Image

නවකතාවක් හෝ කෙටි කතා සංග්‍රහයක් නොවන නමුදු රන්වලටත් වඩා වටිනා කෘතියකි; ''රන් රෝස''

නවකතාවක් හෝ කෙටි කතා සංග්‍රහයක් නොවන නමුදු රන්වලටත් වඩා වටිනා කෘතියකි; ''රන් රෝස''

" බෝල්ටික් වෙරළබඩ වැලි කඳු අතර මා එක් ශිශිර ඍතුවක් ගත කළ හැටි සිහි කළ හැකිය. ගන හිම කඳන් වෙරළ අළලා පැතිර තිබිණි. උත්තුංග පයින් ගස්වලින් පවා පෙරී ආ හිම පියලි, සුළඟ විසින් තීරුවලට ඉරමින් අවට විරවනු පෙනිණි. සියල්ල නිහඬ ව ගිය විට පයින් ගෙඩිවලට තුඩ තියා හපන ඇට්ටර ලේනුන් ගේ නිරන්තර හඬ නිහඬ බව බිඳගෙන ඇසුණි.

මුහුද වූයේ ඉතා නුදුරේ ය. ජනෙල් තිර දැමූ ජනෙල්වලින් යුතු කුඩා ගෘහයක් පසු කරගෙන ගිය මාවතක් ඔස්සේ මම මුහුද කරා ඇවිදගෙන ආවෙමි. ඇදෙන සුළඟ ජනෙල් සිදුරු අතරින් රිංගා එම ගෘහයෙහි ජනෙල් රෙදි එහේ මෙහේ පද්දන විට, මට සිතුණේ කවරෙක් හෝ මගේ දිහාවේ හොරෙන් බලා හිඳිමින් ඒ තිර එහා මෙහා කරන බවකි."  (පිටුව - 27)

 77200151 107299074070722 2971251567849635840 n

 

සැබෑ අත්දැකීමක් නිර්මාණයක් දක්වා...

මේ පොත අරගෙන කියවන්න කියලා මට කිවුවෙ Jeeva Warnakulasuriya David අක්කා. එයා නොකීවා නම් මම මේ කෘතිය මිල දී නොගන්නත් තිබ්බා. මෙය ලේඛන කලාවෙ යෙදෙන හැම කෙනෙකුට ම කියවන්න වටින බොහොම වැදගත් පොතක්. මේ කෘතියෙ කොන්ස්ටන්ටයින් පවුස්තොවස්කි කතුවරයා ගෙ පෞද්ගලික අත්දැකීම් අඩංගු වෙනවා. අතරින් පතර පුංචි පුංචි රසවත් කතා ද අඩංගු වෙනවා. වෙනත් ලේඛකයින් ගෙ අදහස් උදහස් අත්දැකීම් ද අන්තර්ගත වෙනවා. ලේඛන කලාවෙ නියැළෙන කෙනකුට තමන්ගෙ අත්දැකීම් සහ වෙනත් අයගෙ අත්දැකීම් ප්‍රයෝජන වෙන ආකාරය වගේම ඒ අත්දැකීම් කෘතියක අඩංගු කරන විදිහත් මේ කෘතියෙ විස්තර වෙනවා. ඒ අත්දැකීම් ආයාසයෙන් කෘතියක සිදුවීම් අතරට රිංගවන්නේ නැතිව අවශ්‍ය අවස්ථාවක දි ඉතාම සීරුවෙන් තමන් උපකල්පනය කරගෙන, ගොඩනගාගෙන ආව කතාවට ගළපාගන්නා ආකාරය බොහොම පැහැදිලිව විස්තර වෙනවා.

 WhatsApp Image 2026 06 13 at 5.19.47 AMකොන්ස්ටන්ටයින් පවුස්තොවස්කි

පවුස්තොව්ස්කි වගේ ලේඛකයෙක් මොන තරම් තමන් අවට පෙනෙන්නට ඇති, ඇසෙන්නට ඇති දේ ගැන විමසිලිමත්ව ජීවත් වෙලා තියෙනව ද...? අපි නොසලකා හරින් ඉතා සියුම්.දේ පවා ඔහු ගේ ලේඛක ඇසට ග්‍රහණය කර ගන්නා විදිහ... ඒ සියුම් නිරීක්ෂණ ඔස්සේ නිර්මාණ බිහිවෙන ආකාරය හරිම ලස්සනට ලියවිලා තියෙනවා. ඒ වගේම සැබෑ අත්දැකීමක් ඒ ආකාරයෙන් ම ඉදිරිපත් නොකර හැඩ ගන්වා වර්ණ ගන්වා වඩා ආකර්ෂණීය මට්ටමකට පත් කර ගන්නා ආකාරයත් විස්තර වෙනවා.

"තුරුණු වියෙහි මෙන් මා තුළ ජනිත වුණු , සත්‍යයට වඩා අලංකාරයට ළං වූ අද්භූත හැඟීම් මම එක් වරම අත් නොහළෙමි. ලයිලැක් මලෙක නොමැකුණු සුවඳක් මෙන් එය මා හදෙහි දැවටෙමින් නොනැසී පැවතිණි. බොහෝ කලක් විසීම නිසා මට එපා වී තිබුණු කිව් නගරයට පවා අමුතු එළියක් එමඟින් ආරෝපණය විය. කිව් නගරයෙහි උයන් ආලෝකමත් කරමින් ඒ මතින් අස්තංගත වූ රන්වන් සූර්යයා දෙස මම ආශාවෙන් බලා සිටියෙමි. නිපර් නදියෙන් ඔබ්බෙහි අහසෙහි නැඟුණු විදුලි ඉරක් මගේ මනස් ලොවෙහි පලු පල්ලව සැලෙන හඬින් සර සරැති කුණාටු බර ලොවක් මැවීය. වසන්තයේ දී චෙස්ට්නට් තුරු සිය සුදෝ සුදු මල් පියළි වීදි මත පතිත කළේ ය. මේවා කෙතරම් මහත් සංඛ්‍යාවක් වී ද යත් වැසි වට විට ගලා ගිය වැසි දිය හරස් වී සමහර වීදි දිය පිරි කුඩා විල් මෙන් දිස්විණි. වැසි වට පසු කිව් නගරයෙහි නිල් ආකාශය සඳ ගලක දීප්තියෙන් බැබළිණි. හදිසියේ මේ කවි සිතිවිලි මගේ සිහියට නැඟී ආයේ එවන් විටෙකය.

මුදුවූ පහසක් පරිද්දෙන්

වසන්තය අවුදින් සෙමෙන්

තරු පිරුණු අහසක් යටින්

මා නිසරු ලොව වෙත අවුත්

රැගෙන මහ සතුටක් මටත්''  පිටුව - 42

''රන් රෝස'': මැක්සිම් ගොර්කි, හෑන්ස් ඇන්ඩර්සන් , ලියෝ ටෝල්ස්ටෝයි , ඇන්ටන් චෙකොෆ් වගේ ලේඛකයන්ගෙ ඇතැම් අත්දැකීම් ඔවුන් සාහිත්‍ය නිර්මාණකරණයේ නියැළුණු ආකාරය වගේ බොහෝ ම වැදගත් කරුණු කාරණා ගොඩාක් අඩංගු කෘතියකි.

 

 707678827 4436518779925421 5986172741321367440 n

 

 

 

සටහන - චාරුණ්‍යා දෙහිගම 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න