පංති විඥානය යනු...
තමන් අයත් වන සමාජ පංතියේ තත්ත්වය, අවශ්‍යතා සහ අයිතිවාසිකම් පිළිබඳ ඇති දැනුවත්කම සහ ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමට ඇති අවබෝධය යි.
විනෝදය යනු (jouissance)...
සතුට නොවේ, එය වේදනාවෙන් සතුටු වෙන ආකෘතියකි. එය ආශාවේ සීමාව අතික්‍රමණය කරන තත්ත්වයකි.
අනෙකාගේ විනෝදය පැහැර ගැනීම යනු...
(Stealing the Other's jouissance) යන අදහස මනෝවිශ්ලේෂණයේ, විශේෂයෙන් Jacques Lacan ගේ අදහස් සහ ඒවා දේශපාලන සහ සමාජ විග්‍රහයට යොදාගත් Slavoj Žižek ගේ සංකල්පීය ගොඩනැංවීමකි.
එය මෙසේ පැහැදිලි කළ හැකි ය.
පුද්ගලයකු හෝ කණ්ඩායමක් තමන් ගේ අසතුටට හේතුව ලෙස "අපට හිමි විය යුතු විනෝදය, අවස්ථා හෝ සම්පත් වෙනත් අය සොරකම් කරගෙන යනවා" යන විශ්වාසයක් ගොඩනගා ගනී. එවිට "අනෙකා" (Other) යනු විදේශිකයින්, වෙනත් ජාතියක්, වෙනත් ආගමක්, හෝ වෙනත් සමාජ කණ්ඩායමක් විය හැකි ය. ඔවුන් "අපේ රැකියා ගන්නවා", "අපේ වරප්‍රසාද භුක්ති විඳිනවා", "අපට ලැබිය යුතු දේ ඔවුන් භුක්ති විඳිනවා" යනාදි අදහස් මතුවිය හැකි ය.
ස්ලැවෝයි ජිජැක් (Slavoj Žižek)
Žižek පෙන්වා දෙන්නේ, මෙවැනි අදහස් බොහෝ විට වාර්ගිකවාදය, ජාතිවාදය සහ විදේශික විරෝධය යනාදි දේශපාලන මතවාදවල පදනමක් බවයි. එහිදී "අනෙකා" ගැන මවාගත් රූපයක් නිර්මාණය කර, ඔවුන්ට "අපේ විනෝදය සොරකම් කරන" බලයක් ආරෝපණය කරයි.
සරල උදාහරණයක්
සිංහල අපිට දියුණු වීමට නොහැකි වූවේ දෙමළා නිසාය. දෙමළ ජනතාව ගේ අරගලය විනාශ කල පසු අපිට දියුණු විය හැකි ය.
දීප්තිගේ, ඉගැන්වීම්වලට අනුව අපේ දේශපාලන අධ්‍යයනයන් මනෝවිශ්ලේෂණය පැත්තට යොමු වන්නේ මේ මංසන්ධියෙන් පසුව ය.
ජවිපෙ ජාතිවාදය දක්වා පසුබැසීම
මහින්ද රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් 2005දී
ජ.වි.පෙ. මූලික වශයෙන් 60' දශකයේ මැදදී රෝහණ විජේවීර සහෝදරයා විසින් ආරම්භ කරන ලද අවස්ථාවේ දී මාක්ස්වාදී පංති විඥානයක් සහිත කාඩරයක් සකස් කිරීමට උත්සාහ කළ බව සත්‍යයකි. නමුත් 80'දශකයේ මුල සිට වේගයෙන් ව්‍යාප්ත වුණු උතුරේ අරගලය හරහා ජ.වි.පෙ.පංති විඥානය හෝ පංති දේශපාලනය අත හැර ජාතිවාදය කරා පසුබැස්සහ. 2005 වන විට ජ.වි.පෙ. පූර්ණ වශයෙන් ම ජාතිවාදී පක්ෂයක් වූ අතර උතුරේ අරගලය කුඩුපට්ටම් කිරීමට ජූලම්පිටියේ අමරේ ගේ ස්වාමියා වූ මහින්ද රාජපක්ෂව බලයට ගෙනාවේ ය.
ඉහත න්‍යායික අදහස ඔබට වැටහේනම් ජ.වි.පෙ. කළේ 'පංතිය' වෙනුවට 'ජාතිය' ආදේශ කිරීමයි. නැතහොත් 'පංති විඥානය' වෙනුවට 'විනෝදය' හඳුන්වා දීමයි.
අනෙකාගේ විනෝදය උදුරාගැනීමට බලාසිටින අමනුෂ්‍යයින්

මීගමුව බන්ධනාගාර සිද්ධිය තියුණු නිරීක්ෂණයකට ලක් කරන්නේ නම් ජ.වි.පෙ. බහුතර සාමාජිකයෝ මෙන්ම මාලිමාවාසීන් ද මේ රැඳවියන් කුඩුකාරයින් බවටත් බන්ධනාගාර නිලධාරීහූ වීරයින් බවටත් අපිට ඇගිල්ලෙන් අනිමින් පෙන්වා දෙයි. ලංකාවේ සමකාලීනව ඇතිවී තිබෙන පංති අතර ඇති පසමිතුරුතා පිළිබඳව ලැබිය හැකි පංති විඥානයක් සහිත මනුෂ්‍යයන් ලෙස නොව අනෙකාගේ විනෝදය උදුරාගැනීමට බලාසිටින අමුනුෂ්‍යයින් ගේ පිළිඹිමු අපි සමාජ මාධ්‍ය තුළ දකිමින් සිටී.
ඇප ලබා දිය හැකි සීමා පවා වෙනස් කිරීමට අපොහොසත් වුණු වසර දෙකකින් පසු බන්ධනාගාර නිලධාරීන් ගේ දේහයන් ඉදිරියේ කඳුළු සලන ඇමතියකු දැකීම පිළිකුලකි. මියගිය කිසිදු රැඳවියෙකු ගේ මළගෙදරකට කිසිම ජ.වි.පෙ. හෝ මාලිමා වාසියෙක් නොයන බවට අවශ්‍යනම් කැට තැබිය හැකි ය.
පංති අතර වෙනසක් පවතින මත්වීම

