අද ලංකාවේ සමාජ මාධ්‍ය හෝ ශාස්ත්‍රීය සංවාද දිහා බලද්දී ඔබටත් මේ අත්දැකීමට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා ද?
"ඔබ Hegemony and Socialist Strategy කියවලා තියෙනව ද?", නැත්නම් ස්ලාවෝජ් ජිජැක් ගේ Sublime Object of Ideology පොත කියවලා තියෙනව ද? "Laclau ගේ Post-Marxism එකට අනුව නම් මෙහෙමයි..."
ලංකාවේ වර්තමාන දේශපාලන සහ ශාස්ත්‍රීය සංවාද ඇතුළේ Ernesto Laclau සහ Chantal Mouffe ගේ Post-Marxism හෝ ලැකාන් ගේ න්‍යායාත්මක කෘති ගැන කතා කරන බහුතරයක් දෙනා ඒ පොත්වල මුල් පිටුවේ සිට අගට කියවා ඇත්දැයි ඇසුවොත් පිළිතුර "නැත" යන්නයි. නමුත් ඒ පිළිබඳව දීර්ඝ සංවාද, දේශපාලන විවේචන සහ සෝෂල් මීඩියා Post බිහි වේ.
ඒ වගේම, කෙනෙක් මහා ගම්භීර විදියට ප්‍රසිද්ධ සිද්ධාන්තයක් හෝ මහාවංශයේ කොටසක් ගැන කතා කරනවා. හැබැයි ඔහු ඒ පොත මුල සිට අගට කියවා නෑ. අහම්බෙන් ඒ පොත ඇත්තටම කියවපු කෙනෙක් ඇවිත් "ඔතන තියෙන්නේ ඔය කතාව නෙවෙයි" කියලා පෙන්වා දුන්නොත්, අර නොකියවපු පිරිස එකතු වෙලා කියන්නේ මොකක්ද? "ඔයා ඒ කියන්නේ පොතේ තියෙන දේ නෙවෙයි, ඔයා ගේ පෞද්ගලික අදහස්" කියලා.
අවසානයේ ඇත්තටම කියවපු කෙනා පැත්තකට තල්ලු වෙනවා. පොත නොකියවා, සමාජයේ කැරකෙන වචන කැබලි සහ සාරාංශවලින් කතා කරන අය "මහා බුද්ධිමතුන්" ලෙස කැපී පෙනෙනවා.
ප්‍රංශ සාහිත්‍ය විචාරකයෙකු සහ මනෝවිශ්ලේෂකයෙකු වන පියරේ බයාර්ඩ් (Pierre Bayard) 2007 දී පළ කළ 'How to Talk About Books You Haven't Read' (ඔබ කියවා නැති පොත් ගැන කතා කරන්නේ කෙසේ ද?) කෘතියෙන් ඉදිරිපත් කළේ මෙන්න මේ මූලික යථාර්ථය යි: "සංස්කෘතියක් පවත්වාගෙන යන්නේ අපි කියවා අවසන් කළ පොත් 10 නෙවෙයි, අපි නොකියවූ නමුත් කතාබහ කරන පොත් 1000යි."
