Language Switcher

V2025

ලංකා - සිංගප්පූරු ගිවිසුම ගැන : ආර්ථික විද්‍යාඥ රිකාර්ඩෝ හවුස්මන් කතා කරයි!

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා සිංගප්පූරුවේ වෘත්තිකයන් මෙරටට පැමිණ මෙරට වෘත්තීයවේදීන්ගේ රැකියා අහිමිවනු ඇතැයි ඇති කරගෙන තිබෙන බිය පදනම් විරහිත එකක් බව ලොව ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන රිකාර්ඩෝ හවුස්මන් මහතා පසුගිය දා කොළඹ දී ප්‍රකාශ කළේය.

මේ ගිවිසුමෙන් වෘත්තිකයන්ට නිදහසේ මෙරටට පැමිණීමට අවස්ථා සලසා නැති බවත් එසේ සැලසුවද සිදුවිය හැක්කේ සිංගප්පූරුවෙන් මෙරටට පැමිණීම නොව මෙරටින් එරටට යාම බව ද හවුස්මන් මහතා පැවැසීය. සිංගප්පූරුවේ වෘත්තිකයන්ගේ වැටුප් මට්ටම් ශ්‍රී ලංකාවට වඩා ඉහළ බව පෙන්වා දුන් ඒ මහතා, ඔවුන්ට මෙරටට පැමිණීමට දිරිගැන්වීමක් නැති බව ද කීවේය.

ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් අඩු වැටුපට මෙරටට පැමිණීමේ අදහස් ගැන සඳහන් කළ මහාචාර්යවරයා කීවේ ඉන්දියාවේ වෙනත් වෘත්තීන්හි වැටුප් අඩු වුවද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ වැටුප් ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින බවයි. එම නිසා ඔවුන්ගේ පැමිණීම ගැන ඇත්තේ ද අස්ථාන බියක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ හාවර්ඩ් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයකු වන මහාචාර්ය රිකාර්ඩේ හවුස්මන් මහතා කෙනඩි රාජ්‍ය පාසලේ ආර්ථික සංවර්ධන ක්‍රියාමාර්ග අංශයේ මහාචාර්යවරයා ලෙස ද කටයුතු කරයි. ඇඩ්වකාචාන් මත සම්පාදන ආයතනය විසින් පසුගිය බදාදා කොළඹ දී සංවිධානය කර තිබූ දේශනයක් අවසානයේ සභාවෙන් නැඟුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හවුස්මන් මහතා ඉහත අදහස් ප්‍රකාශ කළේය.

සිය දේශනයේ දී ඒ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ විදේශීය වෘත්තිකයන්ට මෙරටට සංක්‍රමණයවීමට අවස්ථාව දීම නොව එම අවස්ථා සීමාකර තිබීම බවයි. විදේශික සංක්‍රමණික වෘත්තිකයන් දේශීය වෙළෙඳ පොළට ඇතුළුවීම නිසා දේශීය වශයෙන් රැකියා වියුක්තිය ඇති වනු ඇතැයි හා වැටුප් පහත වැටෙනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළ ද සැබැවින්ම සිදුවන්නේ රැකියා සුලභවීම හා වැටුප් ඉහළ යාම බව ජාත්‍යන්තර අත්දැකීම් උපුටා දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේය.

සංවර්ධනයේ ඉදිරියට යාමට නම් අපගේ අපනයන විවිධාංගීකරණය කරමින් එයට තව තවත් භාණ්ඩ එක් කළ යුතු යැයි කී මහාචාර්යවරයා එය කළ හැකි වන්නේ විවිධ වර්ගයේ කුසලතා ඇති වෘත්තිකයන් රට තුළට ගෙන්වා ගැනීමෙන් බව ද ‍පෙන්වා දුන්නේය. වෙනත් රටවල මෙන් මෙබඳු වෘත්තිකයන් ගෙන්වා ගැනීම සඳහා අප රටේ ද නිත්‍ය පදිංචිය හා පුරවැසිභාවය ලබාදීමේ ක්‍රම හා නීති රීති අලුතින් සැකසිය යුතු බව ද ඒ මහතා කීය.

ජාත්‍යන්තර අත්දැකීම් උපුටා දක්වමින් මහාචාර්යවරයා කීවේ ඇල්බේනියාවෙන් ග්‍රීසියට ගොස් රැකියා කළ ජනයා ග්‍රීසියේ ඇති වූ ප්‍රශ්න නිසා ආපසු පැමිණි විට එරටේ රැකියා විරහිතභාවය වැඩිවී වැටුප් පහළ වැටෙනු ඇතැයි බොහෝ දෙනා සිතා සිටි බවයි. එහි දී සිදු වූයේ රැකියා අවස්ථා වර්ධනය වී වැටුප් ද ඉහළ යාමය. ලොව සෑම රටකම අත්දැකීම් එසේම බව මහාචාර්ය හවුස්මාන් මහතා පෙන්වා දුන්නේය.

අප ර‍ටේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයකු ගෙන්වා ගත්විට රට තුළ තවත් රැකියා තුනක් නිර්මාණය වනු ඇති බවට ගණන් බලා තිබෙන බවත්, අමෙරිකාවේ එය 2.6ක ප්‍රමාණයක් බවත් ඒ මහතා කීවේ මෙහි දී සිදුවන්නේ තේ වැඩියෙන් ගෙන්වන විට සීනි සඳහා ඉල්ලුම ඉහළ යාම වැනි ක්‍රියාවලියක් බවයි.

අප ඉන්න රට පවත්වාගෙන යන්න අප සතු කුසලතා ප්‍රමාණවත් වුවද අපට අවශ්‍ය රට ගොඩනැඟීමට ඒවා ප්‍රමාණවත් නැති බව තේරුම් ගෙන සංක්‍රමණික වෘත්තිකයන්ට ඉඩ සැලසීමට මෙන්ම මෙරටින් පිටව ගොස් සිටින ඩයස්පෝරාවේ පිරිස් නැවත ගෙන්වා ගැනීමට ද කටයුතු කළ යුතු බව මහාචාර්ය රිකාර්ඩේ හවුස්මන් මහතා පෙන්වා දුන්නේය.
මූලෝපායික අධ්‍යයනයන් පිළිබඳ කදිර්ගාමර් මධ්‍යස්ථානයේ දී මහාචාර්ය රිකාර්ඩේ හවුස්මන් මහතා කළ සම්පූර්ණ දේශනය අන්තර්ජාලයේ යූ ටියුබ් මඟින් නැරැඹිය හැකිය.

සී. ජේ. අමරතුංග