Image

මඳක් නැවතී සිට දරාගත යුතු ''ගුප්ත ගංගාව සහ තවත් ඔදියා කෙටිකතා''

මඳක් නැවතී සිට දරාගත යුතු ''ගුප්ත ගංගාව සහ තවත් ඔදියා කෙටිකතා''

''ගුප්ත ගංගාව සහ තවත් ඔදියා කෙටිකතා'' කෘතිය විසිවන සියවසේ අප ජීවත්වන ආසියානු කලාපයේ මෙතෙක් අපට නොපෙනී පැවති සාහිත්‍ය ප්‍රදේශයක් අනාවරණය වන්නකි. ඔදියා (Odia) කෙටිකතා තිහක් මෙම කෘතියේ අඩංගුවේ. ප්‍රවීණ සාහිත්‍ය පරිවර්තක මොහාන් ධර්මරත්න මෙම කෘතියේ සංස්කාරක වන අතර හොරගල විමලතිස්ස හිමි, අසිතංජන සෙනවිරත්න සහ මොහාන් ධර්මරත්න මෙම ඔදියා කෙටිකතා සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත.

ඔදියා භාෂාව අයත් ඔදිෂා (Odisha) ප්‍රාන්තය යනු පැරණි භාරතයේ කාලිංග දේශයයි. එකී කලිඟු රට හා මෙරට අතීතයේ සිට පැවති සංස්කෘතික-දේශපාලන සෘජු සබඳතාව පිළිබඳ විචාර ප්‍රවේශී සටහනක් මෙම කෘතියේ සංස්කාරක සටහනේ දක්වා ඇත. ඉතිහාසයේ එක්තරා දේශපාලන නිශ්චිත අවස්ථාවක කාලිංග වැසියෝ ස්වකීය ජීවිත දහස් ගණනක් කැපකිරීම සහ එකී ඛේදනීය සංහාරී දිවිපිදීම මෙරට සංස්කෘතිය සහ දේශපාලනයට සෘජුවම බලපෑ ආකාරය එහි සඳහන් වේ.

විසිවන සියවසේ මුල,මැද සහ වර්තමානික අවධිය දක්වා මෙම කෙටිකතා එකතුව ව්‍යුහාත්මකව පෙළගැසේ. අසිතාංජන ගේ පරිවර්තන ප්‍රවේශය විසිවැනි සියවසේ මුල් අවදිවලටත්, විමලතිස්ස හිමි ගේ පරිවර්තන විසිවැනි සියවසේ මැද අවදිය වෙතටත් මොහාන් ගේ පර්වර්තන සමකාලීන කෙටිකතා වෙතටත් යොමුව ඇත. මොහාන් ගේ පරිවර්තන කෙටිකතා දහය අතර ලේඛක ලේඛිකාවන් අට දෙනෙකු සහ විමලතිස්ස හිමි ගේ පරිවර්තන දහය අතර දෙදෙනකු වර්තමාන ඔදියා සාහිත්‍යයේ සක්‍රීයව නියැළී සිටින සාහිත්‍යධරයින් වේ.

පශ්චාත් යටත් විජිත කලාපීය සමාජ වේදනාවල සමානතා මෙන්ම වර්තමානික තත්‍යසම ගෝලීය අවධියක කලාපීය සමාජ වේදනාවල සමානතා තේරුම්ගත හැකි මෙම සාහිත්‍ය සම්ප්‍රදානය අන්තර් සංස්කෘතික වටහාගැනීම් පෘථුල කරවන්නකි. අප කලාපීය සහෝදර එම සාහිත්‍ය නිර්මාණකරුවන් අසියාතික නූතනවාදයට දායක වූයේ කෙසේද යන්න සහ කොතරම් සියුම්ලෙස ජීවිත සහ සමාජය විනිවිද දකිනවා ද යන්නත් කලා ප්‍රවර්ගයක් ලෙස එම කලාව ක්‍රමිකව නව්‍ය ප්‍රවේශ අත්පත්කර ගන්නේ ද යන්නත් වටහාගැනීමට අප මෙම කෙටිකතා පාඨනය කළ යුතු ය. සැබවින්ම එම කතා අපව තිගැස්සීමට ලක්කරයි. එය දරාගැනීමට කතාවෙන් කතාවට මඳක් නැවතී සිටීමට පවා අපට සිදුවෙනු ඇත.

සටහන - සිසිර කුමාර මහගම

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න