Language Switcher

V2025

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 252ක ණයක්

ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්යසාධනය සම්බන්ධයෙන් සිව්වැනි නිරීක්ෂණය අවසන් කරමින් මෙරටට එක්සත් ජනපද ඩොලර් මිලියන 252ක ණය වාරික මුදලක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්ය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සිව්වැනි නිරීක්ෂණ සාකච්ඡාව සිකුරාදා (1) පවත්වන ලදි. 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2016 වසරේ ජූනි 3 වැනිදා ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබාදීම තීරණය කළේය. මේ වනවිට එයින් එක්සත් ජනපද ඩොලර් මිලියන 1,014ක් ශ්‍රී ලංකාවට මුදා හැර තිබේ. 

සිව්වැනි නිරීක්ෂණය අවසන් කරමින් “රටේ රාජ්‍ය ණය ප්‍රමාණය අතිවිශාල බැවින් සහ විදෙස් අවරෝධකය පහත මට්ටමක තිබෙන බැවින් කම්පනවලට මුහුණ දීමට නම් අඛණ්ඩව ප්‍රතිසංස්කරණ කළ යුතුයි. එමෙන්ම ශක්තිමත් සහ සියලු පාර්ශවවල සහභාගීත්වය සහිත වර්ධනයක් උදෙසා පදනම දැමීමට නම් අඛණ්ඩව ප්‍රතිසංස්කරණ කළ යුතු” යැයි එම නිවේදනය නිකුත් කරමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩබලන කළමනාකරණ අධ්‍යක්ෂ මිට්සුහිරෝ ෆුරුසාවා පෙන්වාදී ඇත. 

එසේම අයවැය ඒකග්‍රතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රගතියක් පෙන්නුම් කර ඇති නමුත් ආර්ථික වර්ධනය උදෙසා ප්‍රතිසංස්කරණ කරමින් අදාළ පියවර ගත යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වාදී තිබේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට මැදිහත්වීමට හේතුවුයේ ඇයි දැයි යන්න ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි  වැඩසටහනකට එක්වෙමින් මේසේ අනාවරණය කර ඇත.

“මේ වසරේදි දල දේශිය නිෂ්පාදනය සියයට 2.1 ක අගයක් පවත්වාගෙන යාමට බලාපොරොත්තුවෙනවා. සංචිත පැත්තෙන් බැලුවොත් මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 8.7 ක ප්‍රමාණයක් තිබෙනවා. ඊළඟ සති කිහිපය තුලදි තවත් මුදල් ප්‍රමාණයක් ලැබිමට නියමිතයි. හම්බන්තොට දිගු කාලින බදු අවසන් වාරිකය වන අමෙරිකානු ඩොලර් මිලියන 585 ක් සහ රජය විසින් චීන සංවර්ධන බැංකුවෙන් ලබාගන්නා ඩොලර් බිලියනක ණය මුදලත් සමග බිලියන ගණනක මුදල් ලැබිමට නියමිතයි.

තවදුරටත් අමෙරිකානු ඩොලර් මිලියන 250 ක මුදලක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා ලැබිමට නියමිතයි. ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන දෙකකට ආසන්න මුදලක් ඊළඟ සති කිහිපයේදි  හිමිවනවා. ඒ අනුව වසර අවසානයේදී අප විසින් අමෙරිකානු ඩොලර් බිලියන 9.5 ක සංචිතයක් අප වෙත හිමිවිමට නියමිතයි. 

එය ඇත්තටම නරක තත්ත්වයක් නොවේ නමුත් මිට වඩා හොදවෙන්න තිබුණා. මන්ද අපිට වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 3.9 ක ණය ගෙවිමක් කරන්න තිබෙනවා. ඉදිරි වර්ෂ  හතර පහක කාලයේදී. ඒ නිසා අපිට අපගේ සංචිත හැසිරවිමේදී ඉතා පරීක්ෂාවෙන් සංයමයකින් යුතුව කළ යුතුවනවා. හැමකෙනාම කියන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මේ සියල්ල පනවනවා කියලා. 

මම මේ දේ ඔබට කිව යුතුයි. ආසියානු පැසිෆික් කලාපය තුල රටවල් දෙකක පමණයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. ඒ මොංගෝලියාව සහ ශ්‍රී ලංකාවයි.ජාත්‍යන්තර මුදල මැදිහත්වන්නේ අර්බුදකාරි තත්ත්වයක් හටගත් විටයි. අප සියල්ල අවුල් කරගෙන ඔවුන්ට බැණ වැදි පලක් නැහැ. මෙය අප විසින් අවබෝධකර ගත යුතුයි. ඔබට ජාත්‍යන්තර අරමුදලට මැදිහත්විමට සිදුවන්නේ ඔබේ මුල්‍ය කටයුතු නිසි පරිදි සිදුනොකිරිමෙන්. ඔවුන්ට බැණ වැදි පලක් නැහැ අපි අපටම බැණ වැදි සියල්ල නිවැරදි කරගත යුතුයි. “