Language Switcher

V2025

ඩොලර් මිලියන 500ක MCC  සහනාධාරයත් අත්හිටුවයි !

ආර්ථික සංවර්ධනය හරහා දුප්පත් කම තුරන් කිරීම වෙනුවෙන් කටයුතු කරන ප්‍ර‍ධාන ඇමරිකානු නියෝජිතායතනයක් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් මඟින්  ශ්‍රී ලංකාවට වෙන්කර තිබුණු ඩොලර් මිලියන 500ක සහනාධාරය අත්හිටුවීමට එම ආයතනය සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවක් පිහිටුවීම හරහා මතුව තිබෙන දේශපාලන අස්ථාවරත්වය පදනම් කරගෙනය.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හී ආධාර වැඩසටහන සඳහා  2004 වසරේදී ශ්‍රී ලංකාව තෝරාගනු ලැබුණා. නමුත් රාජපක්ෂ පාලන සමයේ යහපාලන මුලධර්ම බිඳ දැමීම, මානව අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රඥප්ති උල්ලංඝනය කිරීම ඇතුළු ඒකාධිපති පාලන රටාව හේතුවෙන් එම ආධාර නවතනු ලැබිණ.

යලිත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හී ආධාර වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව තෝරාගනු ලැබුවේ වසර 2015 දී බලයට පත් වූ යහපාලන  රජයේ ප්‍රතිපත්ති සැලකිල්ලට ගැනීමෙන් පසුවයි. එහිදී මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හී ආධාර වැඩසටහන සඳහා නිර්ණායකයන් ලෙස සලකන යහපාලනය, ආර්ථික නිදහස සහ පුරවැසියන්ගේ ආයෝජන ආදිය සළකා බැලිණ.

ඒ අනුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හී ආධාර ව්‍යාපෘතියේ කටයුතු සඳහා 2017 දී අගමැති කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය යටතේ විශේෂ ව්‍යාපෘති කාර්යාලයක් ද ස්ථාපිත කරනු ලැබුණු අතර   “2025 දැක්ම“ ට සමගාමීව ක්‍රියාත්මකවන  ව්‍යාපෘතිය රැසක් සඳහා ආධාර හිමිව තිබිණ.

මේ අතර ශ්‍රී ලංකාවට අදාලව වෙන්කර තිබූ  ඩොලර් මිලියන 250 ක වටිනාකමකින් ණය සහනාධාර අත්හිටුවීමට  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියාකර ඇති බව රොයිටර් පුවත් සේවය තහවුරු කරසිටියි.

එම වාර්තාවට අනුව ලංකාවේ දේශපාලන අස්ථාවරත්වය පදනම් කරගෙන මෙම තීරණය  ගෙන ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරටට අදාළව ඩොලර් බිලියන එකහාමාරක ආධාර මුදලක් වෙන්කර තිබූ අතර මේ තීන්දුවත් සමඟ එම සියල්ල අහිමිවීමේ දරුණු ඛේදවාචකයක් රට හමුවේ පවතී.

එසේම ශ‍්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වැඩිම අවප‍්‍රමාණය අද දිනයේ වාර්තා වුණා. ඒ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 179 ක් ලෙස සටහන් වෙමින්.

අද මහ බැංකු සටහන අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 175.11ක් වූ අතර විකිණුම් මිල වූයේ රුපියල් 179.04ක් ලෙසයි.