Language Switcher

V2025

ලෝක බැංකුවෙන් ලංකාවට සහතිකයක් !

ලෝක බැංකුව සිය නව මෙහෙයුම් තුනක් යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර වැඩි කරන බව දකුණු ආසියානු කලාපයේ ලෝක බැංකු උප සභාපති හාර්ට්විග් ෂාෆර් ප්‍රකාශ කර තිබේ.

දේශගුණික විපර්යාසයන්ට මුහුණ දී සිටින කෘෂිකාර්මික අංශයට සහාය වීම, වාරිමාර්ග, පුනර්ජනනීය බලශක්තිය, දේශගුණික තත්වයන්ට ඔරොත්තු දීමේ මෙහෙයුම් සහ ග්‍රාමීය ප්‍රදේශවල වැව් ප්‍රතිසංස්කරණය කිරීම ඊට ඇතුළත් ය.

ෂාෆර් මහතා ඊයේ ( 18) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති සිරිසේන හමුවූ අවස්ථාවේදී මේ බව පවසා ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ ආර්ථිකයට එහි බලපෑම පිළිබඳව සඳහන් කරමින් ඔහු කියා ඇත්තේ අයවැය පරතරය අඩු කිරීම සඳහා ලෝක බැංකුව මූල්‍ය ආධාර ලබා දෙන බවත් එමඟින් ශ්‍රී ලංකාවට ගෝලීය ණය ගැනීම් හොඳ ආර්ථික පදනමක් ඇතිව කරගෙන යා හැකි බවත්ය.

ශ්‍රී ලංකාවට දිගුකාලීන මූල්‍ය ආධාර සැපයීම පිළිබඳව ජනාධිපති සිරිසේන ලෝක බැංකුවට සිය කෘතඥතාව පළ කළ බවත් වාර්තා වෙයි.

එහිදී පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව ඉක්මණින් යථා තත්ත්වයට පත්වීම පිළිබඳව සතුට පළ කළ ලෝක බැංකු උප සභාපතිවරයා කියා සිටියේ මේ මොහොතේ ගෝලීය ප්‍රජාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බවයි.

ලෝක බැංකු ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය කළමණාකරුවන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට කොළඹ සිටින ෂාෆර් මහතා කියා සිටියේ පාස්කු ඉරිදාට එල්ල වූ දරුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු යථා තත්ත්වයට පත්කිරීමට රට උත්සාහ කරමින් සිටින බැවින් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව දැක්වීම සඳහා සිය වාර්ෂික සැසිවාරය පැවැත්වීමට බැංකුව තීරණය කළ බවයි.

ඉහළ මධ්‍යම ආදායම් ලබන මට්ටමට නැගීම ගැන ඔහු ශ්‍රී ලංකාවට සුබ පැතූ අතර එය රටේ ඔරොත්තු දීමේ සාක්ෂියක් බවත් පවසා ඇත.