Language Switcher

V2025

යාපනයේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වෙත :  මුල් දින තුනේ ලක්ෂ 3ක ජනකායක් !

යාපනය මුට්ට්‍රවේලි පිටියේ දී පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුන් වැනි ප්‍රදර්ශනයේ තුන් වැනි දිනය නිමා වන විට ලක්ෂ තුනකට අධික ජනතාවක් එය නැරඹීම සඳහා පැමිණ තිබේ. විශේෂයෙන්ම සති අන්ත දින දෙක තුළ අධික ජන සහභාගීත්වයක් ඊට ලැබිණි.

තුන් වැනි දිනය වූ ඊයේ (09) දිනයේ ද පාසල් දරුවෝ ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වී සිටියහ.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ ප්‍රධානතම කලාපය වන ව්‍යවසායකත්ව කලාපය වෙත ද ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතියි. තුන් වැනි දිනය නිමා වන විට එම කලාපය තුළ ඇති රාජ්‍ය බැංකු මගින් සිය ව්‍යාපාර අපේක්ෂාවන් මල්ඵල ගන්වා ගැනීමේ අරමුණෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය ලබා ගැනීම සඳහා 2,000කට ආසන්න පිරිසක් මූලික ලියාපදිංචිය ලබාගෙන තිබේ.

ණය ලබා ගැනීමට අදාළ ඉදිරි කටයුතු එම අයදුම්කරුවන් පදිංචි ප්‍රදේශයේ බැංකු ශාඛා මගින් සිදු කෙරෙනු ඇත. විශේෂයෙන් රන් අස්වැන්න ගොවි නවෝදා වැනි කෘෂිකර්මාන්තය වාණිජකරණයට සහ යාන්ත්‍රිකකරණයට පරිවර්තනය කිරීමට අදාළ ණය යෝජනා ක්‍රම කෙරෙහි මෙහි දී වැඩි අවධානයක් යොමු ව ඇත.

යුද්ධය හේතුවෙන් වැන්දඹුවන් බවට පත් වූ කාන්තාවන්ට සහ පුනරුත්ථාපනය වූ සටන්කාමීන්හට පහසුවෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ලබා ගැනීමට හැකි වන පරිදි, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ යෝජනාවකට අනුව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මකය. ඒ අනුව ලබන සිකුරාදා සහ සෙනසුරාදා දෙදින අදාළ වැඩමුළුව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ. මෙහි දී එම වැන්දඹුවන්ට සහ පුනරුත්ථාපනය වූ සටන්කාමීන්ට සිය ව්‍යාපාරය ආරම්භ කිරීම, ව්‍යාපෘති වාර්තා සකස් කිරීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මූලික පුහුණුවක් ලබා දීමට නියමිත ය.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ලබා ගැනීමේ දී රුපියල් ලක්ෂ 15 දක්වා ස්වං රැකියා හෝ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ණය සඳහා සුරැකුම් හෝ ඇපකරුවන් අවශ්‍ය නොවන බැවින් මෙම වැන්දඹුවන්ට සහ පුනරුත්ථාපනය වූ සටන්කාමීන්ට කඩිනමින් ව්‍යාපාරිකයන් බවට පත් වීමේ අවස්ථාව උදාවනු ඇත. මෙම පහසුකම දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා පැවැසීය.

ප්‍රදර්ශනයේ හතර වැනි සහ අවසන් දිනය හෙටයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ සමාප්ති උත්සවය පැවැත්වේ.

View the embedded image gallery online at:
http://newstube.lk/economy/8223-3-2#sigProIdd9ee567c40