Language Switcher

V2025

Bitcoin: ඩිජිටල්කරණය වූ මුදල් භාවිතය

ඩිජිටල් මුදල් (digital money/emoney), නැතහොත් ක්‍රිප්ටොකරන්සි (cryptocurrency) වර්ග අතර වර්තමානයේ ඉතා ප්‍රචලිතව තිබෙන බිට්කොයින් (Bitcoin), සාම්ප්‍රදායික මුදල් ඒකක වෙනුවට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම පිණිස පමණක් භාවිත කළ හැකි මුදල් වර්ගයකි.

මෙම මුදල් ඒකකය සම්පූර්ණයෙන්ම සංසරණය වන්නේ අන්තර්ජාලය තුළය. මෙය රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වැනි තවත් මුදල් ඒකකයක් වුව ද Bitcoin වල හැසිරීම පාලනය කිරීමට බැංකුවක්, පුද්ගලයෙක් හෝ ආයතනයක් නැත.

එය, දිනෙන් දින වැඩිවන මුදල් අවශ්‍යතා පාලනය කිරීම පිණිස නිර්මාණය කර ගන්නා ලද මුදල් ඒකකයකි. Bitcoin එයටම අනන්‍ය වූ ජාලයක් තුළ සැරිසරන අතර, මෙම මුදල් වර්ගය පරිහරණය කරනු ලබන්නේ එම ජාලයේ පරිශීලකයන් විසිනි.

ආරම්භ කළේ කවුද?

Bitcoin පිළිබඳව ප්‍රථම යෝජනාව ඉදිරිපත් කළ සතොෂි නකමොටෝ (Satoshi Nakamoto) නම් මෘදුකාංග ඉංජිනේරුවරයා, මෙය අන්තර්ජාලයෙන් ගනුදෙනු කළ හැකි මුදල් ඒකකයක් ලෙස 2009 වර්ෂයේදී හඳුන්වා දුන්නේය.

පාලනාධිකාරියකට යටත් නොවී මුදල් භාවිත කිරීම මෙහි මූලික අරමුණ විය. ඒ පිළිබඳව උනන්දුව දක්වන ලොව පරිගණක විද්‍යාඥයන් සහ තොරතුරු ආරක්ෂණ විශේෂඥයන් මෙය ක්‍රියාත්මක වන Bitcoin source codeජාලය පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසු වන බව වාර්තා වේ.

මෙය ව්‍යාපාරික ලෝකයේ නවතම ආයෝජන රැල්ල ලෙස ද හඳුන්වා දිය හැකිය.

Bitcoin මෘදුකාංග පිටපත් කළ නොහැකිද?

ලෝකයේ අවධානය දිනා ගත් මේ ඩිජිටල් මුදල් වර්ගය ඉතා සංකීර්ණ මෘදුකාංගයක් වීම හේතුවෙන් එය පිටපත් කිරීම සහ ව්‍යාජ ලෙස නිපදවීම කළ නොහැකි බව විශේෂඥයන්ගේ මතය වී තිබිණ.

එහෙත් පසුගිය සතියේ ස්ලෝවේනියානු Bitcoin ජාලයකට අනවසරයෙන් ඇතුළු වූ හැකරුන් Bitcoin 4,700 ක් සොරා ගෙන ඇති අතර එහි වටිනාකම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 80 ක් පමණ වන බවට වාර්තා වේ. මෙම මහා සොරකම මගින් Bitcoin වල වටිනාකම පහළ වැටිය හැකි බවට අනාවැකි පළ වුවත්, ඉන් අනතුරුවත් දිනෙන් දින එහි අගය ඉහළ යාම පිළිබඳව ලොව ආර්ථික විශේෂඥයෝ විශ්මය පළ කරති.

ගබඩා කරන්නේ කෙසේද?

එදිනෙදා සිදු කෙරෙන මූල්‍යමය ගනුදෙනු පිණිස අවශ්‍ය මුදල් අප බොහෝ විට රඳවා තබා ගන්නේ පසුම්බියකය. එම සරළ අදහස ඩිජිටල්කරණය වී, මෘදුකාංගයකින් නිර්මාණය කළ පසුම්බියක Bitcoinරඳවා තබා ගත හැකිය.

මෙය Bitcoin Wallet ලෙස හඳුන්වනු ලැබේ. එය 'ඇප්' (App) එකක් වන අතර එම Bitcoin Wallet සේවාවන් ලබා දෙන ආයතන සහ සංවිධාන මේ වන විට ලෝකය පුරා විශාල ප්‍රමාණයක් ආරම්භ කර තිබේ.