පියරේ බයාර්ඩ් (Pierre Bayard) සහ ඔහුගේ 'How to Talk About Books You Haven't Read' කෘතිය
1. නොකියවූ පොත් මත දුවන සංස්කෘතිය සහ "අඩුවෙන් (Negativity)" හැදෙන අනන්‍යතාව (How to Talk About Books You Haven't Read, 2007)
අපි සාමාන්‍යයෙන් හිතන්නේ කෙනෙක් පොතක් "කියවලා තියෙනවා" නැත්නම් "කියවලා නෑ" (Binary) කියලා විතරයි. ඒත් පියෙර් බෙයාර්ඩ් පෙන්වා දෙන්නේ කියවීම කියන්නේ ඊට වඩා සංකීර්ණ තත්වයන් 4ක එකතුවක් බවයි:
1. Never Read (නමවත් නොදන්නා)
2. Skimmed (විචාර/සාරාංශ පමණක් බලපු)
3. Heard About (අන් අය කතා කරනවා ඇසුණු)
4. Forgot (කලින් කියවා දැනට අමතක වූ)
සමාජයක "සංස්කෘතික ප්‍රාග්ධනය" (Cultural Capital) නැත්නම් බුද්ධිමය පැවැත්ම දුවන්නේ, අංක 2, 3 සහ 4 කියන තත්ත්ව මතයි. මිනිස්සු සංවාදයක දී පොතක් ගැන කතා කරන්නේ ඒ පොතේ සැබෑ අන්තර්ගතය සෙවීමට වඩා, තමන් ගේ සමාජීය පංතිය සහ බුද්ධිමය ස්ථානය රැකගැනීමට කරන Social Ritual (සමාජීය චාරිත්‍රයක්) එකක් ලෙස යි.
බයාර්ඩ්ට අනුව සංස්කෘතියක් පවතින්නේ මිනිස්සු කියවා අවසන් කළ පොත් 10ක් මත නෙවෙයි; නොකියවූ නමුත් සමාජයේ මතකයේ සංසරණය වන අදහස් 1000ක් මතයි. මෙතැන තියෙන ගැඹුරුම න්‍යායාත්මක කාරණය තමයි, අපේ අනන්‍යතාව (Identity) ගොඩනැගෙන්නේම මේ "නොදැනුම" සහ "පොත ඇත්තට ම නොකියවා සිටීම" කියන අඩුව (Negativity / Lack) පදනම් කරගෙන වීම.
ලංකාවේ මහාවංශය මුල සිට අගට පාලි හෝ සිංහල පරිවර්තනයෙන් කියවපු අය ඉන්නේ 1%කටත් වඩා අඩුවෙන්. ඒත් "අපි කවුද?" කියන ජාතික අනන්‍යතාව, දේශපාලන මතවාද සහ සංස්කෘතිය දුවන්නේ හැමෝම නොකියවා අහගෙන ඉන්න මහාවංශයේ කතාන්දර මත. ඒ වගේම, ලංකාවේ political circles ඇතුළේ Laclau සහ Mouffe ගේ Hegemony and Socialist Strategy (1985) කෘතියේ න්‍යායාත්මක පිටු ගණන සම්පූර්ණයෙන්ම කියවූ අය සිටින්නේ අතළොස්සකි. අපි පොත ඇත්තට ම නොකියවා සිටීම කියන "අඩුව/නොදැනුම" (Negativity) මත තමා අපේ සාමූහික ජාතික අනන්‍යතාව ගොඩනැගෙන්නේ.
එනම්, අපගේ පුද්ගලික සහ සාමූහික අනන්‍යතාවය රඳා පවතින්නේ අප කියවා තේරුම් ගත් සත්‍යය මත නොව, අප නොකියවා සමාජීය වශයෙන් හුවමාරු කරගන්නා "හිස් අදහස් සහ අඩුව" (Negativity/Lack) මත බවයි.
2. Laclau ගේ "හිස් සංකේත" (Empty Signifiers) සහ "බුද්ධිමත්" නාටකය
අර්නස්ටෝ ලක්ලාව් (Ernesto Laclau)
Ernesto Laclau පෙන්වා දෙන Empty Signifier (තමන්ගේම කියා නිශ්චිත අර්ථයක් නැති, ඕනෑම අදහසකින් පිරවිය හැකි හිස් සංකේත) කියන න්‍යාය මේ නාටකයට කෙළින් ම අදාළ වෙනවා. මිනිස්සු පොතක තියෙන සැබෑ අන්තර්ගතය ගැන නෙවෙයි කතා කරන්නේ, ඒ පොතේ නම හෝ ඊට අදාළ වචන හිස් සංකේත ලෙස භාවිතා කිරීමෙනි.
ටීවී දෙබසක හෝ ඩිජිටල් සංවාදයකදී කෙනෙක් "මේක capitalist alienation එකක්", "මේක Lacanian lack එකක්" නැත්නම් "මේක මහාවංශික චින්තනය" නැත්නම් "ග්‍රාම්ස්චි නිවැරදිව කී පරිදි හෙජමොනික අවකාශය තුළ" කියලා කිව්වාම, අසන්නන් ඔහු දෙස බලන්නේ විශාල බුද්ධිමතෙකු ලෙසයි. හැබැයි ඒ වචන පිටුපස සැබෑ ගැඹුරක් නෑ. ඒවා හිස් සංකේත (Empty Signifiers). පොත ඇත්තට ම නොකියවා, මේ හිස් සංකේත නිතර හඬනඟා සංසරණය කිරීමෙන්ම සමාජය තුළ "මහා ප්‍රාඥයෙක්" වීමේ නාටකය සාර්ථකව රඟපෑ හැකියි.
3. අනාගතය විසින් අතීතය Rewrite වීම (Plagiarism by Anticipation, 2009)
2009 දී බයාර්ඩ් පළ කළ Plagiarism by Anticipation කෘතියෙන් කාලය පිළිබඳ රේඛීය සංකල්පය අභියෝගයට ලක් කරයි. සාමාන්‍යයෙන් අපි සිතන්නේ අතීතය විසින් අනාගතයට බලපෑම් කරන බවයි (A - B - C). නමුත් බයාර්ඩ් කියන්නේ C සිදුවූ පසු A හි අර්ථය සම්පූර්ණයෙන් ම වෙනස් වන බවයි. අපි අතීතයේ ලියවුණු දෙයක තේරුම වටහා ගන්නේ අනාගතයේ සිදුවන දේවල් සහ අලුත් න්‍යායන් හරහායි.
ෂේක්ස්පියර් Hamlet ලියන්නේ ෆ්‍රොයිඩ් "Oedipus Complex" න්‍යාය හඳුන්වා දීමට සියවස් ගණනාවකට පෙරය. නමුත් අද අප Hamlet කියවන විට අපට සිතෙන්නේ ෂේක්ස්පියර් ෆ්‍රොයිඩ්ව "උපුටා දක්වා" ඇති බවයි.
මාටින් වික්‍රමසිංහ 1944 දී ගම්පෙරළිය ලියද්දී අද තියෙන "ප්‍රාග්ධන හිමිකාරිත්වය" හෝ "පන්ති පරිවර්තනය" ගැන අද අපි විග්‍රහ කරන න්‍යායාත්මක වචන ඒ විදියටම තිබුණේ නෑ. ඒත් අද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ගම්පෙරළිය දෙස බලන්නේ 2026 දී සමාජ විද්‍යාවේ තියෙන අලුත් න්‍යායන් හරහායි. ඒ කියන්නේ අතීතයේ කෘතියට අලුත් අර්ථයක් දෙනු ලබන්නේ අනාගතයේ උපදින අදහස් විසිනි.
4. ප්‍රකාශනයේ සහ පිළිගැනීමේ සූදුව (Would I Have Been Published?, 2015)

අපි සාමාන්‍යයෙන් හිතන්නේ සමාජයක "සම්භාව්‍ය" (Classic) හෝ "ශ්‍රේෂ්ඨ" කියලා පිළිගැනෙන පොත් කියන්නේ ඒ කාලයේ ලියවුණු උසස්ම සහ විශිෂ්ටම කෘතිවලට විතරක් කියලයි. ඒත් පියෙර් බයාර්ඩ් පෙන්වා දෙන්නේ අපි අද "ලෝක සාහිත්‍යය" හෝ "සම්භාව්‍ය කෘති" (Canon) කියලා ඉහළින් ම පිළිගන්නේ සැබෑ ගුණාත්මකභාවයට වඩා 90%ක්ම අහම්බ, වාසනාව සහ ප්‍රකාශකයින් ගේ පුද්ගලික තීරණ මත Filter වෙලා ඉතිරි වුණු අදහස් ටිකකට කියලයි.
මාර්සෙල් පෲස්ට් (Marcel Proust): ප්‍රංශ සාහිත්‍යයේ මහා කෘතියක් ලෙස සැලකෙන In Search of Lost Time මුලින්ම ප්‍රකාශකයන් පස්දෙනෙකු ම "මෙව්වා විකුණන්න බෑ" කියලා ප්‍රතික්ෂේප කළ එකක්.
ෆ්‍රාන්ස් කෆ්කා (Franz Kafka): කෆ්කා මිය යන්න කලින් තමන්ගේ මිතුරා වූ මැක්ස් බ්‍රොඩ්ට (Max Brod) කිව්වේ තමන් ලියපු සියලුම ලියකියවිලි ගිනි තබා විනාශ කරන්න කියලයි. ඒත් මැක්ස් බ්‍රොඩ් ඒ අවසන් කැමැත්ත කඩ කරලා ඒ පොත් මුද්‍රණය නොකළා නම් අද ලෝක සාහිත්‍යයේ "කෆ්කානියානු" (Kafkaesque) කියලා න්‍යායාත්මක අංශයක් නෑ!
ලංකාවේත් දේශපාලනික, සමාජ විද්‍යාත්මක හෝ සාහිත්‍ය සංවාද ඇතුළේ අපි අද "ශ්‍රේෂ්ඨයි" කියලා ඉගෙනගන්නා හෝ උපුටා දක්වන පොත් ටික තීරණය වුණෙත් ඔය සූදුවෙන්මයි:
ඒ අනුව, අපේ දැනුම සහ සාහිත්‍ය Canon එක තීරණය වී ඇත්තේ සැබෑ ශ්‍රේෂ්ඨත්වයට වඩා අහම්බයෙන් ඉතිරි වූ 1% මතය. අප අද "මහා බුද්ධිමය සම්ප්‍රදායන්" ලෙස වන්දනාමාන කරන්නේ ඒ අහම්බයෙන් බේරී ආ පොත් කිහිපයටයි.
5. 2026 TikTok සහ Algorithm යුගයේ දැනුම

පියරේ බයාර්ඩ් 2007 දී පොත්, මුද්‍රිත පිටු සහ ශාස්ත්‍රීය සංවාද ඇසුරින් පෙන්වා දුන් මේ "නොකියවා සංවාද කිරීමේ" න්‍යාය, 2026 වන විට ඩිජිටල් Content සහ Social Media Algorithm හරහා තවත් සියගුණයකින් ප්‍රබල වී තිබේ.
2007 දී මිනිස්සු පොත් නොකියවා සාරාංශ සහ කතිකා (Discourse) හරහා "බුද්ධිමතුන්" වුණා නම්, 2026 දී සිදුවන්නේ පූර්ණ වීඩියෝවක් හෝ ලිපියක් නොබලා, Algorithm එක හරහා ලැබෙන තත්පර ගණනක කැබලි පදනම් කරගෙන සමාජීය මතවාද නිර්මාණය වීමයි.
පූර්ණ අධ්‍යයනය අතුරුදහන් වීම: අද සමාජයේ කිසිවෙකු පැයක න්‍යායාත්මක දේශනයක් හෝ පූර්ණ YouTube Podcast එකක් මුල සිට අගට නරඹන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ තත්පර 15ක TikTok Video එකකින්, Instagram Reel එකකින් හෝ Caption එකකින් සංකීර්ණ දේශපාලන, ආර්ථික හෝ මනෝවිද්‍යාත්මක න්‍යායක් "සාරාංශ" කර ගැනීමයි.
