Language Switcher

V2025

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා - BOC තුරුණු දිරියෙන් නැගෙනහිර පළාත තුළ විශිෂ්ට ප්‍ර‍ගතියක් !

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය මගින් මාර්තු මස 01 වැනි දින වන විට නැගෙනහිර පළාත තුළ අම්පාර දිස්ත්‍රික්කයෙන් ව්‍යවසායක ණය 34ක් ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 11ක් ද මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 22ක් ද නිකුත් කර ඇත.

නැගෙනහිර පළාත තුළ මෙයට පෙර පැවැත් වූ ප්‍ර‍ගති සමාලෝචන කමිටුවේ දී අම්පාර දිස්ත්‍රික්කයෙන් ව්‍යවසායක ණය 08ක් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 02 ක් ලෙස වාර්තා වූ අතර මඩකලපුව දිස්ත්‍රික්කයෙන් කිසිදු ණය වාරිකයක් නිකුත් කර නොතිබුණි.

මාර්තු මස 01 වැනි දින මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් වූ BOC තුරුණු දිරිය - නැගෙනහිර පළාත් දෙවන ප්‍ර‍ගති සමාලෝචන කමිටුවේ දී මෙම තොරතුරු අනාවරණය විය.

ජාතික ප්‍ර‍තිපත්ති, ආර්ථික කටයුතු, නැවැත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයේ ප්‍ර‍ධානි සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තෙ මැතිතුමන් විසින් මෙම ප්‍ර‍ගති සමාලෝචන කමිටුවේ මූලාසනය හොබ වූ අතර නැගෙනහිර පළාතේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි නම් කළ නිලධාරීන්, දිස්ත්‍රික් පරිපාලන නිලධාරීන් ඇතුළුව නැගෙනහිර පළාත් ප්‍ර‍ධාන ලේකම් කාර්යාලය, මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍ර‍තිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික තරුණසේවා සභාව, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ආදී ආයතන නියෝජනය කරමින් නිලධාරීහූ රැසක් මේ සදහා සහභාගී වූහ.

විශේෂ ආරාධනාවක් මත මඩකලපුව ගොවි සංගමයේ සභාපති එන්.සුන්දරේශන් මහතා ද මෙම කමිටුවට සහභාගී වී ඔහුගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලදී. ණය යෝජනා වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී සහභාගී වූවන් ප්‍රායෝගිකව මුහුණපාන ගැටළු සහ ඒවාට විසදුම් යෝජනාදිය පිළිබදව මෙම කමිටුවේ දී සාකච්ඡා කරන ලදී.

එමෙන්ම 2019 මැයි මස පැවැත්වීමට නියමිත මීළග පළාත් ප්‍ර‍ගති සමාලෝචන කමිටුවට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් හි නම් කළ නිලධාරීන් විසින් ලංකා බැංකු ශාඛා කළමනාකරුවන් සමග එක්ව ඉලක්කගත ව්‍යවසායක ණය නිකුත් කිරීම් ප්‍ර‍මාණයක් සපුරා ගැනීමට කටයුතු කිරීමට ද මෙහි දී එකග විය.

තව ද තුරුණු දිරිය සම්බන්ධයෙන් ඇගයීමක් කරන ලෙස මූලාසනයේ කටයුතු කළ චරිත රත්වත්තෙ මහතා විසින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු එම්.එල්.ඒ. එම් හිස්බුල්ලා මැතිතුමාගෙන් සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් එම්. උදයකුමාර් මහතාගෙන් ඉල්ලීමක් ද සිදු කළේය. මූලාසනය විසින් සහභාගී වූ සියළු පාර්ශවයන්ට ඔවුන්ගේ වටිනා දායකත්වය සම්බන්ධයෙන් ස්තූති කිරීමෙන් පසුව කමිටුව විසිර ගියහ.

තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය රටේ තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අරමුණ කරගෙන ලංකා බැංකුව සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍ර‍තිපත්ති සංවර්ධන කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර එමගින් වයස 40ට අඩු, උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැලි සිටින, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් අනුමත කළ ව්‍යාපාර සැලසුමක් සහිත තරුණ ව්‍යවසායකයින් උදෙසා සුරැකුම්/ ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව, අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබා දෙයි.

මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන එන්ටර්ප්‍ර‍යිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලංකා බැංකුව විසින් තරුණ ව්‍යවසායිකයින් උදෙසා තිරසාර බලපෑමක් සිදු කරමින් මේ වන විට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි තුරුණු දිරිය ව්‍යවසායක ණය 583ක් නිකුත් කර ඇත. එමෙන්ම මෙම ව්‍යවසායකයින් අතර 62%ක ප්‍ර‍තිශතයක් තරුණ කාන්තා ව්‍යවසායිකාවන් වීම ද සුවිශේෂි වේ.