දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතිවල සහය වීමට ආයෝජන මණ්ඩලයෙන් පැය 24 පුරා සහයට වෙනම ඒකකයක් ආරම්භ කර ඇත.
මෙම ඒකකය ස්ථාපිත කර ඇත්තේ: ආනයන,අපනයන අනුමත කිරීම් සහ හානියට පත් අයිතම බැහැර කිරීම හෝ විනාශ කිරීම ඇතුළුව හදිසි සහ අත්‍යාවශ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමටත් කර්මාන්ත සහ සේවා යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවසායකයින් සඳහා අඛණ්ඩ සහ කඩිනම් සහාය ලබා දීම සඳහා ය.
දින හත ම පැය 24ක සේවාවක්
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුණේ 06 වන මහලේ පිහිටි ආයෝජක සේවා දෙපාර්තමේන්තුවේ මෙම 24×7 ඒකකයක ස්ථාපිත කර ඇත. සතියේ දින 7 දී පැය 24 පුරා මෙම ඒකකය මගින් සේවා සැපයීම සිදු කරනු ලබයි.
දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ පරිමාණයේ ජාතික ව්‍යසනයකට මුහුණ දීමට සිදු වී ඇත. එමගින් ආර්ථිකයේ විවිධ අංශ හරහා දැඩි ආර්ථික බාධා ඇති විය. කාර්මික මෙහෙයුම්, සැපයුම් දාම සහ අපනයන මූලික කරගත් කර්මාන්ත විශාල ප්‍රමාණයකට දිට්වා හේතුවෙක් දැඩි බලපෑමක් එල්ල වී ඇත.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) ලියාපදිංචි ව්‍යවසායකයින්හට සිදුව ඇති හානියේ ප්‍රමාණය තක්සේරු කිරීම සහ කඩිනම් සහන ලබාදීම කෙරෙහි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අවධානය යොමු වී ඇත.
ආයෝජන මණ්ඩලය දත්ත රැස් කරමින්...
සුළි කුණාටුව ආශ්‍රිතව සිදු වූ හානිවලින් යථා තත්ත්වයට පත් වීමට සහය වීම සහ නිෂ්පාදන හා අපනයන කටයුතු ඉක්මනින් යථාවත් කිරීම සඳහා සහය වීම ප්‍රමුඛ කාර්යය වී ඇත. ඒ සදහා බලපෑමට ලක් වූ ව්‍යවසායකයින් සම්බන්ධයෙන් පුළුල් ඇගයීමක් සිදු කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කටයුතු කරමින් සිටී. මූලික පියවරක් ලෙස, සිදු වූ පාඩුවල ප්‍රමාණය සහ ස්වභාවය තීරණය කිරීම සඳහා ආයෝජන මණ්ඩලය, සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ව්‍යවසායකයින් ගේ සවිස්තරාත්මක දත්ත රැස් කරමින් පවතී.
මෙම ක්‍රියාවලිය තව දුරටත් ක්‍රියාත්මක කරමින් දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වු කර්මාන්ත තක්සේරු කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. පසුගිය 19 දා කොළඹ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැති මෙම වැඩසටහන සදහා විවිධ අංශයේ කර්මාන්ත නියෝජනය කරමින් නියෝජිතයින් 36 දෙනෙකු සහභාගි වූහ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන තුළින් හානියට පත් කර්මාන්තවල දේපළ, යන්ත්‍රෝපකරණ, උපකරණ සහ තීරණාත්මක මෙහෙයුම් යටිතල පහසුකම්වලට සිදු වූ හානිය පිළිබඳව ආයෝජන මණ්ඩලයට සෘජුවම අවබෝධයක් ලබා ගැනීමට සහ ආයෝජන මණ්ඩලයට ලබා දිය හැකි සහාය පිළිබදව මූලික මැදිහත් වීම සිදු කිරීමයි.
පසුබෑම් ජය ගැනීම සඳහා ව්‍යවසායකයින්ට සහය වෙනවා
මෙහි දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් පැවසුවේ මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ බලපෑමට ලක් වූ කර්මාන්ත නැවත යථා තත්ත්වයට පැමිණීමට සහය වීම ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා සියලු පාර්ශවවල සහය ලබා ගනිමින් කඩිනම් වැඩපිළිවලක් ක්‍රියාවට නංවන බව යි.
සුළි කුණාටුව නිසා ඇති වූ පසුබෑම් ජය ගැනීම, මෙහෙයුම් යථා තත්ත්වයට පත් කිරීම සහ යථා තත්ත්වයට පත්වීම කරා ඉදිරියට යාම සඳහා ව්‍යවසායකයින් හට සහය වීම ඇතුළු සියලු කාර්ය සඳහා ආයෝජන මණ්ඩලය හැකි සෑම පියවරක් ම ගන්නා බව ඔහු තවදුරටත් අවධාරණය කළේ ය.
ව්‍යාපාරවලට ඔවුන්ගේ අත්දැකීම්, අභියෝග සහ ක්ෂණික අවශ්‍යතා බෙදා ගැනීමට සාකච්ඡා ඉතා වැදගත් වේදිකාවක් සැපයී ය. ඵලදායී ප්‍රතිසාධන උපාය මාර්ග සංවර්ධනය කිරීම, හැකි සහන පියවර හඳුනාගැනීම සහ ආයෝජන මණ්ඩලය සහ අනෙකුත් රජයේ සංවිධාන අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ හැකියා ගවේෂණය කිරීම සඳහා මෙම හුවමාරුව වැදගත් පියවරක් සනිටුහන් කළේ ය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් ඇතුළු නිළධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය.
(සටහන - ජේ.මුණසිංහ)


