හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ගොනු කර ඇති රුපියල් මිලියන 16.2ක 'වුල්වර්හැම්ප්ටන්' (Wolverhampton) නඩුවේ ප්‍රධානම තර්කය වූයේ අදාළ ලන්ඩන් සංචාරය "කිසිදු නිල ආරාධනාවකින් තොරව සිදුවූ පෞද්ගලික ගමනක්" යන්නයි.
එහෙත්, මෙම සමස්ත චෝදනාව පුස්සක් බවට පත් කරමින් බ්ලිට්ස් ඉන්දියා (Blitz India) පුවත් සේවය විසින් පළ කරන ලද තීරණාත්මක ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවක් මේ වන විට කරළියට පැමිණ තිබේ.
බ්ලිට්ස් ඉන්දියා අනාවරණය සහ "නිල ආරාධනාව"
2023 ඔක්තෝබර් 15 වන දින ටීම් බිලිට්ස් ඉන්දියා (Team Blitz India) විසින් වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවති උත්සවය පිළිබඳව සවිස්තරාත්මක මාධ්‍ය ආවරණයක් සිදු කර තිබුණි. එම වාර්තාවට අනුව:
*ස්වරාජ් පෝල් සාමිවරයාගේ කුලපතිධුරයේ 25 වැනි සංවත්සරය සැමරීම සඳහා, වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය විසින් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට නිල වශයෙන් ආරාධනා කර තිබුණි.
*මෙම සංචාරය, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් පර්යේෂණ සහ ප්‍රතිපත්තිමය කටයුතු අගයමින් ඇයට ගෞරව මහාචාර්ය ධුරයක් පිරිනැමීමට සමගාමීව සංවිධානය වූවකි.
*එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන ඇතුළු දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් මෙම නිල අවස්ථාවට සහභාගී වූහ.
මෙම අතිශය පැහැදිලි මාධ්‍ය වාර්තාවට අමතරව, ලංකාවේ ජාතික මාධ්‍යයන් මගින් ද හෙළි කළ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ ලේකම් ක්‍රිස්ටීන් ෆ්‍රේසර් (Christine Fraser) ගේ ලිපියෙන්ද හිටපු ජනාධිපතිවරයාට, ඔහුගේ භාර්යාවට සහ හිටපු මහ කොමසාරිස්වරියට "නිල වශයෙන්" (Officially) ආරාධනා කර තිබූ බව නිල වශයෙන්ම තහවුරු කර ඇත.
බිඳ වැටෙන නඩුව
මෙම තීරණාත්මක "නිල ආරාධනාවේ" සාක්ෂිත් සමඟ, ලබන අප්‍රේල් 29 වන දින කැඳවීමට නියමිත ත්‍රිපුද්ගල මහාධිකරණ (Trial-at-Bar) නඩු විභාගය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අපරාධ නීති සංග්‍රහයන්ට අනුව බරපතළ නෛතික අර්බුදයකට ලක්වෙයි.
1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(h) ව්‍යවස්ථාව: රාජ්‍ය නායකයාගේ ජාත්‍යන්තර නියෝජනය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව "ජාත්‍යන්තර නීතිය, චාරිත්‍ර හෝ භාවිතයන් මගින් ජනාධිපතිවරයා විසින් කරනු ලැබීමට බලය දී ඇති යම් ක්‍රියාවක් කිරීම" විධායක ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත කාර්යයකි. බ්‍රිතාන්‍යයේ පිළිගත් විශ්වවිද්‍යාලයක කුලපතිවරයෙකුගේ උත්සවයකට රාජ්‍ය නායකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහට "නිල ආරාධනයක්" ලැබුණු විට, ඊට සහභාගී වීම ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීමේ නිල කාර්යයකි (Official Function). එවැනි නිල සංචාරයකට රජයේ මුදල් යෙදවීම නීත්‍යානුකූල වන අතර, එය "අවභාවිතයක්" ලෙස අධිකරණයක් ඉදිරියේ තර්ක කළ නොහැක.
