Image

හිටපු පොලිස්පතිවරයා ගේ මරණය; කෙබඳු අන්ධකාර කලාප කරා අක්මුල් විහිදෙනු ඇති ද...?

හිටපු පොලිස්පතිවරයා ගේ මරණය; කෙබඳු අන්ධකාර කලාප කරා අක්මුල් විහිදෙනු ඇති ද...?

හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්න ගේ මරණය සියදිවි නසාගැනීමක් ද, ඝාතනයක් ද, හදිසි අනතුරක් ද යනාදී කාරණා කිසිවක් තවම අප නිල වශයෙන් දන්නේ නැත. එය තීරණය විය යුත්තේ පශ්චාත් මරණ පරීක්ෂණ, රස පරීක්ෂණ වාර්තා ඇතුළු ක්‍රමවේදයක් ඔස්සේ ය.

දැනට අපිට කළ හැකි දෑ

මරණය සියදිවි නසාගැනීමක් හෝ ඝාතනයක් නම්, ඒ පසුපස ඇති හේතු මොනවාද යන්න අනාවරණය විය යුත්තේ ද අපරාධ විමර්ශන ක්‍රියාවලියකිනි. ඒ කිසිවක් ම කිරීමට ජනමාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය භාවිතකරන්නන් හෝ සාමාන්‍ය පුරවැසියන් වශයෙන් අපට හැකියාවක් හෝ නිල අයිතියක් නැත. යුක්තිගරුක, නීතිගරුක පුරවැසියකුට කළ හැක්කේ, ඒ පරීක්ෂණ, විමර්ශන නිසිපරිදි සිදුවී, අභ්‍යන්තරයේ සැඟවුණු කරුණු අනාවරණය වන තුරු ඉවසා සිටීම ය. දේශපාලන හෝ වෙනත් මොනයම් ම හෝ බලපෑමක් - අතපෙවීමක් හේතුවෙන් පරීක්ෂණ - විමර්ශන අයාලේ යන බවට සාධාරණ ලෙස සැක ඇතිවන්නේ නම්, ඒ සම්බන්ධයෙන් නෛතික රාමු ඇතුළේ කිසියම් මැදිහත්වීමක් කිරීමට පුරවැසියකුට හැකියාව තිබේ.

පාස්කුදින ප්‍රහාරයට අදාළව අධිකරණයට ඉදිරිපත් වූ උධෘත

109339368 36690dda 8b4f 4bbd a089 fddd1c83473c.jpg

කෙසේ වෙතත්, අවකාශයක් හිමි සියල්ලන් තොරතුරු මත බඩපිනුම් ගසන යුගයක කිසිවකුට කිසිවකුගේ කට මුළුමනින් වසාදමන්නට ද නොහැකි ය. ඒ අනුව, ඉතාම සංක්ෂිප්තව කිව හැක්කේ, ලංකාව යනු ශිෂ්ටාචාරගත මනුෂ්‍ය සමාජයක් නම්, අප දැනටමත් දරුණු කම්පනයකට පත් කරන්නට හේතු විය යුතුව ඇති අතිශය බියකරු සංසිද්ධින්වල ම දිගුවක් මේ මරණය පසුපස ද සැඟවී ඇති බව පවා හෙළිදරව් වීමට ඉඩ ඇති බව ය.

මේ මරණයත් සමගින් ෆේස්බුක් අවකාශය ඇතුළු සමාජ මාධ්‍ය හා ඇතැම් ජනමාධ්‍ය ඔස්සේත් නැවත කතාබහට ලක් වූ මාතෘකාවක් වූයේ පාස්කුදින ප්‍රහාරය යි.

