මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාවයේ දී කාන්තා රැඳවියන් පිරිසක් තමන්ට ලෙඩ රෝගවලට බෙහෙත් නැහැ කියලා වහල උඩ නැඟලා විරෝධතාවක් කළා.
මේ බන්ධනාගාරය ඇතුළේ දෙපිරිසක් අතර ගැටුමක් තිබුණු එකත්, මේ බෙහෙත් ඉල්ලා කරපු විරෝධයත් එකට සිද්ධ වුණත්, මේ විරෝධතාව අපි හැමෝට ම පෙනුණු එක හිංසාකාරී එකක්වත් ජේලර්ලා ගේ ජීවිතවලට හානි කරපු වැඩක්වත් නෙවෙයි. බන්ධනාගාරය ඇතුළේ ඩෙංගු පවා තිබුණු බව කියනවා. එවැනි පසුබිමක ඖෂධ ඉල්ලලා විරෝධයක යෙදෙන්න ඔවුන් මේ කලබල මොහොතේ උත්සාහ කළා. ඒක වැරදි නම් නීතියෙන් පියවර ගන්න පුළුවන්.
කොහොම වුණත් කතා කරන්න හිතුවේ ඒ ගැන නෙවෙයි. මම කතා කරන්න හිතුවේ ඉරණම ගැන. සමහර අයගේ දෛවය ගැන.
ලස්සන කෙල්ලෙක් නම්...
මේ විරෝධතාවේ හිටපු එක් කාන්තාවක ගේ ෆොටෝ එකක් එක්ක සමාජ මාධ්‍යවල කමෙන්ට්වලින් මාර සංවාදයක් ගියා. ඒවා වැරදියි කියලා මම හිතන්නේ නැහැ. ඒවා ඉතින් විනෝදයට කරන අහිංසක වැඩ. මම ඒ කමෙන්ට් කරපු අයටවත්, පෝස්ට් දාපු අයටවත් විවේචනයක් කරන්නේ නැහැ. ඒත් ඉතින්!! සමහර අය මේ කෙනාට දියුණු වෙන්න පාර කියලා දීලා තියෙනවා.
ක්‍රමය තමයි කොරියන් කොල්ලෙක් බැඳලා ටික්ටොක් එකේ ගේමක් ගහලා ජීවිතේ දිනන්න පුළුවන් කියන එක. එතකොට වක්‍රව කියන්නේ ලස්සන කෙල්ලෙක් නම්, හිරේ හිටියත් ඕනේම වෙලාවක දියුණු වෙන්න පුළුවන්, හැබැයි ඒ එයාගේ හැකියාවක් නිසා නෙවෙයි. දියුණු වෙන්න පුළුවන් අතේ සල්ලි තියෙන කොල්ලෙක්ව බැන්දොත්. එතකොට සාමාන්‍යයෙන් අතේ සල්ලි තියෙන කොල්ලෝ කියන්නේ කවුද? කොරියාවේ ගිහින් රස්සාව කරන කොල්ලෝ. ඉරණම! දෛවය කියන්නේ මේකට.
කොල්ලෙක් දියුණු වෙන්න නම් මේ රටේ චාන්ස් එකක් නැහැ. පාරක් නැහැ. ක්‍රමයක් නැහැ. එකම ක්‍රමය රට රස්සාවකට යන එක. කෙල්ලන්ට නම් ඒකත් නෙවෙයි. එයාලට තියෙන හරි පාර තමයි සල්ලි තියෙන එකෙක්ව බැඳගන්න එක. ඒත් එක්කම තවත් අය එයා මගේ, එයාව යහමගට ගන්න මට දෙන්න බැරිද වගේ අසහනකාරී අදහස් කියලා තිබුණා.
