Language Switcher

V2025

ඉතිරි තැන්පතුවලින් 50%ක් ගෙවන්න ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් 13 සිට විවෘතයි

තෙමසක සීමිත කාල සීමාවක් තුළ ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනය නාමික ව නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව එම ආයතනය 2021 ජනවාරි 13 සිට 2021 අප්‍රේල් 12 දක්වා තෙමසක කාලයක් සඳහා විවෘත කිරීමට නියමිතය. 

මහජනතාවගේ සහ එම ආයතනයේ තැන්පත්කරුවන්ගේ යහපත සඳහා දැඩි කොන්දේසිවලට යටත් ව, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(5)(අ) වන වගන්තිය ප්‍රකාර ව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම අනුමැතිය ලබාදී තිබේ.

මුදල් මණ්ඩලය විසින් පත් කරන ලද කළමනාකරණ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ එම ආයතනයේ ඇති ඉතිරි තැන්පතුවලින් සියයට 50ක ප්‍රමාණයක් ආපසු ගෙවීම (ආපසු ගෙවීමේ සැලැස්ම) සඳහා පමණක් ඉන් අවසර ලැබේ. 

මේ අතර, ඊටීඅයි ෆයිනෑන්ස් සමාගම වසා දැමීම සඳහා සුදුසු අධිකරණයකට ඉල්ලුම් පත්‍රයක් යොමු කිරීමට පියවරගන්නා ලෙස බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දීමට මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

එම සමාගම මුහුණදුන් මූල්‍ය අර්බුද සහ එය යථා තත්ත්වයට පත්කිරීමට සුදුසු සැලැස්මක් නොතිබූ හෙයින් එම සමාගමේ ව්‍යාපාර කටයුතු 2020 ජුලි 13 වනදා සිට අත්හිටුවීමට පියවර ගැනුණි.

අධ්‍යක්ෂවරුන් තවදුරටත් බන්ධනාගාරයේ !

මේ අතර ඊ.ටී.අයි සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් සිව්දෙනා එළඹෙන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කර ඇත.

ඒ ETI මූල්‍ය ආයතනයේ සිදු වූ බව කියන මුදල් වංචා චෝදනා සම්බන්ධ නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ යළි කැඳවනු ලැබු අවස්ථාවේ දීය.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව මේ වන විට කළුතර සහ වැලිකඩ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටින ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්  කොවිඩ් අවධානම හේතුවෙන්  අද නඩු වාරයට කැඳවා තිබුණේ නැත.