පහළ පංතියෙන් පැමිණි අනුර කුමාර සහ ජ.වි.පෙ.රාජ්‍ය බලය ලබාගැනීමෙන් පසු කළ යුතු වූ රාජ්‍යයේ ප්‍රති-ව්‍යුහගත කිරීම් මුළුමනින්ම අකුළාගෙන ඇත. මනුෂ්‍යයින් 29 ක් මියගිය මීගමුවේ ඛේදවාචකය වෙනුවට නුවරට කෝච්චි ඇන්ජිමක් රැගෙන යෑම උත්කර්ෂවත් කරන මනුෂ්‍ය සමාජයක් තුළ අප ජීවත් වෙමින් සිටී. පංතිය වෙනුවට විනෝදය ප්‍රමුඛ වූ සමාජයකට අර්ථයකින් පලක් නැත.
මත්ද්‍රව්‍ය හෝ මත්වීම පිළිබඳ අදහස මිනිස් සමාජය සේම පෞරාණික ය. පොදුවේ පිළිගත් විශ්වීය න්‍යායන්ට අනුව මත්පැන් (අරක්කු)නීති විරෝධී මට්ටමෙන් ඉවත්කර රාජ්‍ය පාලනයට යටත් කර තිබේ. ධනවාදයේ දියුණුවත් සමග මත්ද්‍රව්‍ය ස්වාභාවික අමුද්‍රව්‍ය (පොපි-හෙරොයින්) වලින් කෘතිමව (අයිස්) නිෂ්පාදනය කරනා නිෂ්පාදන දක්වා වර්ධනය වී තිබේ. මනුෂ්‍යයින් මත්වන්නේ යථාර්ථයේ කටුකභාවයෙන් ගැලවීමේ මාර්ගයක් ලෙසය යන්න පැරණි තිසීසයකි. මේ යුගයේ දී මනුෂ්‍යයින් මත්වන්නේ යථාර්ථය සමග බද්ධ වීමට ය. මත්වීමේ ද පංති අතර ද වෙනසක් පවතී. ඉහළ තරු පංතියේ හෝටල් තුළ හෝ ලක්සරි එපාර්ට්මන්ට්වල මත්වීම පිළිබඳ අදහස නීතියෙන් සඟවා තිබෙන විට සහ එය නොනිල නිදහසක් ලෙස පවතින විට නීතියේ සියලු ම අඬුපඬු වෙළාගෙන ඇත්තේ පීඩිත මිනිසුන් සිටින අර්ධ-නාගරික හෝ ග්‍රාමීය ප්‍රදේශ ය. එම නිසා ම බන්ධනාගාර පිරී යන්නේත් ඒවා හරහා එම කුටුම්බ ද පුපුරා යන්නේත් අපේම පංතිය තුළ ම ය.
'ජ.වි.පෙ. පීඩිතයින් නියෝජනය කරන පක්ෂයක්' ය යන තඩි බොරුව
ජ.වි.පෙ.තුළ පංති විඥානයක් පැවතුනා නම් හර්ෂණ නානයක්කාර බඳු විකාරකාරයකු අධිකරණ ඇමති වෙන්නේ නැත. අනිත් පැත්තට ලෙනින් ගේ ජායාරූපයක් යට වාඩිවී සිටින ටිල්වින් සිල්වා පැලවත්තට වී මේවා දෙස බලාගෙන ඉන්නේද නැත. සිදු වී ඇත්තේ අනෙකා ගේ විනෝදයට වෛර කරන ශරීර විශාල ප්‍රමාණයක් පැලවත්තේ ඉතුරු වීම පමණකි.

රාජ්‍ය බලය ලබාගත්තායින් පසු එය අභ්‍යාස කිරීම සිදුවන්නේ බලය පිළිබඳව අනුරාගයෙන් වූ විට සිය මූලික ප්‍රකාශිත අරමුණු ඉවතට ගමන් කරයි. පීඩිතයින් පිළිබඳව ජ.වි.පෙ.අදහස මුළුමනින් ම අරාබි-නිසොල්‍යාසයේ එන කතාන්දරයකින් වෙනස් වන්නේ නැත. 2029 ඉලක්කය කෙරෙහි ඇති ඉව රාජ්‍ය ප්‍රතිසංස්කරණයන්ගෙන් ජ.වි.පෙ.ඈතට තල්ලු කර ඇත. තව දුරටත් ජ.වි.පෙ.පීඩිතයින් නියෝජනය කරන පක්ෂයක් යන්න තඩි බොරුවකි. ඔවුන් සංවිධානය කරන්නේ මිනිසුන්ගේ විනෝදය මිස පංතිය නොවේ.
Samabima Party
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
