Language Switcher

V2025

බෝරාවරුන්ගේ සමුළුවෙන් : කෝටි 900කට අධික ආදායමක් !

බෝරා මුස්ලිම්වරුන්ගේ ගෝලීය සමුළුව මෙරට පැවැත්වීම තුළින් රුපියල් කෝටි නවසීයකට අධික ආදායමක් දැනටමත් මෙරටට ගලාවිත් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් අවධාරණය කරයි.

බෝරා මුස්ලිම්වරුන්ගේ ගෝලීය සමුළුව පසුගිය 02 වනදා බම්බලපිටිය වෙරළ මාවතේ බෝරා ප‍්‍රධාන පල්ලිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ අතර එළැඹෙන සැප්තැම්බර් 12 වැනිදා දක්වා එය පැවැත් වේ.

ඒ මෙරටට සැපත්වී සිටින, බෝරාවරුන්ගේ ජීවමාන ආගමික නායකයා වන ආචාර්ය සෙයිඩ්නා මුෆද්දල් සයිෆුදීන්තුමන්ගේ ප්‍රධානත්වයෙනි.

1830 දශකයේදී ශ්‍රී ලංකා ආගමනය සිදුව ඇති බෝරා යනු විශේෂිත වත්පිළිවෙත් සහිත මුස්ලිම් ජන කොට්ඨාසයක් වන අතර ලොව පුරා බෝරාවරුන් ලක්ෂ 15ක් පමණ වාසය කරති.

මේ වනවිට බෝරාවරුන් 2500ක් පමණ ශ්‍රී ලංකාවේ වෙසෙන අතර මෙරට ප්‍රමුඛ පෙළේ වෙළෙඳ ව්‍යාපාර කිහිපයකම හිමිකරුවන් වන්නේ බෝරා ජාතිකයෝ ය.

ලොව පුරා වෙසෙන බෝරාවරුන් 21,000කට අධික පිරිසක් මේ වනවිටත් මෙම ගෝලීය සමුළුව සඳහා දිවයිනට පැමිණ සිටිති.

සමුළුව අවසාන වීමෙන් පසුව සංචාරක බෝරාවරුන් ගාල්ල, සීගිරිය, බදුල්ල, නුවරඑළිය සහ මහනුවර වැනි ප්‍රදේශ රැසක සංචාරය කිරීමටද සැලසුම් කර තිබේ.

ඒ අනුව බෝරාවරුන්ගේ සමුළුව වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් එළැඹෙන සැප්තැම්බර් 12 වැනිදා දක්වා කොළඹ බම්බලපිටිය ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක වන අතර විශේෂ ආරක්ෂක සැලැස්මක්ද ක්‍රියාත්මක වේ.