Language Switcher

V2025

F & G තැම්පත්කරුවන්ට ‍යළිත් බාල්දියක් !

සෙලින්කෝ සමාගම් සමූහය යටතේ පැවති දේපළ සංවර්ධන සහ දේපළ වෙළඳාම් ව්‍යාපාරික කටයුතු වල නිරත වන ප්‍රධාන පෙළේ සමාගම් ද්විත්වයක් වන F & G Real Estate Co. Ltd සහ F & G Property Developers (pvt) Ltd යන සමාගම් ද්විත්වයේ මුදල් තැන්පතුකරුවන්ට වසර 13කට පමණ පසුව යම් හෝ සාධාරණයක් ඉටුවීමට නියමිතව තිබියදී එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් වෙතින් එල්ල වන බලපෑම් හමුවේ මේ සඳහා සාධාරණයක් ඉටුවීම දිනෙන් දින කල් යන තත්වයක් උදාවී ඇත.

මේ බව සඳහන් කරමින් එහි තැම්පත්කරුවන්ගේ සංගමයේ සභාපති සී. කල්දේරා විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි මෙසේද දැක්වෙයි.

2008 වසරේදී සෙලින්කෝ සමාගම් සමූහයේ සිදුවූ හදිසි කඬාවැටීමත් සමඟ පෙර කී සමාගම් ද්විත්වයේ මුදල් තැන්පත් කර තිබූ තැන්පත්කරුවන් 4200කගේ රුපියල් බිලියන 07 කට අධික මුදල් ආපසු ලබාගැනීමේ දරුණු අර්බුදයකට මුහුණපෑමට අපට සිදුවිය. මෙම අර්බුදයට විසඳුමක් බලාපොරොත්තුවෙන් 2009 වසරේදී අප විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ SCFර්‍R 317/2009 අංකය යටතේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන ලද අතර ගරු අධිකරණය විසින් F & G Real Estate Co. Ltd සහ F & G Property Deveopers (pvt) Ltd යන සමාගම් ද්විත්වය සතු වත්කම් කළමනාකරණය කිරීම සදහා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරන ලදි.

මෙම අධ්‍යක්ෂ මණ්ඩලය රොෂාන් ප්‍රනාන්දු, ලයනල් කටුවාවල, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, හිටපු යුධ හමුදා නිලධාරී රංජන් ද සිල්වා සහ මහා භාන්ඩාගාරයේ හිටපු ලේකම් ඩික්සන් නිලවීර යන මහත්වරුන්ගෙන් සමන්විත විය. ඔවුනට මෙම සමාගම් සතුව පැවති වත්කම් දෛනික ව්‍යාපාරික මෙහෙයුම් පවත්වාගෙන යමින් කළමනාකරණය කිරීමේ වගකීම පවරා දෙන ලදි.

2013 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මිය විසින් මෙම සමාගම් ද්විත්වයේ වත්කම් සහ වගකීම් නිසි ලෙස කළමනාකරණය කල හැකි, ඒ සදහා කැමැත්තක් දක්වන ආයෝජකයෙකු සොයා මෙම සමාගම් ද්විත්වයෙහි වගකීම ඔවුනට පැවරීම සදහා පියවර ගන්නා ලෙස ස්වාධීන තැන්පත්කරුවන්ගේ සංගමයට නියම කරන ලදි.

