සිනමාව කර්මාන්තයක් ලෙස පවත්වා ගන්නට නම් නිසැකව ම චිත‍්‍රපට නොකඩවා නිෂ්පාදනය විය යුතු ම ය. නැතහොත් චිත‍්‍රපට කර්මාන්තය බිඳ වැටෙයි. ලාංකීය චිත‍්‍රපට කර්මාන්තය තුළ පසුගිය වසර එනම් 2025 වසර ඉතාමත් ලාභදායි ලෙස ආදායම් ඉපැයු සිනමාපට ගණනාවක් තිරගත වූ වසරකි.
ප්‍රේක්ෂකාගාරය ලාංකේය සිනමාවෙන් ඈත්වෙමින් තිබුණු මොහොතක සිනමාව යළි පණගැන්වෙමින් අති සාර්ථක වූ වසරකි. ඒ අනුව 2025 වසර නොකඩවා චිත‍්‍රපට තිරගත වෙමින් "රාණි", "නෙළුම් කුළුණ", ''ක්ලැරන්ස් : රිදම් ඔෆ් ද ගිටාර්", "වාලම්පුරි", "මෝඩ තරිඳු", "නීරා" යනාදි වාණිජ ධාරාවේ චිත‍්‍රපට වැඩිම ආදායම් ඉපැයු සිනමාපට ය.
ලාංකීය සිනමාවට නව ජවයක් සැපයූ 2025 වසර 2026 වසරට හුවමාරු වෙද්දි ගත වූ මාස හත තුළ සිනමාපට 19 දෙස නිරික්ෂණය කළහොත් ෆාදර්, ධර්මයුද්ධය 2, OIC ගඩාෆි, සූරිය සුළඟ, Room Number 106 චිත‍්‍රපට පහ ආදයම් අතින් අති සාර්ථක විය. ඒ අනුව එම චිත‍්‍රපට සුපර් හිට් වූ චිත‍්‍රපට යි. පහත දක්වා ඇත්තේ ජනවාරි මස සිට ජූලි මස දක්වා තිරගත වූ චිත‍්‍රපට සහ තිරගත කිරීම ආරම්භ වූ දින ය.
01. මලකි දුවේ නුඹ - ජනවාරි 02

