Language Switcher

V2025

ATM යන්ත්‍රවලින් මුදල් ගන්නා විට පරික්ෂාකාරී වෙන්න !

පසුගිය දින කිහිපය පුරා කොළඹ ප්‍රදේශ කිහිපයකින් ව්‍යාජ කාඩ්පත් භාවිතයෙන් ATM යන්ත්‍ර මගින් මුදල් සොරා ගැනීම් වාර්තා විය.

කොල්ලුපිටිය, බොරැල්ල, දෙහිවල, යුනියන් පෙදෙස, වැල්ලවත්ත සහ පානදුර යන ප්‍රදේශවලින් එම සිදුවීම් වාර්තා වී තිබිණි.

මෙම සිදුවීම් ගැන බීබීසී සිංහල සේවය කළ විමසීමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් ජාලය (National Payment Network) හසුරුවනු ලබන ලංකා ක්ලියර් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී චන්න ද සිල්වා කියා සිටියේ, "මෙම තත්ත්වය ගැන අපි දැනුවත්. අපි ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ සැම විට ම ATM යන්ත්‍රවලින් මුදල් ගන්නා විට පරීක්ෂාකාරී විය යුතුයි," යනුවෙනි.

මෙවැනි සොරකම් වළක්වා ගැනීමට ගත හැකි පියවර:

Chip සහිත බැංකු සහ ණය කාඩ්පත්වලට මාරු වීම
ATM යන්ත්‍ර භාවිත කරන විට රහස් අංකය අතින් ආවරණය කර ගැනීම
ක්ෂණික SMS සඳහා බැංකු සමග ලියාපදිංචි වීම

"මෙවැනි ම තත්ත්වයක් 2017 අප්‍රේල් මාසයේදීත් වාර්තා වුණා. විශේෂයෙන් ම දිගු සති අන්තවල තමයි මේ ආකාරයේ තාක්ෂණ භාවිතයෙන් සිදු වන මුදල් සොරකම් කිරීම් වාර්තා වන්නේ. අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන් සති අන්තවල විමසිල්ලෙන් සිටින ලෙස," ජාතික ගෙවීම් ජාලයේ සාමාන්‍යාධිකාරී චන්න ද සිල්වා වැඩිදුරටත් කීය.

01

සංවිධාත්මකව ක්‍රියා කරන මෙම වංචනික කණ්ඩායම් ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය භාවිත කර ඉතා සූක්ෂම ලෙස කාඩ්පත් 'ක්ලෝන් කර' තිබෙන බවත් ඔහු පැවසීය.

එසේ ම මහ බැංකුව මේ වන විට සියලු බැංකුවලට තම පැරණි ATM යන්ත්‍ර, EMV (Euro Mater and Visa) තාක්ෂණයට යාවත්කාලීන කරන ලෙස දැනුම් දී ඇත.

"යම් කාඩ්පත් හිමියෙකුගේ ගිණුමෙන් මුදල් සොරකම් කර ඇතැයි හැඟී ගියහොත් වහා ම තම බැංකුව දැනුවත් කළ යුතුයි. එවිට එම ATM යන්ත්‍රයේ හිමිකාර බැංකුව බැඳී සිටිනවා ගනුදෙනුකරුට අහිමි වූ මුදල නැවත ලබා දීමට", චන්න ද සිල්වා හෙළි කළේය.

පොලිස් පරීක්ෂණ

පොලිසිය පැවසුවේ, මෙම සිදුවීම් සම්බන්ධයෙන් දැනට විදේශිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති බවය.

ඉන් දෙදෙනෙක් චීන ජාතිකයින් වන අතර ඔවුන් දෙදෙනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර බීබීසී සිංහල සේවය සමග පැවසීය.

ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ, ජනවාරි මස 20 සහ 21 දිනයන්හිදීය.

අනෙක් සැකකරු රුමේනියානු ජාතිකයෙකු බවත් ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසීය.

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් සතුව තිබී ව්‍යාජ කාඩ්පත් 200කට අධික සංඛ්‍යාවක්, කාඩ්වල තොරතුරු සොරා ගැනීමට උපයෝගී කර ගන්නා උපකරණ 3ක් සහ රුපියල් ලක්ෂ 12ක මුදලක් ද සොයා ගෙන ඇත.

(බීබීසී)