මෙරට නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවා කාර්යක්ෂම හා විධිමත් කිරීම උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් සහ මග පෙන්වීම යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සුවිශේෂී වැඩපිළිවලක් මේ වන විට ක්‍රියාවට නංවා ඇත.
එම වැඩපිළිවෙල යටතේ මහනුවර ජාතික රෝහලේ රුපියල් මිලියන 570 ක (රු. 570,000,000.00) සම්පූර්ණ වටිනාකමකින් යුතු අතිනවීන වෛද්‍ය උපකරණ පද්ධති තුනක් නිල වශයෙන් රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක්කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි ගේ සහභාගීත්වයෙන් අද (15) සිදු කළේ ය.

ඒ අනූව අලුතින් පිහිටවූ නවීනතම තාක්ෂණයෙන් යුතු හෘද කැතීටර්කරණ රසායනාගාර ඒකකය (Cardiac Catheterization Laboratory) (රුපියල් මිලියන 200), මැමෝග්‍රැෆි අංශය (Mammography Unit)(රුපියල් මිලියන 180), සීටී පරීක්ෂණ අංශය (CT Scanner System) (රුපියල් මිලියන 190) ජනතා අයිතියට පත් කෙරිණි.
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම භෞතික සම්පත් සංවර්ධනය සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇත.

මහනුවර ජාතික රෝහලේ විකිරණ ප්‍රතිකාර සේවා සඳහා එක් වු දෙවන සීටි ස්කෑන් යන්ත්‍රය මෙය වන අතර, හෘද කැතීටකරණ රසායනාගාර ඒකක ද රෝහලට ලැබුණු දෙවන හෘද කැතීටර්කරණ රසායනාගාරය යි. දැනට මෙරට තිබෙන ඉහළම නවීන තාක්ෂණය සහිත මැමෝග්‍රැෆි යන්ත්‍ර 05න් එකක් අද දින රෝහලේ ස්ථාපිත විය.
ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 8000 කට වැඩි ප්‍රමාණයක්

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහනුවර ජාතික රෝහල මෙරට දෙවන ජාතික රෝහල ලෙස විශාල ජනතාවකට තෘතීයික සත්කාර සපයන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත පිළිකා රෝග ඒකකය, හදිසි අනතුරු ඒකකය ඇතූළු ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 8000 කට වැඩි ප්‍රමාණයක් වැය කරමින් මේ වනවිට සංවර්ධන ව්‍යාපෘති රැසක් සිදූ කරන බව පැවසී ය.
හෘද කැතීටර්කරණ ඒකක (Cath Labs) 16 ක් මෙම වසර තුළ මෙරට රෝහල් පද්ධතිය තුළ ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවත් ඒ යටතේ මහනුවර ජාතික රෝහලේ නව හෘද කැතීටර්කරණ රසායනාගාර ඒකකය ස්ථාපිත කෙරුණු බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.එමෙන්ම මෙරට බහුතරයක් රෝහල් අතරින් වැඩිම රෝගීන් පිරිසක් පොරොත්තු ලේඛණයේ සිටින බව සඳහන් වනුයේ මහනුවර ජාතික රෝහලේ බව ද පැවසී ය.
මෙරට සෞඛ්‍ය සේවාවේ පුනරුදයක්

මෙම නවීන උපකරණ සමග පවතින පොරොත්තු ලේඛණ අවසන් කර පරීක්ෂණ ප්‍රතිකාර සේවා මේ හරහා කාර්යක්ෂම කළ හැකි බවත්, මේ වන විට මෙරට සෞඛ්‍ය සේවාවේ පුනරුදයක් සිදූවන බවත්, සෞඛ්‍ය සේවාවේ මෙම පරිවර්ථනීය පුනරුදය දෙස විපක්ෂයේ පිරිස් ද සාධනීයව බලන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය.
ඇඳන් 2800 කින් පමණ සමන්විත මහනුවර ජාතික රෝහලෙහි රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවා වඩා කාර්යක්ෂම හා ඵලදායී අයුරින් ජනතාවට ලබාදීමට ඉහත නවීන තාක්ෂණික උපකරණ ස්ථාපිත කිරීම තුළ හැකියාව ලැබෙනු ඇත.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු, මහනුවර ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය එම්. එන්. වීරසූරිය, මහනුවර ජාතික රෝහලේ පරිපාලන නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව සිටියහ.
දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
