Image

අතිගරු මහනාහිමිවරුනි, අටමස්ථානාධිපති නාහිමිත් භික්ෂු ප්‍රතිරූපකයෙක් නොවේ ද...?

අතිගරු මහනාහිමිවරුනි, අටමස්ථානාධිපති නාහිමිත් භික්ෂු ප්‍රතිරූපකයෙක් නොවේ ද...?

පසුගිය දිනෙක මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත්වූ භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් තුන් නිකායේ මහනාහිමිවරුන් විසින් එදින ම ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කෙරිණ. එහෙත් අත්අඩංගුවට පත් අටමස්ථානාධිපති නාහිමියන් වහන්සේ සම්බන්ධයෙන් මෙතෙක් එවැනි නිවේදනයක් නිකුත් නොකිරීම ලාංකීය භික්ෂූන් විසින් භික්ෂූන් උදෙසා නීති ක්‍රියාත්මක කිරීමේ දී පවතින අසාධාරණ හා අසමාන ස්වභාවය මැනවින් පෙනෙන්නට ඇති අවස්ථාවකි.

භික්ෂූත්වය අහෝසි වන මහා පරිමාණ වරද

පළමුව භික්ෂු විනයට අනුව මෙම සිද්ධි දෙක සලකා බැලීම වටී. භික්ෂුවක් විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් විනයෙහි සඳහන්ව නොමැති නිසා එම වරදෙහි තත්ත්වය එනම් මහා ප්‍රමාණයේ වරදක් ද කුඩා වරදක් ද යන්න විනයට අනුව තීරණය කළ නොහැකි ය. එහෙත් මත්ද්‍රව්‍ය භාවිතය "පචිති" ගණයෙහි ලා සැලකෙන වරදකි. භික්ෂුවක් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීම භික්ෂූත්වය අහෝසි වන මහා පරිමාණ වරදකි. විනයට අනුව භික්ෂූන් වහන්සේලා සම්බන්ධ වැරදි වැඩි එකේ සිට අඩු එක දක්වා පිළිවෙළින් පාරාජිකා, සංඝාදිසේස, අනියත, නිස්සග්ගිය පාචිත්තිය, පාචිත්තිය, පාටිදේසනීය, සේඛියා වශයෙන් දැක්විය හැකිය. ඒ අනුව මත්ද්‍රව්‍ය භාවිතය පාචිත්තිය වරදක් වන අතර සංසර්ගයේ යෙදීම පාරාජිකා වරදකි.

"භික්ෂු ප්‍රතිරූපක" යන්නෙහි අරුත

මහනාහිමිවරුන් ගේ නිවේදනයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ භික්ෂූන් හැඳින්වීම සඳහා භාවිතා කොට තිබුණේ "භික්ෂු ප්‍රතිරූපකයන්" යන වචනයයි. භික්ෂු ප්‍රතිරූපකයා යනු භික්ෂුවක් වශයෙන් ව්‍යාජව පෙනී සිටින තැනැත්තා ය. එනම් භික්ෂුවක් විසින් විනයානුකූලව පැවිදි නොකරන ලද තමන් විසින් ම සිවුරක් පොරවාගෙන භික්ෂුවක් වශයෙන් පෙනී සිටින්නෙකි. එහෙත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට චෝදනා එල්ල වූ සියලු දෙනා වහන්සේ ම විනයානුකූලව ගුරුවරයකු යටතේ පැවිදි වූ තුන් නිකායෙන් එකකට අයත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිව සිටින පැවිද්දෝ වෙති. එම නිසා ම ඔවුන් හැඳින්වීමට "භික්ෂු ප්‍රතිරූපක" යන වචනය භාවිතා කළ නොහැකි ය. අනෙක් අතට භික්ෂු යන වචනය භාවිතා වී ඇත්තේ උපසම්පදා භික්ෂූන් වහන්සේලා හැඳින්වීම සඳහා පමණි. ඒ අතින් බැලුව ද එම වචනය නොගැළපේ. මක් නිසාද යත් මෙතැන උපසම්පදා නොවූවන් ද සිටින නිසා ය.

මහනාහිමිවරුන් ගේ දෙබඩි පිළිවෙත

ඍජුව හෝ වක්‍රව මෙම ලිපියෙන් අදාළ චෝදනා ලැබූ භික්ෂූන් වහන්සේලා විසින් කරන ලදැයි කියවෙන වැරදි අනුමත නොකරන්නා සේ ම ඒ සියලු දෙනා වහන්සේ ම තවමත් චූදිතයින් විනා වරදකරුවන් වී නොමැති බවත් සිහිකිරීම මැනවි. තත්ත්වය එසේ හෙයින් මෙම සිදුවීම් දෙක පහළ තැනින් ම වතුර ගලායාමට සලස්වන්නාක් වැනි වූ අතිගරු මහනාහිමියන් වහන්සේලාගේ දෙබඩි පිළිවෙත භික්ෂූන් වහන්සේලා විසින් භික්ෂූන් වහන්සේලාට නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පවතින අසාධාරණ වූත් අයුක්ති සහගත වූත් ස්වරූපය මැනවින් පෙන්වන අවස්ථාවක් බව පමණක් පෙන්වා දෙනු කැමැත්තෙමි. එබැවින් අතිගරු මහනාහිමිවරුනි, අටමස්ථානාධිපති නාහිමියන් වහන්සේත් භික්ෂු ප්‍රතිරූපකයෙක්ද? සංඝාධිකරණ පනත බලාත්මක වුවහොත් නීතිය ක්‍රියාත්මක වනු ඇත්තේත් මෙසේ ම නොවේද?

අඹගහහේනෙ බුද්ධරක්ඛිත.jpg 1

 

 

 

 

අඹගහහේනේ බුද්ධරක්ඛිත.

මෙම ලිපියේ ඇතුළත් තොරතුරු සඳහා උපකාර වූයේ ආචාර්ය විජිත කුමාර මහතා විසින් සංවිධානය කරන ලද ආචාර්ය අරුණ ගමගේ මහතාගේ ප්‍රධාන දේශනය හා එම සාකච්ඡාව බව පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරමි. එහි ලින්කුව පහතින් ඇත.

භික්ෂුවකගෙ සිවුරු හරවන්න කාටවත් බෑ - ආචාර්ය අරුණ ගමගේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න