Language Switcher

V2025

ඉස්සරහට උද්ධමනය 70% ට යයි : මිලියන 6කට ඊළඟ ආහාර වේල ප්‍රශ්නයක් !

ඉදිරි මාස කිහිපයක් තුළ මෙරට උද්ධමනය 70% ක් දක්වා ඉහළ යාහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි .

එය සැලකිල්ලට ගනිමින් මුදල් ප්‍රතිපත්ති දැඩිකර ඇති බවත් ඔහු පවසයි .

මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (07) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

"ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමා තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 14.5 යි බිංදුවක් දක්වා ඉහළ දමා ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 15.50ක් ලෙස ඉහළ දමා තිබෙනවා. " යැයිද එහිදී ඔහු පැවසීය .

මිලියන 6.26 කට ඊළඟ ආහාර වේල ප්‍රශ්නයක් !

මේ අතර ඉදිරි මාස කිහිපයක් තුළ මෙරට මිලියන 6.26ක් ජනතාව හෝ නිවාස 10 කින් 03 ක් ඊළඟ ආහාර වේල සම්බන්ධයෙන් අවිනිෂ්චිතභාවයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන පවසා ඇත .

ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ,
ආහාර උද්ධමනය ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම සහ භාණ්ඩ හිඟය එම තත්ත්වයට හේතු විය හැකි බවය .

මෙරට ජනතාවගෙන් සියයට 61 ක් පමණ පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය ද අඩු කර ඇති බව එම වාර්තාවේ සඳහන් වෙයි .

ඒ අනුව පෝෂදායී ආහාර අනුභවය ද අඩුවී තිබෙන බවත් එහි සඳහන් ය.

මේ වන විට දැඩි අවධානමකට ලක්ව සිටින පවුල් සංඛ්‍යාව ලක්ෂ 02 ක් පමණ වන අතර එලෙස අවධානමකට ලක්වන පිරිස ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවත් නිවේදනය හරහා ලෝක ආහාර වැඩසටහන පෙන්වාදී ඇත.

පවතින තත්ත්වය හමුවේ ගර්භණී කාන්තාවන් ද පෝෂදායී ආහාර අනුභව කිරීමෙන් වැළකී සිටීම හේතුවෙන් ඔවුන්ගේ සහ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ද අවධානමට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන සිය වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ .