්කම් ලා 40ට අඩු හෝ ඒ වටා. මේ සංගමය තුළ අදහස් ගලනය කොයිතරම් අගේ ද කියන එක හිතෙනවා. පොත හරහා දෙන බහුත්වාදී දර්ශනය තවත් සුවිශේෂී පණිවුඩයක්.

maria3

මැල්කම් ගේ රිද්මය

අපට බොහෝ විට අතීත දැනුම් සම්භාරය අහිමි වෙනවා අපි යාළුවෙන්න මිනිස්සු තෝරන කොට වයස් අනුව. මිනිසුන් එකිනෙකාට වෙනස් හැබැයි භෞතික වෙනස්කම් අභිබවා ආධ්‍යාත්මික එකතුවීමක් තමයි යාළුකමක් පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. එක තමයි මේ ආකෘතිය සුපිරියි කියන එකෙන් මම අදහස් කළේ. චරිත කතාව වගේම චරිත ගුණාංගත් කතාවටම බද්ධ වෙලා තියෙන්නේ. ඇත්තෙන් ම අපේ රටේ අය දුක් වෙනවා අපට විවිධාකාර රටවල උදවිය මුණ ගැහෙන්න නෑනෙ කියලා, හැබැයි අපි අමතක කරනවා විවිධාකාර වයස්වල අය එක්ක ගැටෙන කොට අපට කොච්චර දේවල් ඉගෙන ගන්න පුළුවන් ද කියන එක. ඒකට රට රටවලම යන්න වුවමනා නැහැ කියන පණිවුඩය මේකෙන් දෙනවා. මේ පොතේ දෙන තවත් පණිවුඩ කීපයක් තියෙනවා, ඒ තමයි අපි අද දියුණුයි කියලා ආලම්බනය කරන රටවල්වල මෑත අතීතය කොයිතරම් කටුක දුක් කරදර වින්ද ද කියන එක. මැල්කම් ඒක දෙන රටාව සහ රිද්මය හරිම ලස්සනයි. ඇත්තෙන්ම කැනඩාවේ පවා අවුරුදු 50-60 ක් අතීතය ලේ දූවිලි මතින් නැගිටින හැටි මතක ගබඩාවල තියෙනවා. යුද්ධය සහ ඒකාධිපති පාලනය මොනතරම් කුරිරු වුණා ද ජීවිත වලට. හැබැයි ඒකාධිපති බවෙන් නිදහස් වෙන්න සහ කුරිරු බවෙන් මිදෙන්න පුළුවන් ජවය තියෙන මිනිස්සු එදා ඉඳලා අද දක්වාම ඉන්නවා. හැබැයි අද පරම්පරාව ඒ දේවල් දන්නෙ නැහැ. එතන තියෙන වැකුම් එක ගැන අපිට වඩා දැන ගන්න ඕනෙ මට නම් හිතෙන්නෙ ඒ රටේ මිනිස්සු. අන්න ඒ දම්වැල් හැදීම තමයි සාහිත්‍යය සහ කලාව තුළ සිද්ධ විය යුතු. යුද වියරුව තුළ හැමදාම හැම තැනක ම මිනිසුන් පීඩා වින්දත්, එකී වේදනාව අතරින් ඉදිරියට යෑමේ හැකියාව සකස් කරලා ‘දෙන සමාජයක්’ පැවතීම කියන කාරණාවත් ඒ වගේම වැදගත්. අපේ රටේ නැත්තේ ම ඒ සමාජය, ඒ සමාජ හිතවාදී වටපිටාව.

පුංචි පරිච්ඡේද සහ දාර්ශනික හර

maria1

ලොකු පොත උනාට තියෙන්නේ චූටි පරිච්ඡේද, ඒ නිසා හොද්දක් ලිපේ තියලා එක පරිච්ඡේදක් කියවන්න පුළුවන්, අපරාදේ කියන්න බෑ, ඒ සංක්ෂිප්ත පරිච්ඡේද පිටු 1000 පොතකට වාසියක්. ලේඛකයින් ට මම මේ කියන්නේ. හැබැයි ඒ ටුට්ටෙ තියෙන්නෙ වැල් වටාරම් නොවෙයි, දාර්ශනික හර. ඒකයි වෙනස. මම එකක් දෙකක් ගැන කියන්නම්, නැත්නම් මේ විචාරය පතරංගයක් වෙනවා. මේ ඒක තැනක්.

බොහිමියානු වෙන්න අපි ආශයි, එහෙම පෙන්වන්නත් අපි හරිම ආසයි, ඒත් මිනිස්සු එහෙම නෑ, මානව සමාජය මේ විදියට පවතින්නෙම අපි බොහිමියානු තත්වයෙන් ගොඩ ඒමේ බලාපොරොත්තු හංගාගෙන නමුත් එකට වැඩ කරනවා. බොහිමියානු අවන් හලට මම ආශයි. ඒත් අපි එතැන රැදෙන්න නෑ, එකට හේතුව තමයි අර හැංගුන බලාපොරොත්තු. මැල්කම් මෙහෙම කියනවා (පිටුව 276).

“අපි බොහිමියානුවො කියලා හිතන්නේ අපේ ගැලවීමටයි, විනෝදෙටයි විතරයි. නමුත් අපිට ඉලක්කයක් තියෙනවා. අපි ආත්මාර්ථකාමී යි”

මේක තමයි යථ හෙවත් reality ඒක. කොටින්ම ශ්‍රමණ සම්ප්‍රදායට පිළිපන් අයටත් බෑ සැබෑ බොහිමියානු දර්ශනය ට ඇතුළත් වෙන්න. ඒක ප්‍රපංචයක්.

ඇටිකෙහෙල් කෑ උගුඩුවො

තවත් උදාහරණයක් මට මතක් වුණා ගඩාෆි ගෙ ආකර්ෂණීය පොටෝ එකක් පත්තරේ ගිය කාලේ, 70 දශකයේ ලංකාවේ කෙල්ලො පිස්සු වැටුණා පින්තූරෙට විතරක් නොවෙයි ලෝක ගණන්කාරයාට චැලෙන්ජ් කරපු එකටත් එක්ක. හැබැයි එයාගෙ රෙදි ගලවනවා මැල්කම් අර සැබෑ ගඩාෆි එළියට ඇදලා අරගෙන. ඒ වගේම ස්විස්ටර්ලන්තය කියන රට සහ ජිනීවා ගැන අපි මොන බලාපොරොත්තු තියාගෙන හිටියත් සැබෑ රට මැද පෙරදිග සල්ලිවලට යට වෙලා තියෙන හැටිත් රෙදි ගලවලාම හෙළි කරනවා.
ඇත්තටම ජිනීවා වැවේ ඉඳගෙන මහවැව පොත කියවපු මැල්කම් මතක් වුණා මට ස්විස්ටර්ලන්තයෙ මිනිස්සු වතුර එක්ක සෙල්ලම් කරපු අයයි කියලා කියන 337 පිටුවේ. ඇත්තට ම අපි අපේ වතුර එක්ක කරපු සෙල්ලම කොච්චර ඉහළයි ද කියන එක. අතීතයේ අපි අපේ සම්පත් එක්ක සෙල්ලම් කරා, හැබැයි අද අපේ සම්පත් කොල්ල කන්න දීලා ඇටිකෙහෙල් කාපු උගුඩුවො වාගේ බලා ඉන්නවා පතිවත රැකගෙන.
හැබැයි මාරියා ලා පතිවත බල්ලට දාලා නිර්භීතව සටන් කළා. වැරදි වෙන්න ඇති, ඒත ආත්මය පාවා දුන්නෙ නෑනෙ. හැබැයි අපේ මිනිස්සු හිතන්නේ ආත්මය තියෙන්නේ කන්‍යා පටලයෙ කියලා. කෘතිමව හරි ඒක දාගන්න බලනවා සල්ලි වියදම් කරලා හරි.

