Language Switcher

V2025

ඇමති හරීන් අයිසීසීය හමුවෙයි : අතුරු කමිටුවක් ගැන තීරණාත්මක සාකච්ඡාවක්

"ක්‍රිකට් නිලවරණය කල්දානවද කියලා හරියටම කියන්න බැහැ. ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරන්න වැඩි අවස්ථාවක් තියෙනවා," ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමත් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුකිරීමට බලාපොරොත්තුවන වෙනස්කම් සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු එලෙස කියා සිටියේය.

"ශ්‍රී ලංකාවම පිළිගන්න කෙනෙක් තමයි අතුරු කමිටුවට ගේන්නේ. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේත් (ICC) පිළිගැනීම තියෙන කෙනෙක්."

තරග පාවාදීම් සහ දූෂණ චෝදනා හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් ද අපකීර්තියට පත්ව තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පිරිසිදු කිරීම පිණිස "පිරිසිදු පිරිසකට ක්‍රිකට් පරිපාලනය භාරදීම" සිය අභිලාශය බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කළ හැකිද ?

2018 මැයි 31 වන දා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරිපාලනය වන්නේ ක්‍රිකට් අතුරු කමිටුවක ස්වරූපයෙනි. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙසින් පත්කර සිටී.

ක්‍රිකට් අතුරු කමිටු පිළිගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එතරම් කැමැත්තක් නොදක්වන අතර, 2019 පෙබරවාරි මාසය වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වන බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා දුන් පොරොන්දුවක් මත අයිසීසීය වත්මන් ක්‍රීඩා පරිපාලනයට එකඟ වී තිබේ. එබැවින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බලාපොරොත්තු වන අන්දමට ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසරය අවශ්‍යවේ.

බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස ඉදිරි සති දෙක තුළ තමන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා හමුවන බවය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ලවෙමින් පවතින දූෂණ චෝදනා හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නිසිතැනට ගැනීමේ අරමුණින් යම් කාල සීමාවක් සඳහා ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ලබාගැනීම අමාත්‍යවරයාගේ අරමුණ වී තිබේ.

මේ අතර ICC දූෂණ විරෝධී ඒකකයේ කළමනාකරු ඇලෙක්ස් මාෂල් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අතර සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 27) ඩුබායි නගරයේ පැවැත්විණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවල ප්‍රගතිය ගැන හා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ පාර්ශවයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන ඔවුන් දෙදෙනා සාකච්ඡා කළහ.

"පැය දෙකකට ආසන්න කාලයක් අපි සාකච්ඡා කළා, සාකච්ඡා සාර්ථකයි. ඉදිරියේදී ICC දූෂණ විරෝධී ඒකකයේ නිලධාරියෙක් ශ්‍රී ලංකාවේ ඉඳල ස්ථිර ලෙස කටයුතු කරාවි. ඔවුන් මට මෙතෙක් ඔවුන්ගේ පැත්තෙන් කෙරී ඇති දේවල් ගැන වාර්තාවක් ලබාදුන්නා, ඉදිරි දින කිහිපයේ ICC සභාපතිවරයා හමුවෙන්න බලාපොරොත්තු වෙනවා," සාකච්ඡාවෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඩුබායි හි සිට බීබීසී සිංහල සේවය සමග කියා සිටියේය.

සංගා-මහේල-අරවින්ද ක්‍රිකට් සැළැස්ම ?

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම සඳහා හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා අරවින්ද ද සිල්වා එක්ව ගොඩනැගු ශ්‍රී ලංකා ක්‍රිකට් සැලැසුම ක්‍රියාත්මක කිරීම සිය බලාපොරොත්තුව බව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බීබීසි සිංහල සේවය සමග අදහස් දැක්වීමේදී සඳහන් කළ තවත් කරුණකි. දිගින් දිගටම ක්‍රීඩා අමාත්‍යවරුන් සිය නිර්දේශ ක්‍රියාත්මක නොකරන තත්වය හමුවේ, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට උපදේශකයන් වශයෙන් දායකත්වය ලබාදෙන ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කළ ඉල්ලීමක්ද පසුගියදා ඔවුහු ප්‍රතික්ෂේප කළහ.