ඉන් අනතුරුව මෙම සමාගම් ද්විත්වය අත්පත් කරගැනීම සදහා පාර්ශව කිහිපයක් අවස්ථා කිහිපයකදී උත්සාහ කලද ඒ සදහා ඔවුන් විසින් ඉදිරිපත් කල ආයෝජන සැලසුම් කිසිවක් ඵලදායී ඒවා බවට පෙනීගියේ නැත. අනතුරුව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා මහබැංකුව, පලපුරුදු සහිත අන්තර්ජාතික මූල්‍ය කළමනාකරණ සමාගමක් වන KPMG සමාගමේ උපදේශක සහායද ඇතුව සුදුසු ආයෝජකයෙකු තේරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් දියත් කල අතර මේ සඳහා යෝජනා ඉදිරිපත් කල සමාගම්වල තාක්ෂණික සහ මූල්‍ය ශක්තිය සළකා බැලීමෙන් පසුව ZRA Holdings (Pvt) Ltd විසින් ඉදිරිපත් කල යෝජනාව වැඩිම ඵලදායිතාවයක් සහිත යෝජනාව ලෙස පිළිගන්නා ලදි. මෙම යෝජනාව අනුව රුපියල් මිලියන 500ක මුදලක් ආයෝජනය කරමින් මෙම සමාගම් ද්විත්වය ZRA Holdings (Pvt) Ltd නමින් අලුතින් පිහිටවූ සමාගමක් යටතට පත් කොට සියලූම තැන්පතුකරුවන්ට සාධාරණයක් ඉටුවන පරිදි ව්‍යාපාරික කටයුතු කළමනාකරණය කරගෙන යාම සදහා විධිමත් සැලසුමක් ඉදිරිපත් කරන ලදි.

F & G Property Deveopers (pvt) Ltd සමාගමේ තැන්පත්කරුවන් සඳහා තැන්පත් කල මුදලින් 51% මුදලිනුත්, ඉතිරි 49% සඳහා ජන්ද බලය රහිත කොටස් හිමිකමත් ප්‍රධානය කෙරෙන අතර , F & G Real Estate Co. Ltd සමාගමේ තැන්පතුකරුවන්ගේ මුදල් 61%ක් මුදලිනුත්, ඉතිරි 39% ජන්ද බලය රහිත කොටස් හිමිකම් ලබාදීමෙනුත් පියවීමට යෝජනා කරන ලදි. තැන්පත්කරුවන් සදහා ගෙවිය යුතු මුදල් වසර දෙකක කාලයක් තුලදී ගෙවා අවසන් කිරීමට එමගින් සැලසුම් කර තිබුණි.

ඒ අනුව මෙම පරිවර්තනය සිදුකිරීම සදහා 2021 මාර්තු මස 24 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය සිය අවසරය ප්‍රදානය කල අතර මෙම සමාගම් ද්විත්වය කළමනාකරණය කිරීම සදහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත්කල අධ්‍යක්ෂ මණ්ඩලය සහ ZRA Holdings (Pvt) Ltd සමාගම මෙම ආයෝජන ගිවිසුමට 2021 අප්‍රේල් මස 30 වන දින අත්සන් කරන ලදි. එම ගිවිසුම ප්‍රකාරව දින 60ක කාලයක් තුලදී රුපියල් මිලියන 500ක මුදලට අදාළව පෙර සමාගම් ද්විත්වයෙන් නව කොටස් නිකුතුව සිදුකල යුතු අතර එම කොටස් මිලදී ගැනීමෙන් පසුව ZRA Holdings (Pvt) Ltd සමාගම පෙරකී සමාගම් ද්විත්වයේ ප්‍රධාන කොටස් හිමියා වශයෙන් මෙහෙයුම් ක්‍රියාවලියට සම්බන්ධ වේ. අනතුරුව අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙක් සහ ZRA Holdings (Pvt) Ltd සමාගමේ නියෝජිත අධ්‍යක්ෂකවරුන් විසින් විසින් කළමනාකරණ කටයුතු සිදුකරන අතර සියලු තැන්පත්කරුවන්ගේ ගෙවීම් පියවීමෙන් අනතුරුව භාරකාර මණ්ඩලය ක්‍රමිකව සිය රාජකාරිවලින් බැහැරව නව කළමනාකරණයට මෙම ව්‍යාපාර කටයුතු භාර දිය යුතුය

මෙම ආයෝජන ක්‍රියාවලියේ දෙවන පියවර ලෙස ආයෝජක සමාගමට කොටස් නිකුත් කිරීම සඳහා F & G Property Deveopers (pv) Ltd සමාගමේ කොටස්කරුවන්ගේ සහ භාරකාර අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීමක් 2021 ජූලි මස 30 දින පැවති අතර එදිනට ZRA Holdings (Pvt) Ltd සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් ගිවිසුම් ප්‍රකාරව රුපියල් මිලියන 500ක බැංකු අණකර ඉදිරිපත්කර තිබුණි. නමුත් මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට පහත නම් සඳහන් කොටස්කරුවන්/ අධ්‍යක්ෂකවරුන් හා අධ්‍යක්ෂවරුන්, ඔවුන්ගේ අනුමැතියලත් නියෝජිතයින් විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර මේ සඳහා අනුමැතිය ලබාදීමට සලකා බැලීමට වෙනත් දිනයක් ඔවුන් විසින් යෝජනා කරන ලදි.