2. පොදු දේපළ පනත සහ බිඳ වැටෙන "අපරාධ චේතනාව" (Mens Rea)
මෙම නඩුව පවරා ඇත්තේ 1982 අංක 12 දරන පොදු දේපළවලට එරෙහි වැරදි පිළිබඳ පනත යටතේය. මෙහි වරදක් ඔප්පු කිරීමට නම්, අදාළ මුදල් "වංචනික චේතනාවෙන්" (Dishonest Misappropriation) පරිහරණය කළ බව ඔප්පු කළ යුතුය. එනම් අපරාධ චේතනාව (Mens Rea) පැවතිය යුතුය. විශ්වවිද්‍යාලයේ ලිපියෙන් මෙය 'නිල සංචාරයක්' බව තහවුරු වීමත් සමඟ, අපරාධ චේතනාව පිළිබඳ තර්කය මුළුමනින්ම බිඳ වැටේ. ජනාධිපති ලේකම්වරයා අදාළ ලිපිගොනුවේ "Private" යන්න වෙනස් කර "Official" ලෙස සටහන් කිරීම, රජයේ මූල්‍ය රෙගුලාසි අනුව කළ පරිපාලනමය ක්‍රියාවක් පමණක් බවත්, එහි මුදල් සොරකම් කිරීමේ චේතනාවක් නැති බවත් මින් සනාථ වේ.
3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය: තෝරාගත් නීතිය (Selective Prosecution)
විශ්වවිද්‍යාල ලේකම්වරියගේ ලිපිය පැහැදිලිව කියන්නේ හිටපු මහ කොමසාරිස් සරෝජා සිරිසේනට ද නිල වශයෙන් ආරාධනා කළ බවයි. බී-වාර්තාවට අනුව පවුම් 40,000කට අධික ඇස්තමේන්තුව සෑදුවේ සහ වියදම් කළේද ඇයයි. ඇයට නිල ආරාධනාවක් තිබියදී "මම එහෙම එකක් දැක්කේ නෑ" කියා ඇය බොරු සාක්ෂි දෙනවිට, ඇයව සාක්ෂිකාරියක් කර, කොළඹ සිටි ජනාධිපතිවරයාව සහ ලේකම්වරයාව පමණක් අත්අඩංගුවට ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය සෘජුවම උල්ලංඝනය කරන ද්වේෂසහගත ක්‍රියාවකි.
4. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වන වගන්තිය අවභාවිත කිරීම
මින් පෙර අධිකරණයට කරුණු දක්වමින් CID ය ඉල්ලා සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වන වගන්තිය යටතේ ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්අකුරු ලබාගැනීමටයි. එහෙත්, ගමන සැබැවින්ම "නිල (Official) සංචාරයක්" බව විශ්වවිද්‍යාලය සහ මාධ්‍ය පිළිගෙන ඇති පසුබිමක, ලේකම්වරයෙකු එය නිල සංචාරයක් ලෙස තම අත්අකුරින්ම අනුමත කිරීම ගැන අත්අකුරු පරීක්ෂා කරන්නේ ඇයිද යන හාස්‍යජනක නෛතික අර්බුදයට (Absurdity of Investigation) නීතිපතිවරයාට දැන් මුහුණ දීමට සිදුවී ඇත.
රාජ්‍ය නායකයෙකුගේ ව්‍යවස්ථාපිත වගකීමක් ඉටුකිරීම සහ අපරාධ චේතනාවක් (Mens Rea) නොමැති පරිපාලන ක්‍රියාවලියක්, පොදු දේපළ පනත අවභාවිත කරමින් අපරාධ නඩුවක් ලෙස ගෙතීමේ භයානක දේශපාලන කුමන්ත්‍රණය බ්ලිට්ස් ඉන්දියා මාධ්‍ය වාර්තා සහ නිල ලිපි හමුවේ දැන් නීතිය ඉදිරියේ නිරුවත් වී හමාරය. අප්‍රේල් 29 වන දා මහාධිකරණය හමුවේ මෙම "නඩුවක් නැති නඩුව" කුණු කූඩයට යාම පමණක් නොව, ආණ්ඩුවට සහ මෙම බොරු නඩුව නිර්මාණය කළ විමර්ශකයින්ට දැවැන්ත දේශපාලන සහ නෛතික වන්දියක් ගෙවීමටද සිදුවන බව නියතය.
මුලාශ්‍රය :
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
