පොදු කෞතුකාගාර හා විශ්වවිද්‍යාල කලා කෞතුකාගාර වර්ගීකරණයෙන් දෙවර්ගයකි. විශ්වවිද්‍යාල කලා කෞතුකාගාර දෘශ්‍ය කලාවල ඉහළ නිර්ණායක, තීරණාත්මක ඓතිහාසික තත්ත්ව කලා කෘති විසින් නියෝජනය කිරීම මූලිකව විශ්වවිද්‍යාල අභ්‍යන්තර පාලනයෙන්, කලා කෘති එකතු කිරීමේ කළමනාකරණයෙන්, අභිරක්ෂණයෙන් සහ අධ්‍යාපන ප්‍රතිපත්ති මත තීරණය වන්නකි. කලා වස්තුවක් වීමට ද, පුරාවස්තුවකටමෙන් නිශ්චිත කාලයක ඉතිහාසක් අවශ්‍ය කෙරේ.
යුනෙස්කෝ සම්මූති අනුව කටයුතු කිරීම
ප්‍රධාන ප්‍රතිපත්ති ක්ෂේත්‍ර අතරට කලාකෘති එකතු කිරීමේ භාරකාරත්වය, අධ්‍යයන ඒකාබද්ධතාවය සහ පාලන ව්‍යුහයෙන් ඒවා අධීක්ෂණය කිරීම සිදු වේ. කලා කෘති එකතු කිරීමේ කළමනාකරණය කිරීමේ සහ අත්පත් කර ගැනීම මෙන්ම ඉවත් කිරීම සිදු කරනු ලබන්නේ විශේෂඥ මණ්ඩලයක් විසිනි. එවැනි මණ්ඩල විශ්වවිද්‍යාල අභ්‍යන්තර හා බාහිර ප්‍රවීණයන් ගෙන් ව්‍යුහ ගත වෙන්නේ පුළුල් සහ විනිවිදභාවය මූලික කරගෙනය.
විශ්වවිද්‍යාල කලා කෞතුකාගාරයක කලා වස්තු ස්ථිර හෝ ඉගැන්වීමේ කටයුතුවලට එකතු කරන ආකාරය මෙන්ම ස්ථිර ප්‍රදර්ශනවලින් ඉවත් කර බැහැර කරන ආකාරය ලිඛිත නීති මගින් පාලනය වේ. විධිවිධාන සහ ආචාර ධර්මවලට අනුකූලව සියලු ම නව අත්පත් කර ගැනීම් සඳහා නීතිමය හිමිකම් සත්‍යාපනය සහ සංස්කෘතික දේපළ නීති පිළිපැදීම අනිවාර්ය කාර්යයකි. මෙහි දී යුනෙස්කෝ සම්මූති අනුව කටයුතු කිරීම පොදු ලක්ෂණයකි.
යුරෝපයේ ලොව පළමු විශ්ව විද්‍යාල කෞතුකාගාරය
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඇෂ්මෝලියන් කෞතුකාගාරය (Elias Ashmole Museum)
විශ්වවිද්‍යාල කලා කෞතුකාගාරයක කලා කෘති සංරක්ෂණ ප්‍රමිති, අනුගමනය කරයි. ආරක්ෂිත ගබඩා කිරීම, දේශගුණික පාලනය සහ හැසිරවීම සඳහා ස්ථාපිත කෞතුකාගාර සංරක්ෂණ නීති භාවිතා කරමින් එකතු කිරීම් නඩත්තු කරනු ලැබේ. අධ්‍යයන හා ශිෂ්‍ය ඒකාබද්ධතාවය අනුව වස්තු පාදක ඉගෙනීම සඳහා සකසන ලද ප්‍රතිපත්ති සෘජුව විෂයමාලා සමග ඒකාබද්ධ කිරීම සිදු වේ. කලා විවේචන සහ විචාර චින්තන අභ්‍යාස සහ ශිෂ්‍ය පර්යේෂණ සඳහා විශ්වවිද්‍යාල කලා එකතු භාවිත කිරීමට විශ්වවිද්‍යාල කලා කෞතුකාගාර ප්‍රමුඛත්වය දෙනු ලැබේ.
කලාගාර රැකියා සහ ප්‍රායෝගික සීමාවාසික වැඩසටහන් සඳහා පරාමිතීන් ගෙනහැර දැක්වීමට මාර්ගෝපදේශ තිබිය යුතුය. වාර්ෂික පාලන සහ මෙහෙයුම් වාර්තා කිරීම කෞතුකාගාර ප්‍රධානීන් විසින් සාමාන්‍යයෙන් කලා අධ්‍යයනාංශයකට පමණක් සීමා නොවී නියෝජ්‍ය උපකුලපතිවරයෙකු හෝ උපකුලපතිවරයෙකු ප්‍රමුඛ සනාතන සභාවට හා පාලක සභාවට සෘජුවම වාර්තා කළ යුතුය. වගවිය යුතුය.
දැනට තිබෙන දත්ත අනුව පෙන්වා දිය හැක්කේ ලොව පුරා විශ්වවිද්‍යාල සතු අධ්‍යයන එකතු කිරීම් සඳහා වන කලා කෞතුකාගාර 4,400 කට වඩා ඇති බවකි. එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාල පාදක කරගත් කෞතුකාගාර 700 ක් පමණ තිබේ. ඒවායින් 600-700 කට ආසන්න ප්‍රමාණයක් කලා අධ්‍යයන හා පොදු ප්‍රදර්ශන කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි. කලා අධ්‍යයන කෞතුකාගාරවල ගෝලීය ව්‍යාප්තිය අනුව යුරෝපයේ ලොව පළමු විශ්ව විද්‍යාල කෞතුකාගාරය 1683 දී ආරම්භ කරන ලද්දේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඇෂ්මෝලියන් කෞතුකාගාරයෙනි. (Elias Ashmole Musem) ලෝක විශ්ව විද්‍යාල අතර වඩාත් ප්‍රසිද්ධ කලා කෞතුකාගාරය වන්නේ ද එය යි. එහි ඊජිප්තු මමී, පූර්ව-රෆාලයිට් සිතුවම් සහ මයිකලාන්ජෙලෝ සහ රෆායෙල්ගේ චිත්‍ර ඇතුළත් වස්තු මිලියනයකට වඩා අඩංගු වේ. එහි නිර්මාතෘ එලියාස් ඇෂ්මෝලියන් තමා සතුව තිබූ දුර්ලභ පුරාවස්තු, පොත්පත් සහ විවිධ සාම්පල එකතුව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කිරීමෙන් මෙහි ආරම්භය සිදුව තිබේ.