ඒ අතරින් සිය ආයෝජන සඳහා විශ්වසනීය ආයතනයක් තෝරා ගැනීම පාරිභෝගිකයා සතු වගකීමකි. කිසිවෙකු Bitcoin වලින් ගනුදෙනු කිරීම ආරම්භ කළ පසු ඒ සියලු ගනුදෙනු පිළිබඳ විස්තරාත්මක සටහන් මෙම Bitcoin Wallet හි සඳහන් වේ.

Bitcoin මිලදී ගන්නේ කෙසේ ද?

ක්‍රෙඩිට් කාඩ් පත භාවිත කරමින් Bitcoin මිලදී ගත හැකි වුවත්, මේ වන තුරු ශ්‍රී ලංකාවට එම පහසුකම ලබා දී නැත. මේ හේතුවෙන් ශ්‍රී ලාංකික ආයෝජකයෙකුට දැනට Bitcoinමිලදී ගත හැකි වන්නේ ඒවා හුවමාරු කරන (Exchange) ආයතනයක් හෝ සංවිධානයක් හරහා පමණි.

ඩිජිටල් මුදල් වලට ඇති ඉතා ඉහළ ඉල්ලුම හේතුවෙන් පැය ගණනක් ඇතුළත Bitcoinවල වටිනාකම ඉහළ ගිය අවස්ථා දැකිය හැකි විය. වරක් Bitcoin එකක මිල ඇමරිකානු ඩොලර් 18,000 ක් ලෙස වාර්තා වුවත් පසුව එම අගය නැවත ඇමරිකානු ඩොලර් 13,963 දක්වා පහත වැටී ඇති බව දකින්නට ලැබිණ.

Bitcoin ඒකකයක් සෑදී ඇත්තේ කුඩා කොටස් 100,000,000 කිනි. මෙය සත හෝ පැන්සවල එකතුවකින් ඉහළ අගයක් ඇති මුදලක් සෑදෙනවා හා සමානය.

මේ හේතුවෙන් Bitcoin ඉතා කුඩා ප්‍රමාණයක් පවා මිලදී ගැනීමේ හැකියාව ද තිබේ. කිසිවෙකුට මිලදී ගත හැකි කුඩාම Bitcoin ප්‍රමාණය 0.00000001 ක් වන අතර මෙම කුඩාම ඒකකය හඳුන්වනු ලබන්නේ Satoshi යන නමිනි.

එදිනෙදා ගනුදෙනු කළ හැකි ද?

තමන් මිලදී ගන්නා භාණ්ඩ හෝ සේවාවන්ට Bitcoin වලින් ගෙවීම් කළ හැකි ආයතන, අවන්හල් සහ වෙබ් අඩවි ගණනාවක් තිබෙන අතර දුරකථනය හෝ පරිගණකය භාවිත කර ගිණුම් අතර මුදල් මාරු කර (transfer) ඒ සඳහා ගෙවීම් කළ හැකිය.

Bitcoinවල විශේෂ ලක්ෂණ

•ඉතා සංකීර්ණ ඩිජිටල් තාක්ෂණික ක්‍රියාවලියක් වන Bitcoin miningහරහා Bitcoin නිර්මාණය කරන ආයතන හෝ පුද්ගලයන් හඳුන්වන්නේ Bitcoin miners යන නමිනි. Bitcoin source code හරහා පනවා ඇති සීමාවන්ට අනුව ලෝකයේ සංසරණය විය යුත්තේ මිලියන 21ක Bitcoin ප්‍රමාණයක් පමණය.

•Bitcoin කිසිම පුද්ගලයෙකුට, බැංකුවකට, ආයතනයකට හෝ සංවිධානයකට අයත් නොමැති වීම මෙහි ඇති විශේෂත්වයය.

