Language Switcher

V2025

ඇමති මංගල : සංවර්ධනය සඳහා ණය 2019 සමුළුවේ !

ඉරන්ගා රොනඩා රජුගේ සෘජු ආරාධනාව මත මුදල් ඇමැති මංගල සමරවීර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිව්යෝර්ක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ සංවර්ධන කටයුතු සඳහා මූල්‍ය සේවා සැපැයීමේ ආර්ථික සහ සමාජ උපදේශන සමුළුවේ මුදල් ඇමැතිවරුන්ගේ රැස්වීමට සහභාගී විය.

මෙහි දී අමාත්‍යවරයා 'පරිපූර්ණ වර්ධනය ප්‍රවර්ධනය කිරීමෙන් අසමානතාව අවම වේ' යන මාතෘකාව යටතේ මෙවර පැවැති සාකච්ඡා සභාවේ දී ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග විස්තර කරමින්, 2018 වසරේ මැද භාගයේ සිට විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශ පදනම් කරගෙන තරුණ ව්‍යවසායකයන් 100,000ක් බිහි කිරීමේ අරමුණ ඇතිව ආරම්භ කළ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය වැඩසටහන ඇතුළු සංවර්ධන කටයුතු සඳහා මූල්‍ය සම්පාදනයට ගත් ක්‍රියාමාර්ග ගැන තොරතුරු බෙදාගත්තේය.

සංවර්ධනය සඳහා ණය ලබා දීම තේමාව කරගත් මෙම සමුළුවේ ප්‍රධාන කටයුත්ත වූ 'සංවර්ධනය සඳහා ණය 2019 සමුළුව' අඩිස් අබාබා ක්‍රියාකාරී න්‍යාය පත්‍රය හඳුන්වා දී මෙතෙක් ගෙවී ඇති වසර 4 ඇතුළත ලබා දී ඇති ණයවලින් ඉටු වී ඇති කාර්යභාර පසු විපරම් කිරීමට, වේගයෙන් ව්‍යාප්ත වන සහ වෙනස් වන ප්‍රතිපත්ති හමුවේ සංගණනයන් පැවැත්වීම, නැඟී එන ආර්ථික සහ ආර්ථික නොවන අවදානම්වලට එරෙහිව ගතයුතු පියවර හඳුනා ගැනීම මෙහි දී සිදුවිය.

තිරසාර සහ සාධාරණ සංවර්ධනයක් වෙනුවෙන් හඳුනාගත් අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාව 2019 අයවැයෙන් ගෙන ඇති පියවර අමාත්‍යවරයා මෙහි දී ගෙන හැර දැක්වීය. මූල්‍යමය බාධා සහිත ශ්‍රී ලංකාව වැනි කාලගුණික විපර්යාසවලින් බැටකන රටවල්වලට මූල්‍ය සහාය ලබා දීමේ දී අන්තර්ජාතික සහයෝගය තිරසාර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ දී ඉතා වැදගත් වන බව අමාත්‍ය සමරවීර මෙම සමුළුව හමුවේ වැඩිදුරටත් කීවේය.

මෙම සංචාරයේ දී අමාත්‍යවරයා යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හෙන්රිටා එච්. ෆෝ හමුවී පූර්ව ළමා විය සංවර්ධනය සම්බන්ධ කරුණු සාකච්ඡා කළේය. එක්සත් ජාතීන්ගේ සාමය ගොඩනැඟීමේ සහායක කාර්යාලයේ ක්‍රියාකාරකම් රැසකට ද සහභාගී වූ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා ඊයේ (17දා) හමුවීමටද නියමිතව තිබිණි.