Suresh Sallay 1200x675px 03 06 26සුරේෂ් සලේ

විශේෂයෙන් දැනට රැඳවුම් නියෝග මත සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව මරණයට පත් හිටපු පොලිස්පතිවරයා ගේ ඇති සම්බන්ධය කුමක්ද යන්නත්, ඒ සම්බන්ධයෙන් දැනට සිදුවන විමර්ශනයේ දී ඔහු සීඅයිඩීයට ලබාදී ඇති ප්‍රකාශයේ ඇති අදාළත්වයත් එහි දී කතාබහට ලක්වනු පෙනේ. ඒ ප්‍රකාශයට අදාළව අධිකරණයට ඉදිරිපත් වූ උධෘත අප සතු වුවත්, එය හා මේ මරණය අතර ඇති ඍජු සම්බන්ධයක් ගැන අපට මේ මොහොතේ තීරණාත්මක යමක් කියන්නට නොහැකි ය.

ඇතැම් විට ඔහු පොලිස්පති ධූරය දැරූ කාලයට අදාළව රට තුළ පැවැති, පාස්කුදින ප්‍රහාරයෙන් පරිබාහිර වෙනත් අතිශය භයංකර, අන්ධකාර කලාප වෙතට පවා මේ සිදුවීමේ මුල් දුවන්නේදැ'යි සැක කළ හැකි කාරණා ඉස්මත්තට පැමිණෙමින් තිබෙන බව පමණක් දැනට කිවහැකි ය. එහෙත් ඒ්වා මේ මොහොතේත් වඩා සංවෘත තොරතුරු ලෙස පවතී‍.

 

ලොමු දැහැගැන්වෙන ඉතිහාස පදාසයක්

harakkathacharitharakithafb

අප ජීවත් වන්නේ රටේ අධිකරණ හා බන්ධනාගාර විෂයය භාරව සිටි ඇමැතිවරයකු ගේ පුත්‍රයෙක් රටේ නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සලකා විදේශයක දී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ පුද්ගලයකු අත්අඩංගුවේ දී සිදුවන අනීතික ඝාතනයකින් බේරාගැනීමට, චෝදනා එල්ලවන නෛතික රාමුවේ වෙනසක් කිරීමට සහ රැඳවුම් ස්ථානය වෙනස් කිරීමට කෝටි ගණනින් කප්පම් ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන විමර්ශන ක්‍රියාවලියකට යටත් කර සිටින රටක ය. එය සිදුවන බව කියැවෙන්නේ අදාළ ඇමැතිවරයා බලයේ සිටි සමයේ දී ම ය. ඒ කප්පම් මුදල් දේශපාලකයන්, පොලිස් ලොක්කන් පමණක් නොව චීවරධාරීන් අතර ද සංසරණය වූ බවට තොරතුරු හෙළිවෙමින් පවතින බව වාර්තා වේ. ඒ ලොමු දැහැගැන්වෙන ඉතිහාස පදාසයේ රටේ පොලිස්පතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ මේ කියන සීඩී වික්‍රමරත්න ය.

 

අපි නොදන්නා, ඔහු දන්නා දේ...?

cdwicramarathnai

ඔබ නීතිය වල්වැදුණු, අතිශය දූෂිත, ප්‍රචණ්ඩකාරී හා ජන ඝාතනවලින් පිරි ඉතාම බිහිසුණු ඉතිහාස පදාසයක් ඔස්සේ, කිසියම් තීරණාත්මක අධිකාරී බලයක් හිමි පුද්ගලයකු ලෙස ඇවිද ගියේ නම්, ඒ කාල පදාසයේ දී සිදුවූ යහපතෙහි මෙන් ම නරකේ නපුරේ ද ඔබේ වපසරියේ පංගුවට ඔබට වගකියන්නට සිදුවන්නේ ය. විමර්ශන ක්‍රියාවලියකින් හෙළිදරව් වන තුරු ඒ අන්ධකාර ඉතිහාස පංගුවේ ඔබේ කොටස පැහැදිළිව ම දන්නේ ඔබ පමණෙකි. එය විසින් ඔබේ අභ්‍යන්තරය තුළ කෙබඳු කල කොලහලයක් ඇතිකරනවා ද යන්න ගැන අපි නොදනිමු. එහෙත් එය අතිශය බියකරු මානසිකත්වයක් බව නම් ඉඳුරා ම කිව හැකි ය.

 

395392785 10232581363260536 5498915480587529816 n 1

 

 

 

 

 

Sanath Balasooriya

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න