02. ෆාදර් - ජනවාරි 10

03. ධර්මයුද්ධය 2 - ජනවාරි 23

04. අභීත - පෙබරවාරි 06

05. වයිෆ් - පෙබරවාරි 13
06. සුර දෙටුවෝ - මාර්තු 12

07. ගෝත්‍රා - මාර්තු 27

08. සාජන්ට් පුංඥසෝම - අප්‍රේල් 17

09. රිවර්ස්ටන් - අප්‍රේල් 23

10. OIC ගඩාෆි - අප්‍රේල් 23

11. චන්දරේගේ වයිෆ් - මැයි 15

12. සූරිය සුළඟ - ජූනි 4

13. ඒක තමයි මේක - ජුනි 19

14. රජ දහන - ජුනි 19

15. Room Number 106 - ජූනි 26

16. ඔස්කාර් - ජුලි 10

17. සිම්බා -ජුලි 17

18. මොනර විලක් - ජුලි 24

19. අභිසාරි - ජූලි 24

ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ "රිවර්ස්ටන්" සිනමාපටය දෙස් විදෙස් සිනමා උලෙළවල සම්මාන පිට සම්මාන ලැබූ විශිෂ්ට චිත‍්‍රපටයක් ලෙස ප්‍රේක්ෂකාගාරයේ අභිසෙස් ලැබුවේය. සුරංග ද අල්විස් විසින් පෙර තිබු කොපි චිත‍්‍රපට කලාව පසෙකලා 'Room නම්බර් 106' සහ 'ඒක තමයි මේක' වැනි වෙනස්ම ධාරාවේ යාවත්කාලීන අන්තර්ගතයන් නිර්මාණය කිරීම සතුටට කාරණයකි. ෂමීර රංගන නාඔටුන්නගේ තෙවන සිනමා අධ්‍යක්ෂණය ලෙස "වයිෆ්" චිත‍්‍රපටය ද ප්‍රේක්ෂකාගාරය යම් පමණකට වැළඳගත් චිත‍්‍රපටයකි. උදයකාන්ත වර්ණසූරියගේ "සාජන්ට් පුංඥසෝම" නමැති කොමඩ් චිත‍්‍රපටය ආදායම් අතින් සේම ප්‍රේක්ෂක ප්‍රතිචාර අතින් සාර්ථක වූයේ නැත.
ගණිකාවන්ගේ ජීවිතය අලළා සැකසු මේ දිනවල තිරගත වන චින්තන ධර්මදාසගේ "අභිසාරි" චිත‍්‍රපටය ව්ශාල අභියෝග ද්විත්වයකට මුහුණ පා තිබේ. එනම් ක්‍රිස්ටෝපර් නෝලන්ගේ "ද ඔඩිසි" චිත‍්‍රපටය සහ "ස්පයිඩර් මෑන්" හොලිවුඩ් චිත‍්‍රපට ද්විත්වයේ දර්ශන වාර (Show times) ආධිපත්‍යයට නතු වී තිබීමයි. මෙම ආධිපත්‍යය නිසාම "ආදරණීය තරුවක්" චිත‍්‍රපටය සහ සංජීව පුෂ්පකුමාරගේ "විහඟ ප්‍රේමය" චිත‍්‍රපටයට මෙම හොලිවුඩ් චිත‍්‍රපට දෙක සමග තරඟ වැදෙන්නට සිදුව ඇත. එමෙන්ම මෙම හොලිවුඩ් සිනමාපට දෙක නිසාවෙන් එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ "ඔස්කාර්" සිනමාපටයේ දර්ශනවාර සංඛ්‍යාව ද අඩු වී ඇත.
ගත වූ මාස හත තුළ ලාංකේය සිනමාවට බිහි වූ නවමු අධ්‍යක්ෂවරයන් සංඛ්‍යාව හයකි. ඒ ෆාදර් චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළ චමින්ද විජේසූරිය, අභීත චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළ ශ්‍රැති ප්‍රභා, ගෝත්‍රා චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළ රවී චන්ද්‍රසිරි, සුර දෙටුවෝ අධ්‍යක්ෂණය කළ ලක්මාල් වීරසිරි, මොනර විලක් චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළ රසික ලියනගේ, "රජ දහන" චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළ වාසිත සමරනායක සහ "My සිම්බා" චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළ J. K යන අධ්‍යක්ෂවරයන් හත් දෙනා ය.
පසුගිය මාස හත තුළ නිරික්ෂණය කිරීමේ දී ලාංකේය සිනමාව සාර්ථක ලෙස චිත්‍රපට තිරගතවන අතර ඒවා කර්මාන්තය ශක්තිමත් කරන චිත‍්‍රපට ද යන්න යළි යළිත් සිතිය යුතු ය. ලාංකේය සිනමා කර්මාන්තය නව චිත්‍රපට සඳහා සැලකිය යුතු ප්‍රවාහයක් පවත්වා ගෙන යන අතර පුළුල් පරාසයක විහිදී ගිය ශානර, විශේෂයෙන් අපරාධ, ත්‍රාසජනක, හාස්‍ය සහ ක්‍රියාදාමයන් සමග සිනමාකරුවන් විවිධ අත්හදා බැලීම් කර ඇත. කෙසේ වෙතත්, ජාත්‍යන්තර සහ ඉන්දියානු සිනමාව ආධිපත්‍යය දරන පරිසරයක චිත්‍රපට නිෂ්පාදනය තිරසාර ලෙස සාර්ථකත්වයක් බවට පරිවර්තනය කිරීමේ මූලික අභියෝගයට චිත්‍රපට නිෂ්පාදකයින් නොකඩවා මුහුණ දෙන ගැටලුවක් බව මෙහි දී හඳුනා ගනියි.

මලින්ත විතානගේ
(මෙම ලිපිය 2026 වසරේ අගෝස්තු මස 20වන බ්‍රහස්පතින්දා දින සරසවිය පුවත්පතේ මුල්වරට පළ විය.)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
