1956 සිට පොල්ගාමින් සිටින නිර්ප්‍රභූ පංතිය

1956 සිට පොල්ගාමින් සිටින නිර්ප්‍රභූ පංතිය

කිසිවකුගේ දුර්වල භාෂා දැණුම විහිළුවට ලක්කිරීම මා අතින් කිසිදාක සිදුනොවේ.

බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මෙන්ම විජිත හේරත් මහතා සම්බන්ධයන් ද එය අදාළ ය.

නමුත් අදහසක් නිරවුල්ව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ පැහැදිලි කරගත හැකි විදේශ ඇමතිවරයෙක් වත් නැති තරමට අනුර දිසානායක මහතා ගේ ආණ්ඩුව අසරණ වීම යනු ලංකාවේ නිර්ප්‍රභූ පංතියේ බලවත් හිදැසක් සලකුණු කරන අවස්ථාවක් බව කිව යුතුය. මේ ලියන්නේ ඒ ගැන ය; කෙටියෙන්ම කියන්නේ නම් මේ ලියන්නේ අප අප ගැන ම ය.

මාර්ටින් වික්‍රමසිංහ මහතා බමුණුකුලයේ බිඳවැටීම ලිපිය ලියා මෙම 2026 වන වසර 70කි. මේ 70 වසර පුරා බමුණුකුලය සහමුලින්ම යළි නැගී සිටියේ නැත. සිදුවූයේ ඔවුන් ක්‍රමයෙන් ඉතිහාස වේදිකාවෙන් බැසයෑම ය. මේ 70 වසර කාලය තුළ සිදුවූයේ දේශපාලනය, පරිපාලනය, අධ්‍යාපනය, ශාස්ත්‍රීය හා කලා සෞන්දර්ය කලාපය තුළ බමුණු කුලයේ ආධිපත්‍යය බිඳ වැටීමත් නිර්ප්‍රභූ ආධිපත්‍යය ක්‍රමිකව තහවුරු වීමත් ය.

martin1

ඒ අනුව ලංකාවේ දේශපාලනයේ ප්‍රභූ ආධිපත්‍යය බිඳවැටීම යනු 2024 ජනාධිපතිවරණයේ දී සිදුවූ එක්රැයක විප්ලවයක් නොවේ. එය ක්‍රමිකව සිදුවූවකි. සර්වජන ඡන්ද බලය, කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිපත්ති සහ විවිධ ආණඩු ක්‍රියාත්මක කළ සුබසාධනවාදී වැඩසටහන්වලින් සිදුවුයේ නිර්ප්‍රභූ පංතිය ක්‍රමිකව බලවත් වීමයි.

විශේෂයෙන් කන්නන්ගර කාලයේ සිට රටේ මහජන ධනය විශාල වශයෙන් වියදම් කළේ පාසලේ පළමුවන ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වා රටේ නිර්ප්‍රභූ පංතියේ දරුවන් දැණුමෙන් කුසලතාවෙන් පිරි පරපුරක් බවට පත්කිරීම සඳහා ය.

අද රටේ සෑම ක්ෂේත්‍රයකම පාහේ ආධිපත්‍යය දරන්නේ යටත්විජිත ප්‍රභූ පංතිය නියෝජනය කළ අයගේ ඊළඟ පරම්පරාව නොව නිර්ප්‍රභූ පොදුජනයා ගේ දරුවන් ය.

wijitha

ඇත්ත වශයෙන්ම මේ කාලය වන විට මෙකී නිර්ප්‍රභූ පංතිය ඇතුළෙන් කුසලතා හා නිපුණතාවලින් හෙබි විශාල පරපුරක් බිහි වී තිබිය යුතුව තිබිණි. නිර්ප්‍රභූ දේශපාලන පක්ෂ ඒ කුසලතා පරපුර තම පක්ෂ තුළට උරාගත යුතුව තිබිණි. රාජ්‍යත්‍රාන්ත්‍රික විෂය පැත්තෙන් පමණක් ගත් කල වුව ද ලක්ෂ්මන් කදිරගාමර්ලා විස්සක් තිහක් වත් බිහිකරගත හැකිව තිබිණි.

ඒත්, එසේ සිදු වී නැත්තේ ඇයි? ඒ ගැන අප, අප දෙසටම හැරී ස්වයං විවේචනාත්මක කල්පනා කිරීමට විජිත හේරත් සිද්ධිය අපට හේතු සාධකයක් සපයයි.

1956 සිට නිර්ප්‍රභූ පංතිය පොල්ගාමින් සිටින්නේද ?

karu

 

කරු පරණවිතාන

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න