15 වන සියවසේ සිට නූතන යුරෝපීය/ඇමරිකානු සිතුවම් සහ අද්විතීය කලා කෘති
හාවඩ් කලා කෞතුකාගාරයේ (Harvard Art Musems)
ඒ වගේම උතුරු ඇමරිකාවේ යේල් විශ්වවිද්‍යාල (Yale University) කලාභවන 1832 දී ආරම්භ කර තිබේ. හාවඩ් කලා කෞතුකාගාර (Harvard Art Musems) පුළුල් ප්‍රමුඛ අවකාශයන් සහිත වාර්තාගත ආයතනික කෞතුකාගාර ස්ථාන 527 කි. ආසියාව, ඕෂනියා, ලතින් ඇමරිකාව සහ අප්‍රිකාව උසස් අධ්‍යාපන ජාල මගින් පවත්වාගෙන යනු ලබන ඒවා විශේෂිත ඉගැන්වීම් කලාගාර විද්‍යා පර්යේෂණ සහ ලලිත කලා ප්‍රදර්ශන අවකාශ දහස් ගණනකින් සමන්විත වේ.

විශ්වවිද්‍යාලයක් සතු විශාලතම කලා කෞතුකාගාරය වන්නේ ඔස්ටින්හි ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ (UT Austin) පිහිටි ‘බ්ලැන්ටන්' කලා කෞතුකාගාරය (Blanton Museum of Art) වන අතර, එය වර්ග අඩි 189,340 ක පමණ භූමි ප්‍රදේශයක් පුරා විහිදී පවතී. මෙහි කලා නිර්මාණ කෘති 21,000 කට ආසන්න ප්‍රමාණයක් අන්තර්ගත වේ. විශේෂත්වයෙන් නූතන සහ සමකාලීන ඇමරිකානු සහ ලතින් ඇමරිකානු කලා නිර්මාණ මෙන්ම, ඉතාලි පුනරුද යුගයේ සිතුවම් සඳහා ද මෙය ප්‍රසිද්ධියක් උසුලයි.
ෆිට්ස්විලියම් කෞතුකාගාරය
කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය සතු ෆිට්ස්විලියම් කෞතුකාගාරය 1816 දී එංගලන්තයේ කේම්බ්‍රිජ් හි පිහිටුවන ලද අතර, පුරාණ ඊජිප්තු මමීවල සිට පුනරුදයේ විශිෂ්ට කෘති දක්වා ලෝක මට්ටමේ එකතු කිරීම් තබා ඇත. ඔබර්ලින් විද්‍යාලයේ ඇලන් අනුස්මරණ කලා කෞතුකාගාරය 1917 දී ඇමරිකා එක්සත් ජනපදයේ ඔහියෝ හි ආරම්භ කරන ලද අතර, කැස් ගිල්බට් විසින් නිර්මාණය කරන ලද ඉතාලි පුනරුද ගොඩනැගිල්ලක්, 15 වන සියවසේ සිට නූතන යුරෝපීය/ඇමරිකානු සිතුවම් සහ අද්විතීය කලා කෘති කුලියට දීමේ වැඩසටහනක් ද එයට ඇතුළත් වේ.
සීමා සහිත සිතුවිලිවලට කාර්යය ලඝු වීම
මෑත ඉතිහාසයේ මෙරට අවාසනාව නම් ලෝකයෙන් ලබාගන්නා උගත් පාඩම් සහ තත්ව ඇගයීම් (Swot Analyis, Quality assurance ) නොසලකා හැර, සීමා සහිත සිතුවිලිවලට කාර්යය ලඝු වීමයි. ලෝක විශ්වවිද්‍යාල සතු අග්‍රගන්‍ය ‘ප්‍රකාශය මුද්‍රණාල’ තිබුන ද ඒවා ගැන නොසලකා ලංකාවේ කිසිදු විශ්වවිද්‍යාලයක නැති ප්‍රකාශන මුද්‍රණාලයක් සෞන්දර්ය විශ්වවිද්‍යලය විසින් වසර කිහිපයකට පෙර ආරම්භ කරන ලද අවස්ථාවේ දී ද මේ හා සමාන ලිපියක් මවිසින් පළ කරන ලදී. දැන් ප්‍රමිති පිළිබඳ ප්‍රශ්න සහගත කලා කොතුකාගාරයක් ගැන ඇති සංවාදය ද මෙහි ම දිගුවකි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ විගණන අංශ හා ජාතික විගණන කාර්යාලය මේවා අධීක්ෂණය කළ යුතුය.

Sarath Chandrajeewa
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
