Language Switcher

V2025

GSP + සහනයට වසරයි : වැඩක් ගත්තේ මෙහෙමයි !

මානව හිමිකම් චෝදනා යටතේ 2010 වසරේ අගෝස්තු මස සිට ශ්‍රී ලංකාවට  GSP+ සහනය අහිමිව ගිය අතර 2017 මැයි මස නැවත එම සහනය ලබා ගන්නා තෙක් රු.බි. 150-250 ක් පමණ අපනයන ආදායමක් රටට අහිමි විය.

රටට සිදුවූ හානිය පිළිබඳව පූර්ණ විශ්ලේශනයක් සිදු කිරීමට අපහසු වුව ද ශ්‍රී ලංකාවේ තරඟකරුවන් යුරෝපා සංගමයට අයත් රටවල වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වන ආකාරය දෙස බැලීමේ දී අනෙකුත් ආසියාතික තරඟකරුවන්ට සාපේක්ෂව ශ්‍රී  ලංකාවට සිදුවූ හානිය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය. 

ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ තොරතුරු වලට අනුව වියට්නාමය, පාකිස්තානය සහ කාම්බෝජය 2009 දී ශ්‍රී ලංකාවට පසුපසින් පැවති අතර ශ්‍රී ලංකාව මඟින් යුරෝපා සංගමයේ රටවලට සිදු කළ අපනයනවල වටිනාකම ඇ.ඩො. බිලියන 2.3 ක් වන විට වියට්නාමය, පාකිස්තානය සහ කාම්බෝජය යුරෝපා සංගමයේ රටවලට  සිදුකරන අපනයනවල වටිනාකම් පිළිවෙලින් ඇ.ඩො. බිලියන 2.1 , 1.5 සහ 1.09 ක් විය. 

කෙසේ වුවද 2015 වන විට යුරෝපා සංගමයේ රටවල්වලට සිදුකරන ඇඟළුම් අපනයනවල  වටිනාකම වියට්නාමය ඇ.ඩො. බිලියන 3.9 දක්වා ද , පාකිස්තානය ඇ.ඩො. බිලියන 2.9 දක්වා ද කාම්බෝජය ඇ.ඩො. බිලියන 3.7 දක්වා ද ඉහල නංවා ඇති අතර ශ්‍රී ලංකාවේ එම අගය ඇ.ඩො. බිලියන 2.4 ක් වැනි  පහළ මට්ටමක පවති.

2017 මැයි 19 සිට බලපවත්වන පරිදි යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට  GSP+ සහනය නැවත ලබා දී ඇත. වැදගත්ම කරුණ වන්නේ මෙමඟින් ශ්‍රී ලංකාවේ අපනයන වලට යුරෝපා සංගමයේ වරණීය වෙළඳ ප්‍රවේශ පහසුකම් සහිත බංගලාදේශය, පාකිස්තානය වැනි අසල්වැසි රටවල් මෙන්ම අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ රටවල් කිහිපයක් සමඟ සමාන පසුබිමක තරඟ කිරීමට හැකියාව ලැබීමයි.

විවිධ ක්ෂේත්‍රයන්ට අපනයන බදු සහන ලැබී ඇති අතර බොහෝ ඇගළුම් කාණ්ඩවලට අදාළ බදු 9.6% සිට 0% දක්වා අඩු වී ඇත. තවද, මුහුදු ආහාර සඳහා වන බදු 18.5% සිට 0% දක්වාද නැවුම් සහ සකසන ලද පළතුරු සහ එළවළු ක්ෂේත්‍රයේ බදු 12.5% සිට 0% දක්වා ද පෝසිලේන් සහ සෙරමික් භාණ්ඩ ක්ෂේත්‍රයේ බදු 8.4% සිට 0 % දක්වාද සෙල්ලම් භාණ්ඩ ක්ෂේත්‍රයේ බදු 1.2% සිට 0% දක්වා ද අඩු වී ඇත.

GSP+ සහනය පිළිබඳ දළ විශ්ලේෂණය

GSP+ සහනය ලබා දෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල මානව හිමිකම්, කම්කරු, තිරසාර සංවර්ධනය සහ යහපාලනය සඳහා වන මූලික ජාත්‍යන්තර සම්මුතියන් 27 ක් ක්‍රියාත්මක කිරීමට කැපවීමට දිරිදීමක් වන අතර එමඟින් එම රටවල අපනයන වලට බදු සහනයක් ලබා දේ. මෙහිදී තත්වයන් 2ක් යටතේ රටේ අවධානම සලකා බලනු ලැබේ. 

