Language Switcher

V2025

රුපියල ගලවා ගැනීමේ මග මෙන්න 

ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණයවීම සහ ඊට අදාළ  ආර්ථික ක්‍රියාවලිය  මෙන්ම එයින් ගැලවීමේ මග සඳහන් කරමින් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය  හර්ෂ ද සිල්වා සිදුකර තිබෙන විග්‍රහය පහත දැක්වේ.

ශ්‍රී ලංකා රුපියල/ඇමරිකානු ඩොලරය: කරුණාකර මේ ප්‍රස්ථාර දෙස බලන්න. මේ තුළින් අපගේ රුපියල මත පීඩනය ඇතිවීමට දිගුකාලීනව හේතුවූ කරුණු අවබෝධකර ගැනීම පහසු වනු ඇත.

Captureharsha

මෙම දත්ත මගින් පෙන්වන්නේ 1970 වසරේ සිට ශ්‍රී ලංකාව සිදුකළ වෙළඳ අපනයන සහ විදේශීය ජංගම ගිණුමේ ශේෂයයි. මෙහි ප්‍රවණතාවය දෙස හොඳින් බලන්න. 1978කාලයේදී අපනයන වර්ධනය කරගනිමින් මෙම ප්‍රශ්නය සඳහා පළමුවෙන්ම ප්‍රතිඵලදායී පිළිතුරක් ලබාදීමට සමත් වුවද පසුව 1983 දී ඇතිවූ කෝලාහල සහ පසුව ඇතිවූ ගැටලු අපනයන වර්ධනය සඳහා සෘණාත්මකව බලපෑවේය. නැවත වතාවක් 2001 වසරේ සිට අපනයන කඩා වැටීම ආරම්භ වූ ආකාරය මෙම ප්‍රස්ථාර මගින් හොඳින්ම පැහැදිලි වේ. 2004 වසර පමණ වනවිට එවකට සිටි රජයට අපනයන පහත වැටීමේ රැල්ල යම් දුරකට පාලනය කරගැනීමට සමත් වුවද නැවතත් අවාසනාවන්ත ලෙස 2005 වසරේ සිට 20016 වසර දක්වාම මෙරට අපනයන පහත වැටීම සිදුවී ඇත. වර්තමාන රජය විසින් ජී.එස්.පී. ප්ලස් සහනය නැවතත් ලබාගැනීම සහ අපනයන වර්ධනය කිරීමේ දැක්මකින් කටයුතු කිරීම හමුවේ 2017 වසරේ සිට මෙරට අපනයන නැවතත් වර්ධනය වීමේ මාවතට පැමිණ ඇතැයි සඳහන් කළ හැකිය.

මෙම දත්ත මගින් පෙන්වන්නේ අපනයනය කෙරුණු භාණ්ඩ පමණක් වන අතර තොරතුරු තාක්ෂණය ඇතුළු සේවා අපනයනයේද යම් වර්ධනයක් මේ කාලයේ සිට ආරම්භ වී තිබේ. නමුත්, අපනයනය කළ භාණ්ඩ හා සේවා එක්ව ගත්විට එය 2004 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 36 ක් පමණ වූ අතර එය 2015 වසර වනවිට සියයට 20 ක් පමණ අගයක් දක්වා පහත වැටුණි. එය නැවතත් 2016 වසර වනවිට සියයට 22 ක පමණ අගයක් දක්වා වර්ධනය වී තිබෙන බව සඳහන් කළ යුතුයි. මේ අතර වාරයේදී ආනයන අඛණ්ඩව වර්ධනය වූ අතර අයවැයේ හිඟයන් පියවා ගැනීම සඳහා විශාල වශයෙන් ඇමරිකානු ඩොලර් ණය ගැනීමට සිදුවිය. එයට ප්‍රධාන හේතුව වූයේ දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම පහත වැටීමයි. 2005 වසරේදී සියයට 15.5 ක්වූ රාජ්‍ය ආදායම 2015 පමණ වනවිට 11.5 ක් දක්වා පහත වැටුණේ ශ්‍රී ලංකාව අඩුම රාජ්‍ය ආදායමක් තිබෙන රටක් බවට පත්වෙමිනි. මේ තත්ත්වයෙන් යම්තාක් දුරකට මිදී 2017 වසරේදී මෙරට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 14 ක් දක්වා වර්ධනය කරගැනීමට වර්තමාන රජය සමත්වී තිබීම කැපී පෙනේ. මේ අනුව, ගැඹුරින් බැලූවිට ඕනෑම අයෙකුට පෙනෙන්නේ අප ඉදිරියේ දැවැන්ත අභියෝගයක් තිබෙන බවයි.

ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමේ ආසන්නතම හේතුව ඇමරිකානු පොලී අනුපාත වර්ධනය වීම වුවත් රුපියල අවප්‍රමාණය වීමට දිගුකාලීන හේතුව වන්නේ මෙම ප්‍රස්ථාර දෙකේ ඇතුළත් කරුණු සහ මෙරට අයවැයේ පවතින හිඟයයි.

නිදහස් ‌වෙළඳ ගිවිසුම් වල අවශ්‍යතාව

---------------------------------

නිදහස් වෙළඳ ගිවිසුම් තුළින් මෙරට අපනයන වර්ධනය කරගැනීමේ මාර්ග අප සොයා නොගන්නේ නම් ශ්‍රී ලංකා රුපියල මත තිබෙන මෙම පීඩනය සැබෑ ලෙස අඩුකර ගැනීමට අපට හැකියාවක් නොලැබෙනු ඇත. මේ නිසා, අප කළ යුත්තේ අපනයන සඳහා දිරිදෙන ආකර්ශනීය පරිසරයක් නිර්මාණය කරගැනීමයි. තරගකාරී විනිමය අනුපාතයක් තිබීම මූලධර්මයක් නමුත් විශේෂයෙන්ම ව්‍යාපාර කිරීමේදී මුහුණ දෙන ගැටලු ඇතුළු අනිකුත් ගැටලු අපි විසින් විසඳාගත යුතුය.
අපි විසින් මෙහිදී අවබෝධකර ගත යුත්තේ කුඩා දේශීය වෙළඳපොළක් තිබෙන රටක් වුවද අප අනාගත වර්ධනය වෙමින් පවතින ඉන්දියානු සාගර කළාපයේ වෙළඳපොළට ළඟාවීමට කදිම ස්ථානයක පිහිටා තිබෙන රටක් බවයි. මෙම රටවල් සමග වෙළඳාම් කිරීමට එක්වීම පවතින ආර්ථික අර්බුද වලින් ගොඩ ඒමට හොඳම මාර්ගය යැයි සඳහන් කළ හැකිය. මේ සඳහා අප විසින් කැපවිය යුතු අතර අප සතුව තිබෙන සාපේක්ෂ වාසි මේ වෙනුවෙන් උපරිමයෙන් භාවිතා කිරීමට පසුබට නොවිය යුතුය. සියවස් ගණනාවකට පෙරත් ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත්වූයේ විදේශ වෙළඳාම තර කරගැනීමෙන් බවට ඉතිහාසයේ ඕනෑ තරම් සාක්ෂි තිබේ. මේ බව අවබෝධ කරගත් ජේ.ආර්. ජයවර්ධන රජය නිදහස් වෙළඳ කළාප සහ වරාය සම්බන්ධ කරගනිමින් වෙළඳ සහ ආයෝජන ප්‍රතිසංස්කරණ ඇති කළේය. නමුත්, රටක් ලෙස මෙම ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදුකරමින් ජයග්‍රහණය කරා යෑම වෙනුවට අපි විසින් සිදුකළේ ක්‍රම ක්‍රමයෙන් ලෝකයෙන් ඈත් වෙමින් හුදකළා ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි.