Algorithm එක විසින් කතිකාව මෙහෙයවීම: අද සමාජ මාධ්‍ය සංවාදවල දී කෙනෙක් ප්‍රකාශයක් කරද්දී, ඔහු ඒ න්‍යාය පිළිබඳ පූර්ණ වීඩියෝවක් නරඹා නැත (Heard About / Skimmed). ඔහු ළඟ ඇත්තේ Algorithm එක මගින් ඔහුගේ Feed එකට තල්ලු කර දුන් තත්පර 15ක සාරාංශ කැබැල්ලක් (Clip) පමණි.
එනම්, 2026 දී බුද්ධිමය සංවාද සහ මතවාද මෙහෙයවන්නේ ගැඹුරු අධ්‍යයනයක් හෝ පූර්ණ අන්තර්ගතයක් මගින් නොවේ; Algorithm එක විසින් උඩට තල්ලු කර දෙන, මිනිසුන් පූර්ණ ලෙස නොබලන ලද තත්පර 15ක සාරාංශ කැබලි (Algorithm-driven Clips) මගිනි.
නිගමනය (Conclusion):
අපි සාමාන්‍යයෙන් හිතන්නේ පොතක් මුල සිට අගට නොකියවා ඒ ගැන කතා කිරීම, විවේචනය කිරීම හෝ සංවාද කිරීම ලොකු වරදක්, රැවටිල්ලක් නැත්නම් ලැජ්ජාවට කරුණක් කියලයි. එහෙත්, පියරේ බයාර්ඩ් පෙන්වා දෙන සැබෑ යථාර්ථය නම් සමාජයක් සංස්කෘතිකව සහ දේශපාලනිකව පැවැත්ම තහවුරු කරගන්නේම මෙන්න මේ "නොකියවූ අදහස්" සංසරණය වීම හරහා බවයි.
මෙතැනින් කියැවෙන ප්‍රධාන කාරණා 2ක් තිබේ:
1. නොකියවීම යනු සමාජීය ක්‍රමවේදය යි (Social Mechanism):
සමාජයක ඉන්න හැමෝටම සියලු ම න්‍යාය පොත්, ඉතිහාස පොත් හෝ දේශපාලන කෘති මුල සිට අගට කියවන්න බෑ. නමුත් ඒ පොත්වලින් සමාජයට එකතු වුණු අදහස්, වචන සහ සාරාංශ සංසරණය වීම නිසා මුළු සමාජයකට ම එකතු වෙලා කතා කරන්න "සම්ප්‍රදායක්" සහ "සංස්කෘතියක්" හැදෙනවා.
2. සංවාදය යනු Social Ritual එකකි (සමාජීය චාරිත්‍රයකි):
අපි නොකියවූ පොත් ගැන සමාජයේ දී කතා කරන්නේ පොතේ තියෙන සැබෑ අන්තර්ගතය හෝ පරම සත්‍යය සොයාගන්න නෙවෙයි. ඒ වෙනුවට "මමත් මේ සමාජයේ බුද්ධිමත්, වැදගත්, යමක් දන්නා කෙනෙක්" කියලා තමන් ගේ සමාජීය පංතිය, ප්‍රතිරූපය සහ බුද්ධිමය පැවැත්ම ආරක්ෂා කර ගැනීමටයි. ඒක හරියට සමාජයේ ඉහළ තැනක් තහවුරු කරගන්න අපි කරන චාරිත්‍රයක් (Social Ritual) වගේ දෙයකි.
එනම්, පොත් නොකියවා සංවාද කිරීම යනු පුද්ගලික මට්ටමේ අඩුපාඩුවක් නෙවෙයි; එය සමාජයක් ලෙස සංස්කෘතිය පවත්වා ගැනීමටත්, පුද්ගලයන් ලෙස තමන්ගේ බුද්ධිමය ප්‍රතිරූපය රැකගැනීමටත් අපි එකතු වී රඟපාන සමාජීය නාටකයකි (Social Ritual).
සටහන - Deepana Gunarathne
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
