Language Switcher

V2025

මහා භාණ්ඩාගාරයට නව පත්වීම් 2ක්

මහා භාණ්ඩාගාරයේ භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් සහ මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ (State Accounts Dept) අධ්‍යක්ෂක ජනරාල් යන ධූර සඳහා නව පත්වීම් දෙකක් සිදුකර ඇත.

ඒ මහා භාණ්ඩාගාරයේ භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් ලෙස කේ. ඩී. ආර්. ඔල්ගා සහ මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ (State Accounts Dept) අධ්‍යක්ෂක ජනරාල් ලෙස ආර්. එම්. ඒ. රත්නායක වශයෙනි.

මේ සම්බන්ධව මුදල් අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි මෙසේද සඳහන් වෙයි.

මහා භාණ්ඩාගාරයේ භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් ලෙස කේ. ඩී. ආර්. ඔල්ගා ජුලි මස 04 වන දින භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ දී තම රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන ඔල්ගා , ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරීවරියක ලෙස වර්ෂ 1990 දී රාජ්‍ය සේවයට එක් වූ අතර, එතැන් පටන් පුරා වර්ෂ දොළහක් (12) ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරීවරියක ලෙස සේවය කර 2002 වර්ෂයේ සිට මේ දක්වා මහා භාණ්ඩාගාරයේ විවිධ දෙපාර්තමේන්තු වල විධායක තනතුරු හොඹවමින් කටයුතු කරන ලදී.

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්වීමට ප්‍රථම ඔල්ගා මහත්මිය පුරා වසරක කාලයක් රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරන ලදී.

පූගොඩ, ඕවිටිගම බෝධිරාජ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය විශේෂ උපාධිය පළමු පෙළ සාමාර්ථයක් සහිතව සමත්වූ උපාධිධාරිනියකි.

කොළඹ විශ්ව විද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිලාභියකු සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ආවසරික විභාගයද සමත්ව ඇති ඔල්ගා , රාජ්‍ය බැංකු, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල භාණ්ඩාගාර නියෝජිත වශයෙන් ද ඵලදායී ලෙස එම ආයතනවල කටයුතු සඳහා තම දායකත්වය ලබා දී ඇත.

TOD DG OLGA 02

මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් !

මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ (State Accounts Dept) අධ්‍යක්ෂක ජනරාල් ලෙස ආර්. එම්. ඒ. රත්නායක ජුලි මස 04 වන දින රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ දී තම රාජකාරී කටයුතු ආරම්භ කරන ලදි.

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රත්නායක කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී ලෙස වර්ෂ 1991 දී රාජ්‍ය සේවයට එක් වූ අතර, ඉන්පසුව මහා භාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යංශයේ විවිධ දෙපාර්තමේන්තු වල විධායක තනතුරු හොඹවමින් කටයුතු කරන ලදී.

නව තනතුරේ පත්වීම් ලැබීමට ප්‍රථම භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ මූල්‍ය කළමනාකරණ සහ රාජ්‍ය ණය කළමනාකරණ යන අංශ භාර අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් වසර 5 කට වඩා වැඩි කාලයක් රත්නායක කටයුතු කර තිබිණි.

උඩුගම ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයෙන් සහ වේයන්ගොඩ මහ විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ රත්නායක මහතා, කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජවේදී විශේෂ ගෞරව උපාධිධරයෙකි.

ශ්‍රී ලංකාවේ වරලත් රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී ආයතනයේ මෙන්ම ලන්ඩන් හි වරලත් රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී ආයතනයෙහි ද ආශ්‍රිත සාමාජිකයෙකු වන රත්නායක, ඇමරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ජෝන් එෆ් කෙනඩි විද්‍යායතනයෙන් සහ සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයෙන් ‘‘රාජ්‍ය කළමනාකරණය‘‘ පිළිබඳ පශ්චාත් උපාධියද, නෙදර්ලන්තයේ කළමනාකරණය පිළිබඳ මාස්ට්රිච් විද්‍යායතනයෙන් ‘‘කළමනාකරණ පරිපාලනය සහ කළමනාකරණ තොරතුරු පද්ධතීන්‘‘ සම්බන්ධව පශ්චාත් උපාධිය ද, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙන් ‘‘ව්‍යාපාර සහ මූල්‍ය පරිපාලනය‘‘ පිළිබඳව පශ්චාත් උපාධිලාභියකු ද වන අතර, රාජ්‍ය බැංකු, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල භාණ්ඩාගාර නියෝජිත වශයෙන් ද ඵලදායී ලෙස එම ආයතනවල කටයුතු සඳහා තම දායකත්වය ලබා දී ඇත.

STATE ACCOUNTS DG RATHNAYAKA 02 1