අපගේ ආසාර්ථක වීමේ වාසියද ප්‍රයෝජනයට ගනිමින් සිංගප්පූරුව සහ ඩුබායි ආර්ථික වශයෙන් වඩාත් දියුණු රටවල් බවට පත්වූ බව නොරහසකි. මා විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාව හමුවේ අදටත් ඉතිරිව තිබෙන දැවැන්ත අවස්ථාව හමුවේ අපි පරාජය භාර නොගත යුතු බවත් නිවැරදිව කටයුතු කරන්නේ නම් ආර්ථික වශයෙන් සමෘද්ධිමත් රටක් බවට මෙරට පත්කිරීම අසීරු නොවන බවයි. අපගේ රජයේ V2025 දැක්ම මගින් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර මධ්‍යයේ පිහිටි දැනුම පදනම් කරගත් ඉහළ තරගකාරීත්වයකින් යුතු සමාජ වෙළඳ පොළ ආර්ථිකයක් ඇති රටක් බවට පත්කිරීමට යෝජනා කර තිබෙන්නේ මේ නිසයි.

මෙම දැක්ම යථාර්තයක් බවට පත්කර ගැනීමට නම් ජාතියක් ලෙස අපි අපගේ ආකල්ප වෙනස්කර ගැනීම අනිවාර්ය කාරණාවකි. එනම්, වෙළඳාම් කිරීම හොඳ දෙයක් බවටත් ගෝලීය සහ කළාපීය නිෂ්පාදන ජාල වලට සම්බන්ධවීම මගින් අපට වාසියක් අත්කර ගැනීමට හැකි බවටත් අපි විසින් අවබෝධ කරගැනීම වැදගත් වේ. වඩ වඩාත් තාප්ප බැඳ ගැනීමෙන් අපට අත්වන්නේ වාසියක් නොව ඒ තුළින් අප තව තවත් අර්බුදයට යෑමයි. විශේෂයෙන්ම සමාගම් වලට මෙරටට සහ විදේශයන්ට අර්ධ නිමි භාණ්ඩ නිදහසේ යැවීමේ හැකියාව අප විසින් තවදුරටත් ලිහිල් කළ යුතුය. මේ තුළින් අපට වෙළඳාමෙන් ප්‍රතිලාභ අත්කර ගත හැකිය.

නිදහස් වෙළඳ ගිවිසුම් 17 කින් වියට්නාමය ‌ගොඩ ගිය හැටි

---------------------------------

වියට්නාමය සහ තායිලන්තය ඇතුළු වේගයෙන් වර්ධනය වන රටවල් සිය ආර්ථිකයන් වේගවත් වර්ධන මාවතකට අවතීර්ණ කර තිබෙන්නේ මේ ආකාරයෙනුයි. උදාහරණයක් ලෙස වියට්නාමය නිදහස් වෙළඳ ගිවිසුම් 17 කට පමණ එළඹී තිබෙන අතර TPP සහ RCEP (ASEAN plus 6) ගිවිසුම් මගින්ද ඉදිරියේදී විශාල ප්‍රතිලාභ ලබනු ඇත. වියට්නාමයේ අපනයනය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 100 ක් ඉක්මවා තිබෙන අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 270 කට ආසන්න වේ.

රුපියල අවප්‍රමාණය වීම නැතහොත් බාල්දුවීමේ ගැටලුව සඳහා ජනප්‍රිය දේශපාලන තර්ක වලින් විවිධ පිළිතුරු ලබාදුන්නද රුපියල ශක්තිමත් කරගැනීමට අපට තිබෙන හොඳම පිළිතුර වන්නේ මේ ආකාරයෙන් ලෝකය සමග අපගේ වෙළඳ සබඳතා තර කරගනිමින් ඩොලර් උපයා ගැනීම වැඩි කිරීමයි.

ආචාර්ය හර්ෂ ද සිල්වා විසිනි

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය