ආණ්ඩුව අවුල්; විපක්ෂය?

ආණ්ඩුව අවුල්; විපක්ෂය?

කාලයක් සද්දයක් බද්දයක් නැතිව හිටිය විමල් වීරවංශලා දැන් ඔන්න එළියට ඇවිත්.

නාමල් රාජපක්ෂත් දැන් මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කරමින් ආණ්ඩුවට කොනිත්තන්න පටන් අරන්. ඒ කියන්නෙ, ආණ්ඩුවෙ අවුරුද්දක කාලයෙන් පස්සෙ, පරාජිත විපක්ෂය නැවත බලයට පැමිණීමේ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරලා. එහෙත් ඇත්ත ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීමේ දී ආණ්ඩුවේ වැඩපිළිවෙළ විවේචනය කිරීම නොවැළැක්විය හැකි කාරණයක්.

ජාතික ජනබලවේගය ආණ්ඩු බලයට ආවෙ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක ගේ අභිලාෂය ඔවුන් නියෝජනය කරන බව ඡන්දය දුන් ජනතාව විශ්වාස කළ නිසා ද? ඒකට තියෙන්නෙ 'ඔව්' සහ 'නෑ' කියන උත්තර දෙකක්. ඇයි එහෙම එකිනෙක ප්‍රතිවිරුද්ධ උත්තර දෙකක්...?

ප්‍රශ්න විසඳුණා ද, විසඳේවි ද...?

මුලින්ම 'ඔව්' ගැන කියන්නම්. 2024 ජනාධිපතිවරණය සහ මහමැතිවරණය තුළ ප්‍රකාශිත ඡන්දයේ ස්වභාවය ගැන කිව්වොත්, අවුරුදු 70කට වැඩි කාලයක් වරින්වර මේ රටේ දේශපාලන තීන්දු ගත්ත, ආර්ථික පිළිවෙත් තීරණය කළ ධනපති පක්ෂ ජනතාව ගෙන් ප්‍රතික්ෂේප වුණ නිසා විකල්පය ලෙස ජාතික ජනබලවේගය ඔවුන්ගෙ තේරීම වුණා. 'ඔව්' කිව්වෙ සමහරු ජාතික ජනබලවේගය වෙනසක් කරයි කියලා විශ්වාස කළ නිසා.

එහෙම නම්, 'නෑ' කියන්නෙ ඇයි? ඒකටත් කියන්න වෙන්නෙ අර ප්‍රතික්ෂේප වුණ සාම්ප්‍රදායික දේශපාලන නායකත්වය නිසා වෙන කවුරුත් විශ්වාස කරන්න ජනතාව සූදානම් නැති නිසා ඡන්දය දුන්නා මිස, හැමෝ ම විශ්වාස කළා කියන එක කියන්න බෑ. විකල්පයක් නැති නිසා, ජාතික ජනබලවේගය ඔවුන් ගේ තේරීම වුණා. ඉතින් දැන් ජාතික ජනබලවේගය පැරණි දේශපාලන ආර්ථික වැඩපිළිවෙළෙහි ම ඉදිරියට යමින් ජනතාව මත බදු බර පටවමින් තිබෙනවා. මර්දන නීති ගෙන එනවා. දුන් පොරොන්දු කඩකරමින් තිබෙනවා. පසුගිය මැතිවරණවල දී ජනතාව ඉතිහාසයේ වෙනස්ම තීරණයක් අරන් ආණ්ඩු මාරු කළා. ජාතික ජන බලවේගයට ආණ්ඩු බලය දුන්නා. නමුත් මූලික ප‍්‍රශ්න එකක්වත් විසඳී නෑ. මේ ආණ්ඩුවත් මෙතෙක් පැමිණි නව ලිබරල් ධනවාදී ගමන් මගේ එලෙසම ගමන් කරනවා.

jvp1

විපක්ෂයේ 'එදා වේල'

මන්ත්‍රිවරු වැටුප් ගන්නෙ නෑ. වාහන ගොඩක් පාවිච්චි කරන්නෙ නෑ,වගේ දේශපාලන සංස්කෘතියෙ කරන වෙනසකින් ජනතාව ගේ ඇත්ත ප්‍රශ්නවලට උත්තර හොයන්න බෑ. (සමහර මන්ත්‍රිවරු, ඇමතිවරු කරන කියන දේවල් නිසා ඒ කියන දේශපාලන සංස්කෘතියේ වෙනසක් වෙලා ද කියන ප්‍රශ්නය වෙනම තියෙනවා) ඉතින් මේ ආණ්ඩුව විවේචනය කරන්න දැන් ගොඩක් අය ඉන්නවා, කිව්වට ඒක ඇත්තක් නෙවෙයි. මොකද පාර්ලිමේන්තුවේ විපක්ෂය ආණ්ඩුවේ එක් එක් පියවර විවෙචනය කරන්න මොනවා හරි කියනවා වුණත් ආණ්ඩුවේ දේශපාලන ආර්ථික වැඩපිළිවෙළ විවේචනය කරන්නෙ නෑ. මොකද ඔවුන්, ඒ කියන්නෙ සමගි ජනබලවේගය හෝ එක්සත් ජාතික පක්ෂය හෝ අනෙකුත් විපක්ෂයේ පක්ෂ, මේ ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගෙන යන ප්‍රතිසංස්කරණවලට එකඟයි. 

2024 මැතිවරණවලදි පවා ඔවුන් බලය ගන්න කතා කළේ රනිල් වික්‍රමසිංහ ආරම්භ කළ ආර්ථික සැලසුම් ඉදිරියට ගෙන යනවා කියන අදහසමයි. ඒ ආර්ථික සැලසුම්වලින් ජනතාවට ඇතිවන ගැටලු ගැන පාර්ලිමේන්තුවෙ විපක්ෂ කණ්ඩායම් ප්‍රශ්න කරන්නෙ නෑ. නමුත් පාර්ලිමේන්තුවෙන් පිටතදි පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජනතාවගේ ඇත්ත ප්‍රශ්න සමග මේ ආණ්ඩුවේ සැලසුම්වල සම්බන්ධය ගැන කතා කරනවා.

 

වමේ දේශපාලනය යනු කුමක් ද...?

නමුත් ආණ්ඩුව මාරු කරලා වෙන ආණ්ඩුවක් ගෙන ඒම ද උත්තරය?

මේ ආණ්ඩුවට පහර දෙන එකෙන් විපක්ෂය බලවත් වෙනවා කියලා ආණ්ඩුවේ ජනතා විරෝධී ප්‍රතිපත්ති ගැන නොකර සද්ද ඉන්න එක ද වමේ දේශපාලනය?

ආණ්ඩුව පරාජය කරන්න මැතිවරණයක් එනකං ඉන්න වෙනව නෙ. නමුත් ඇත්තටම අපි 2024 ඇහුවෙත් ආණ්ඩුවෙ ඔළුගෙඩි මාරුකරලා ඇත්ත ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන්ද? කියලා. මාරු කරන්න ඕන ආණ්ඩුවට වඩා ආණ්ඩුවල ප‍්‍රතිපත්තිය සහ ඔවුන් යන ගමන.

අවශ්‍යතාව සැබෑ වාමාංශික බලවේගයක්

wama1

මේ ආණ්ඩුව වෙනස් කරලා දැනට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින අයට බලය දීලා වෙනසක් වෙන්නේ නෑ. පාර්ලිමේන්තු විපක්ෂය ලෙස ඉන්න මෙතෙක් රට පාලනය කළ කණ්ඩායම් දෙකටයි, ඒවායෙන් කැඩුණු කණ්ඩායම්වලටයි ප‍්‍රතිපත්තිමය විකල්පයක් තිබෙනවා ද? ඔවුන් කියන්නේ මේ ආණ්ඩුවට අත්දැකීම් අඩුයි, පරිණත නෑ, මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න ඒ සඳහා පළපුරුද්දක් තිබෙන තමන්ටම බාර දෙන්න කියලා. ඒ ගොල්ලන්ගේ ආයේ අත්හදා බලන්න දෙයක් නෑ. ඒ වගේම අපට ඒ අය ගැන නැවත අත්හදා බලන්න දෙයක් නෑ. අපි දශක අටකට ආසන්න කාලයක් තිස්සේ ඔවුන් කළ දේ දන්නවා. ලංකාව මේ අර්බුදවලට ඇද දැමීමේ වගකීම ඔවුන් බාර ගන්න ඕන.

ඒ නිසා මේ ආණ්ඩුව වෙනුවට ඔය දක්ෂිණාංශික කණ්ඩායම් දෙකේ සහ ඒවායේ සහචරයන්ගේ ආණ්ඩු හැදුවා කියලා කිසිම වෙනසක් වෙන්නේ නෑ. අපි කරන්න ඕන රට යන ගමන්මග වෙනස් කරලා හරි පීල්ලට ගන්න එක. ඒක ජනතාව සංවිධානාත්මකව දේශපාලනයට සම්බන්ධ වෙන වාමාංශික බලයක් ගොඩනැගීමට සම්බන්ධයි.

ගොඩනැගිය යුතු බලය සහ කළ යුතු වෙනස ගැන සාකච්ඡාවක් ඉදිරියේ දී කළ යුතුයි.

මූලාශ්‍ර: FrontLine

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න