Image

ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් ගේ ආරක්ෂාව තහවුරු කරන්න

ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් ගේ ආරක්ෂාව තහවුරු කරන්න

ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිර්මාතෘ මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා කියන විදියට නායක හාමුදුරුවරු කියන්නේ ධනය සහ බලය තියෙන ඒ වගේ ම තමන්ගේ පැවැත්ම සහ ආරක්ෂාව වෙනුවෙන් ඒ ධනය සහ බලය යොදා ගන්න නොපසුබට වන පිරිසක්.

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් කියන්නෙත් ඒ වගේ ධනවත්, බලවත් විතරක් නෙවෙයි ගවේෂණාත්මක මාධ්‍යවේදී නන්දන වීරරත්න කියන විදියට බූදලයකුත් නඩත්තු කරන නායක හිමි නමක්.

ඒ නිසා ම තමන්ට විරුද්ධව එල්ල වෙලා තියන බරපතළ ළමා දූෂණ චෝදනාවෙන් ගැලවෙන්න එහිමියෙන් ඒ ධනය, බලය සහ බූදලය යන සියල්ල යොදා ගනීවි කියන එක මෙතෙක් සිද්ධවුණ ක්‍රියාදාමය දැක්කම හොඳටම පැහැදිලියි. ඒ එක්කම චෝදනාව එල්ලවුණ මොහොතේ ඉඳල සිද්ද වුණ ක්‍රියාදාමයෙන් පැහැදිලි වෙන්නේ ආණ්ඩුවේ ඉහළම තැන් එක්ක තියන සමීප සම්බන්ධය වගේම ඥාති සම්බන්ධතා පවා එහිමියන් උපයෝගී කරගන්න බව. විශේෂයෙන්ම සාමාන්‍ය චුදිතයෙක් සම්බන්ධයෙන් නම් පොලු, මුගුරු අරගෙන දුවගෙන යන පොලිසියත් මෙතෙන්ද දි හැසිරුණේ පූස් පැටව් වගේ.

කොටින්ම කිවුවොත් එහිමියන්ට විරුද්ධව පැමිණිල්ල මෙහෙයවපු ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ, නීතිඥ සජීවනී අබේකෝන් ට මඩ ගැසීමේ පුළුල් ව්‍යාපාරයකුත් දියත් වෙලා. පල්ලේගම හේමරතන හිමියන් මේ මඩ ව්‍යාපාරයට සෘජුව සම්බන්ධ වුණත්, නැතත් ඒකෙ අරමුණ එහිමියන් මේ චෝදනාවෙන් ගලවා ගැනීම.

දැනට මේ මඩ ව්‍යාපාරය දියත් වෙන්නේ සජීවනීට විරුද්ධව විතරයි. නමුත් ඉක්මනින් ම ඇගේ කණ්ඩායමේ ඇයට සහය දෙන අයටත්, සමහර විට අධිකාරියේ සභාපතිනියට විරුද්ධවත් මේ විදියටම මඩ එල්ලවෙන්න පුළුවන්. භයානකම දේ, මඩ ව්‍යාපාරයෙන් ඇයගේ ගමන නවත්තන්න බැරි වුනොත් මේ කණ්ඩායම් ඊටත් වඩා දරුණු දේවලටත් පෙළඹෙන්න ඉඩ තියෙනව.

ඒ නිසා, විශේෂයෙන් ම මෑත කාලයේ අපිට අහන්න ලැබුණ අබිරහස් සිදුවීම් ගැනත් සලකා බැලුවම සජීවනී ඇතුළු ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ හදිසි අවශ්‍යතාවක් මතුවෙලා තියෙනව කියල මට හිතෙනවා.

ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට; ජනාධිපති අනුරට.

සනත් බාලසූරිය මගේ මිත්‍රය කියල තිබුණ වගේ හේමරතන හිමියන් සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ගැන එල්ලවෙන විවේචන නැවතිය යුත්තේ රවි සෙනෙවිරත්න ළඟ නෙවෙයි; අනුර ළඟ. මම ඒක පිළිගන්නවා. පොලිසිය නීතිය නවනව නම් ඒක වළක්වන්න රටේ ජනාධිපති විදියට අනුරට හැකියාව තියෙන්න ඕන. ඒ අතරේම මේ මොහොතේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක නොවුණා නම්, අටමස්තානාධිපති හිමියන්ට විරුද්ධ පරීක්ෂණය මේ තරම්වත් දුර යන එකක් නැහැ කියල මම හිතන්නේ අපි හැමෝම දන්නවා. ඒ ගෞරවය අනුරට දෙන අතරේම, රටේ අනාගත පරපුර විනාශ කරන පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් රැක ගැනීමත් ඔබේ වගකීමක් කියලත් අවධාරණය කළ යුතුව තියෙනව.

සරෝජ් පතිරණSaroj Pathirana

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න