'ගුඩ් ස්කූල්වල' අය
මීට කලින් ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු පොලිස් අත්අඩංගුවට පත් වුණු වෙලාවේ සමාජය හැසිරුණු විදිහත් මේ වගේ. ඒ වෙලාවේත් ඒ තරුණයා ගේ පින්තූරය සමාජ මාධ්‍යවල පළ වුණාම කෙල්ලෝ වගේ ම කොල්ලෝත් අනේ එයා හරි කඩවසම්, එයාව යහමගට ගන්න තිබුණේ, එයා මගේ වගේ අදහස් දාලා තිබුණා. සමාජ මාධ්‍යවල රියැක්ෂන් එන්නේ පුද්ගලයන් ගේ පෙනුම බලලා. ලස්සනයි කියන සම්මතයයි කැතයි කියන සම්මතයයි බලලා. ඒ විහිළු තහළු කරලා විනෝද වෙන අතරේ ම අපේ ඉරණම ගැනත් අපි හිතන්න ඕනේ.
අධිකරණ ඇමති කියලා තිබුණා බන්ධනාගාර නිලධාරීන් විදියට රස්සාවට 'ගුඩ් ස්කූල්වල' අය එන්නේ නෑ කියලා. අධිකරණ ඇමති ටිකක් සල්ලිකාර පවුල් පරම්පරාවකට අයිති 'ගුඩ් ස්කූල්' දරුවෙක්. ඒ පෙළැන්තියේ අය ජේලර්ලා වෙන්නේ නැහැ. නීතිඥයෝ නම් වෙනවා. ඒ පෙළැන්තියේ දරුවෝ ගොඩක් හමුදාවට වුණත් යන්නේ නැහැ. ගියත් හමුදාවට බැඳුණ ගමන් එංගලන්තේ පුහුණුවකට යවලා සමාජයට බොරුවක් දාන්න ඉඩ තියෙනවා.
ඉරණම්වලට ගොදුරු වුණු චරිත
ඉතින් මේ සිද්ධි දෙකම දිහා බැලුවහම අපේ සමාජය මොන තරම් බාහිර පෙනුමට සහ ලස්සනට වහල් වෙච්ච, සදාචාරාත්මකව පිරිහුණු සමාජයක් ද කියන එක කොයි වගේද කියලා හිතෙනවා. වහල උඩ හිටපු අනිත් මිනිස්සුන්ටත්, මැරුණු අයටත්, රණ්ඩු කරපු අයටත් කුඩ්ඩෝ, ජාවාරම්කාරයෝ, කාලකණ්ණි කියලා ලේබල් ගහපු සමාජය ම, ලස්සන පෙනුමක් තියෙන කෙනෙක් ඉස්සරහා අසහනය පෙන්නනවා.
අර ‘ගුඩ් ස්කූල්‘වලින් කුඩ්ඩෝ බිහි වෙන්නෙත් නැහැ. ජේලර්ලා බිහි වෙන්නෙත් නෑ. ගුඩ් ස්කූල්වල කුඩ්ඩෙක් හිටියත් එහෙම අයව හිරේ යන්නෙත් නැහැ. මත්ද්‍රව්‍ය විකුණන, ජාවාරම් කරන මහා පරිමාණ චරිත අහු වෙන්නෙත් නැහැ. වීදියේ වැඩකරන ඩීලර්ලා තමයි අහු වෙන්නේ.
ඇත්තටම මෙතැන ගහලා මරපු ජේලර්ලා වගේ ම හිරේට යන මිනිස්සුත් අහුවෙලා ඉන්නේ ඉරණමට. කොරියන් යන කොල්ලෙක්ව බැඳලා දියුණු වෙන්න හිතන කෙල්ලොත්, කොරියන් ගියොත් ලස්සන පෙනුමැති කෙල්ලෙක්ව "යහමගට අරන්" හදාගන්න පුළුවන් කියලා හිතන කොල්ලොත් ඇතුළු සියලු දෙනාම මේ සිරිලංකාදීපයේ එක එක ඉරණම්වලට ගොදුරු වුණු එක එක චරිත විතරයි. අන්න ඒ ඉරණම තමයි නියම හිරගෙදර. කඩනවා නම් කඩන්න ඕනේ ඒ හිරගෙදර. හැබැයි ඒ හිරගෙවල් කඩන්න හැදුවත් ඒකට ඉඩ නොදී අපව සීමා කරන්නේ ආයෙත් තවත් ඉරණමකට ගොදුරු වෙච්ච අයම තමයි.

සටහන - Fathima Sumeyha
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