•Bitcoin හි ප්‍රධාන ලෙජරය Block Chain නමින් හඳුන්වනු ලබන අතර එම ජාලය ඇතුළත සිදුවන සියලු ගනුදෙනු මෙම ලෙජරයේ ස්වයංක්‍රීයව සටහන් වේ. මේ හේතුවෙන් ලෝකයේ නන් දෙස සිදුවන Bitcoinගනුදෙනු එහි සිටින සියලු ආයෝජකයන්ට 100% ක්ම විවෘතව දැක ගත හැකිය. නමුත් Block Chain ලෙජරයේ තිබෙන ගිණුම් හිමියන්ගේ විස්තර කිසිදු ආකාරයකින් හෙළිදරවු නොවේ. අන්වර්ථ නාමයක් යටතේ වුවද Bitcoin ගිණුමක් පවත්වාගෙන යා හැකිය. මෙම ජාලය Bitcoin ගිණුම් හිමියන් හඳුනාගන්නේ එම මෘදුකාංගයට අනන්‍ය වූ විශේෂ ක්‍රමවේදයක් හරහාය.

•කිසිම මූල්‍ය ආයතනයක හෝ බැංකුවක සහාය නොමැතිව ලෝකයේ ඕනෑම රටකට ඕනෑම මුදල් ප්‍රමාණයක් සැණින් යැවීමේ හැකියාව Bitcoin වල තවත් සුවිශේෂි ලක්ෂණයකි. රටකින් රටකට මුදල් ගෙන්වා ගැනීමේදී හෝ මාරු කිරීමේදී අනුගමනය කරන සාමාන්‍ය ක්‍රම සහ නීති රීති Bitcoin ගනුදෙනු වලට අදාළ නොවේ. මේ හේතුවෙන් Bitcoinවලින් ගනුදෙනු කිරීමේදී කිසිවෙකුට සේවා ගාස්තු හෝ අතිරේක ගෙවීමක් සිදු කළ යුතු නොවේ.

•මේ ආකාරයෙන් Bitcoin වලින් සිදුවන ගනුදෙනුවක් ආපසු හැරවීමක් නැතහොත් නැවත ඉල්ලා ගැනීමක් කළ නොහැකිය. වැරදි Bitcoinප්‍රමාණයක් යම් අයකුට ලබා දුන්නේ නම් එම පුද්ගලයා සිය කැමැත්තෙන් නැවත එය ලබා දීමක දී හැර, අන් අවස්ථාවක දී පාඩුව දරා ගැනීමට සිදු වේ.

"වේගයෙන් ආරෝපණය වෙමින් තිරිංග නොමැතිව ධාවනය වන දුම්රියකට" සමාන කර ඇති Bitcoin හි ඉහළ යන අගය පිළිබඳ ලෝකයේ ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා ඇත.

එය වේගයෙන් පිම්බෙන බෝලයකට සමාන කරන සමහරු මෙම බෝලය කෙදිනක හෝ පිපිරීමකට ලක් වෙනු ඇතැයි සැක පහළ කරති.

මෙහි තිබෙන අවදානම නිසාම Bitcoin ආයෝජනය එක්තරා "සූදු කෙළියක්" ලෙසින් ද විග්‍රහ කෙරේ. මුදල් බිලියන ගණනක් මෙහි ආයෝජනය කර ඇති නමුත් Bitcoin ජාලයේ සම්පුර්ණ වටිනාකම වන ඇමරිකානු ඩොලර් බිලියන 268 ලෝක ආර්ථිකයත් සමග සංසන්දනය කිරීමේ දී ඉතා කුඩා අගයකි. එබැවින් කිසියම් අවස්ථාවකදී මෙය බිඳ වැටුනහොත් එයින් ලෝක ආර්ථිකයට බල පෑමක් නොවන බව එක් ආර්ථික විශ්ලේෂකයෙකුගේ මතය වී තිබේ.

චීනය, ඉන්දියාව, එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක් මේ වන විටත් Bitcoin ආයෝජකයන්ට අනතුරු අඟවා ඇති අතර, චීනයේ ප්‍රධාන පෙළේ Bitcoin හුවමාරු කරන (Exchange) ආයතනයක් වන BTCCපසුගිය සැප්තැම්බර් මස අවසානයේ දී සියලු ගනුදෙනු නතර කිරීමට පියවර ගත්තේය.

කෙසේ වෙතත් පසුගියදා ඇමරිකාවේ චිකාගෝ නුවර ප්‍රධාන පෙළේ මුදල් හුවමාරු කරන CBOE ආයතනය Bitcoin ගනුදෙනු ආරම්භ කිරීමත් සමගම මෙම පෙරළිකාර ඩිජිටල් මුදල් වර්ගයට තවත් වටිනාකමක් සහ වැඩි ආරක්ෂාකාරී බවක් අත් වී තිබේ.

bbc සිංහල