එනම් අදාල රට වෙළඳපොළ තුල තරඟකාරී නොවීම ( ආනයන අනුපාතය යුරෝපා සංගමයේ සමස්ත ආනයනයෙන් 6.5% ට වඩා අඩු වීම ) සහ එරටට විවිධාංගිකරණය වූ අපනයන පදනමක් නොමැති වීමයි (යුරෝපා සංගමය එරටින් ආනයනය කරන සමස්ත GSP+ ආනයනවලින්  75%කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදන 7කට සීමා වීම).

යුරෝපා සංගමයට සිදු කරන අපගේ ප්‍රධාන අපනයනය වනුයේ ඇඟළුම්ය. GSP+ සුදුසුකම ලබා ගැනීමට ප්‍රභව නීතී යටතේ ඇඟළුම් සඳහා භාවිතා කරන රෙදිවල ප්‍රභවය ශ්‍රී ලංකාව වීම හෝ ප්‍රාදේශීය සමුච්චිතකරණය යටතේ GSP+ සහනය සඳහා සුදුසුකම් ලැබීම සඳහා චීනය වැනි රටවලින් රෙදි ආනයනය කිරීමට වඩා ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන රෙදි සඳහා ඉහළ ඉල්ලුමක් ඇති විය හැක.

යුරෝපා සංගමය මගින් සිදුකරන ආවර්තක විමර්ශනයන්හී දී එකඟ වූ මානව හිමිකම් සහ යහපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමට අදාලව තදබල ගැටළු ඉදිරිපත් නොවන තෙක් ශ්‍රී ලංකාවට GSP+ සහනය සඳහා සුදුසුකම් පවති. තවද ලෝක බැංකු වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් වී වසර 3 තිස්සේ එම තත්ත්වය පවත්වාගෙන යා හැකි නම්, ශ්‍රී ලංකාව තවදුරටත් GSP+ සහනය සඳහා යෝග්‍ය නොවේ. එම නිසා ශ්‍රී ලංකාවට 2023 දක්වා GSP+ සහනය ලැබෙනු ඇත.

GSP+ ප්‍රතිස්ථාපනයෙන් 12 මසකට පසු

·         GSP+ ලබාගෙන මාස 12කට පසු ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට සිදුකරන සමස්ත අපනයන 11%කින් වැඩි වී ඇත.

·         අපනයනවලින් 60%කට පමණ ආසන්න දායකත්වයක් දක්වන ඇගළුම් අපනයන 8%කින් ඉහළ ගොස් ඇත.

·       අපනයන ආදායමට වඩා ඇඟළුම් අපනයන ඒකක ප්‍රමාණය 1-2% ක් පමණ ඉහළ ගොස් ඇති අතර එමඟින් තරමක මූල්‍ය වාසියක් පාරිභෝගිකයාට ද අත්වී ඇති බව පෙනී යයි.

·      පසුගිය මාස 2 තුළ අපනයන ශක්තිමත් වී ඇත. ඇස්තමේන්තුගත කර ඇති ලෙස ඇඟළුම් ක්ෂේත්‍රයේ රැකියා ප්‍රමාණය 7500 කින් පමණ ඉහළ ගොස් ඇත ( දේශීයව නිපදවන ලද රෙදි හැරුණු කොට).

·      ඇඟළුම් ක්ෂේත්‍රයේ ඉලක්කගත ඉහළ යාම  ඇ.ඩො. මිලියන 500 කි. ඉන් ප්‍ර 1/3 ක් එනම් ඇ.ඩො. මිලියන150 ක වැඩි වීමක්  දැනටමත් ලඟා කරගෙන ඇත.

·       වෙනත් සැලකිය යුතු වර්ධනයක් පෙන්වන ක්ෂේත්‍ර වනුයේ ධීවර නිෂ්පාදන හා ටයර් යන ක්ෂේත්‍රයි.

·         GSP+ නැවත ලබා ගැනීම සහ යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම මඟින් මත්ස්‍ය අපනයනය දෙගුණයක් දක්වා ඉහළ  ගොස් ඇත (ව්‍යාපාර සබඳතා ප්‍රතිස්ථාපනය වීම සහ නව ඇනවුම් ලැබීම).

·      රබර් ටයර් සහ අත්වැසුම් අපනයන ඒකක  ප්‍රමාණයේ වර්ධනය අපනයන වටිනාකමේ වර්ධනයට වඩා අඩු වන අතර එය  මිළ  ඉහළ යාම හෝ  යූරෝ මුදලෙහි  අගය ශක්තිමත් වීමේ ප්‍රතිඵලයක් බව අනුමාන කළ හැකිය.

·         ජර්මනියට හා ප්‍රංශයට සපයන සේවා අඩු වීම හේතුවෙන් (ශ්‍රී ලංකා ගුවන් සේවයට ආහාර සැපයීමට ඇතුලත්ව) සැකසූ  ආහාර අපනයන ක්ෂේත්‍රය පහල ගොස් ඇත.