‘ටැමිල්නාඩු ටැමිල්’

මේ පොත කියවද්දී මැල්කම් ගැන හිතුණෙ ඊර්ෂ්‍යාවක්. ඒ කියන්නේ අවුරුදු 25 ක් කැනඩාවේ හිටියත් මට ඔහොම විවිධාකාර international experience ලැබිලා නෑ. මම මුලින්ම රට ගිය 88 අවුරුද්දේ බැංකොක් සති දෙකයි බෙල්ජියම් හිටපු මාස තුනයි වටිනවා මේ අවුරුදු 25 ට වඩා කියලා හිතෙනවා මේ ගැන හිතන කොට. එකට හේතුව මේ කැනඩාවේ අර ප්‍රේම් කියනවා වගේ ‘අපේ එවුන්’ වැහි වැහිලා. මම හැමෝට ම කියන්නේ එන්ට එපා කැනඩාවට ඕස්ට්‍රේලියාවට international experience ගන්න කියලා නම්. මොකද මේ රටවල්වල තියෙන්නෙ සංස්කෘතික ගුහා. ඒ වුණාට ඉතින් ඒකෙත් ආතල් තියෙනවා. දැං මට ඔය ‘අපේ දෙමළ එවුන්’ අපට හඳුනාගන්න පුළුවන් ‘ටැමිල්නාඩු ටැමිල්’ අයගෙන් වෙන් කරලා. ඒ අපේ එවුන් කියන එක අපේ ජානවලට බැහැලා තියෙනවා කොහේ ගියත්, එක ඉස්සතු වුණාම ‘මමත්වයත්’ පැත්තකට කරලා වැඩ කරන ගතියක් තියෙනවා අපේ එවුන්ගෙ, ඒක ඔප්පු කළා අපේ එවුන් මෙදා පාර දිත්වා ආපදාවෙන්.

tmai1

විවේචනය

කතුවරයා මගේ යාළුවෙක්, හොඳම යාළුවෙක් හැබැයි අපි අදහස් අතින් විරුද්ධයි. අපි ගැටෙනවා ගොඩක් තැන්වල. මම පොතේ හොඳ නොහොඳ දෙකම ලියනවා. ඒක ගැනීම හෝ ප්‍රතික්ෂේපය එයාගෙ වැඩක්.

මට දැනෙන ලොකු අඩුවක් මේකෙ බොහෝ තැන්වල කයිවාරු දිග වැඩියි, කයිවාරු තව දුරටත් ප්‍රබන්ධ කරා නම් පොත පිටු 750 - 800 කට අඩු කරන්න තිබුනා. මම හිතනවා ඉංග්‍රීසි හෝ ප්‍රංශ පරිවර්තනය මේ අඩුව සපුරයි කියලා. අනිත් එක තමයි බොන බීම වර්ග ගැන හරියට ඒ කොම්පැණි දායකත්වය දීලා වගේ මාර්කට් වෙනවා. මමත් බොනවා, මම අමද්‍යප කෙනෙක් නොවේ. හැබැයි ඒක හොඳයි සිංහල පොතට, මොකද අපේ රටේ අයගේ ආශාවේ බීජය පිටරටවල්වල වීමේ සංස්කෘතිය සාහිත්‍ය තුළ ‘නාභිගත කිරීමේ’ (කාටවත් සමච්චල් කරන්න නොවේ මේ වචනය පාවිච්චි කළේ) අවශ්‍යතාව නිසා. මම දැකල තියෙනවා බොහෝ අය හරි ආසයි වොඩ්කා ජින් උත්කර්ෂවත් කරලා ගමේ දේශීය කසිප්පු කාරයො පිංචං කරන හැටි. කොටින්ම මම කියන්නේ මේකත් ඉංග්‍රීසි හෝ ප්‍රංශ පරිවර්තනවල අඩු කළොත් හොඳයි, හේතුව ඒ අයට මේවා මැජික් නොවන නිසා.

ඉතින් මේකයි මගේ චාරවත් විචාරය, මට පොරොන්දු වූ ඔබේ ඊළඟ පොත එනකල් බලා ඉන්නවා.

 

sumana1  සුමනා විජේරත්න

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න