Language Switcher

V2025

පුද්ගලික රෝහල්වල චැනල් ගාස්තු පහළට !

පුද්ගලික රෝහල්වල වෛද්‍යවරුන් චැනල් කිරීමේ දී රෝගීන්ගෙන් අය කළ හැකි උපරිම චැනල් ගාස්තුව රුපියල් 2,000 කට මේ වන විට සීමා කර ඇති බවත් වෛද්‍යවරයෙකු විසින් රෝගියෙක් පරීක්ෂා කළ යුතු අවම කාලසීමාව මිනිත්තු 10 ක් බවට තමන් විසින් නිර්දේශ කර ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න  පවසයි. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද  පැවසීය.

 “වෛද්‍යවරුන්ගේ ගාස්තුව යම් ප්‍රමාණයකට සීමා කරන්න, සියලුම පුද්ගලික රෝහල්වලට උපරිම මිලක් දාන්න මම කටයුතු කරනවා.“

මේ අතර පවතින බදු ප්‍රතිපත්තිවලට විරෝධය පා පුද්ගලික රෝහල්වල සේවාවලින් ඉවත් වීමට වෛද්‍යවරුන් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී අදහස් දැක්වීය.

“බදු තියෙන්නේ, තියෙන මිනිහගෙන් බදු ගහලා ඉදිරියේ දී තමුන්නාන්සේලාට එන වක්‍ර බදු අඩු කරලා දාන්න. ඒ වගේම සාමාන්‍ය වැට් අගය සියයට 2 කින් පමණ අඩු කරන්න. එය සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදමට විශාල සහනයක් ලැබෙනවා. ඒ බදු බර ගන්නවා ඉහළ පංතිය. කෙනෙක් මාසෙකට ලක්ෂ 3 ½ ක් හම්බු කළොත් තමයි සියයට 24 ට වැටෙන්නේ.“