එම පිරිස නම්,

  • ලලිත් කොතලාවල
  • කේ.ඒ.එස් ජයතිස්ස
  • මර්වින් ජයසිංහ
  • මාලනී සභාරත්නම්

මෙමඟින් ආයෝජකයා හට රුපියල් මිලියන 500ක කොටස් නිකුත් කිරීම හරහා මෙම ක්‍රියාවලියට ඇතුලත්වීම සදහා වන එකඟත්වය වළක්වාලන ලදි. මෙහිදී කොටස්කරුවන්ගේ තර්කය වූයේ ඔවුන් මෙම ආයෝජන ගිවිසුම පිළිබඳව කිසිවක් නොදන්නා බවයි. ඔවුන්ගේ මෙම ආකල්පය ඉතාම හාස්‍යජනක වන්නේ ඔවුන් පෙරකී ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ පාර්ශවකරුවන් වන හෙයින් සහ 2021 මාර්තු 24 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පිළිබඳව නිකුත් කල අවසන් තීන්දුව සඳහා අදාළ සියලු පාර්ශවයන් වන ශ්‍රී ලංකා මහ බැංකුව, නීතිපති දෙපාර්තමේන්තුව, තැන්පතුකරුවන්ගේ සංගම්, සමාගම් ද්විත්වයේ කොටස්කරුවන් සහ අධ්‍යක්ෂවරුන් විසින් ඔවුන්ගේ නීතීඥයින් මඟින් ඉහත කී ආයෝජන ගිවිසුමට හා ආයෝජන ක්‍රියාවලියට ඔවුන්ගේ එකඟතාවය/අනුමැතිය ලබාදී තිබීමයි. තවද කොටස්කරුවන්/ අධ්‍යක්ෂවරුන් හට මේ පිළිබඳව විරෝධතාවයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීමට අවශ්‍යව තිබුණේ නම්, ඔවුන් එය කල යුතුව තිබුණේ අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර වන අතර මේ අවස්ථාවේදී ඒ සඳහා කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැත.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මඟින් බලය ලබාදී ඇති මෙම ආයෝජන ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට බාධා පැමිණවීම සහ එය ප්‍රමාද කිරීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැළකිය හැක.

තවද කල් දමන ලද කොටස්කරුවන්ගේ සහ භාරකාර අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්වීමක් 2021 නොවැම්බර් 02 දිනට යොදාගෙන ඇති අතර දැනාමත් කොටස්කරුවන් විසින් ඉල්ලා ඇති පරිදි අදාළ සියලුම ලිපි ලේඛන දැනටමත් ඔවුන් වෙත යොමුකර ඇත. මෙම රැස්වීමේදී අධිකරණය විසින් අනුමත කරන ලද ක්‍රියාමාර්ගයට සහය දැක්වීම සඳහා සමාගමේ සමහර කොටස්කරුවන් දැනටමත් කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර අනිත් කොටස්කරුවන්ගේ තීරණ මේ වනවිටත් අවිනිශ්චිත තත්වයේ පවතී.

ඉහත කරුණු අනුව විවිධ පාර්ශවයන්ගේ බාධා කිරීම් හමුවේ තැන්පත්කරුවන් හට සහන සැලසීමේ ක්‍රියාවලියේ ඉදිරි ගමන 2021 න්වැම්බර් 02 දින කොටස්කරුවන්ගේ තීරණය මත රැදී පවතින අතර තමන්ට සාධාරණයක් වනතුරු තැන්පත්කරුවන් විමසිල්ලෙන් බලා සිටියි.

සී. කල්දේරා

සභාපති