කෙසේ නමුත් මෙම සැලැසුම ක්‍රියාත්මක කරන්නේ නම් එයට සහය දෙන බව කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන නව ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම්දී ඇති බව ද බීබීසී සිංහල සේවයට වාර්තාවේ. මෙම සැලසුමට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ විරෝධතා එල්ල වූ බව හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මීට පෙර බීබීසී සිංහල සේවයටපැවසීය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන පුරුකයක් වන ක්‍රීඩා සමාජවල සහයද ලබාගෙන මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම නව ක්‍රීඩා අමාත්‍යවරයා මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් විය හැකිය.

දශක දෙකකට ආසන්න සිය ක්‍රිකට් අත්දැකීම් මුල් කර ගනිමින් මහේල ජයවර්ධන විසින් මුල් වරට ක්‍රිකට් සැලැස්මක් භාරදෙනු ලැබුවේ පත් කරන ලද සිදත් වෙත්තමුනිගේ සභාපතිධුරයෙන් යුතුව 2015 දී පත්කරන ලද ක්‍රිකට් අතුරු කමිටුවේ ඉල්ලීමකට අනුවය.

"අවසාන ප්‍රයත්නයත් යොදවලා බලමු. මේක මගේ අවසාන උත්සාහය. මේ සැලසුම් ක්‍රියාත්මක වුනේ නැතිනම් නැවත නැවත පැමිණ ඒ දේ කරන්න උත්සාහ කරන එක මටත් අපහසුයි," බීබීසී සිංහල සේවයට පසුගිය වසරේදී මහේල ජයවර්ධන පැවසුවේ එවකට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ඉල්ලීම අනුව ක්‍රිකට් සැලැස්මක් සැදීමට දායකත්වය ලබාදෙමිනි.

කෙසේ නමුත් එම සැලසුමේද කිසිදු නිර්දේශයක් ක්‍රියාත්මක නොවීම ගැන මෙම ක්‍රීඩකයන් දැඩි කණස්සල්ලෙන් පසුවූහ.

ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීම

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රමුඛතම කාර්ය විය යුතු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් බහුතරයකගේ මතය වී තිබේ. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු හා පරිපාලකයකු වන සිදත් වෙත්තමුණි බීබීසී සිංහල සේවයට පැවසුවේ "ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නැතුව මොනවත් වෙනස් කර වැඩක් නොමැති බවයි". 2015 වසරේ සිදත් වෙත්තමුණි ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් පත්කිරීම ඇරඹුණු නමුත්, තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිධුරයට පත්වීමත් සමග එය අත්හැර දැමිණි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගැනීමට නම්, ක්‍රිකට් ව්‍යවස්ථාවට හා ක්‍රීඩා පනතට අවශ්‍ය වෙනස්කම් කිරීම අත්‍යවශ්‍යම කාර්යයක් බව හිටපු ක්‍රීඩකයන් වන රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන් හා මහේල ජයවර්ධන අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර තිබේ. මේ ගැන ද හිටපු ක්‍රීඩකයන් සමග සාකච්ඡා කොට අවශ්‍ය සංශෝධන කිරීමට බලාපොරොත්තුවන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

කෙසේ වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම තරමක කාලයක් ගතවන ක්‍රියාවක් බැවින් වත්මන් දේශපාලන තත්වය අනුව එවන් දිගුකාලීන කාර්යකට අතගැසීමට නව ක්‍රීඩා අමාත්‍යවරයාට හැකිවේවි ද යන්න තවත් ගැටළුවකි.

ක්‍රිකට් පරිපාලනයට රොෂාන් මහානාම ?

වසර 12ක් ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරකවරයෙකු ලෙසින් කටයුතු කළ හිටපු ක්‍රිකට් නායකයකු වන රොෂාන් මහානාමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය භාරදීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ අදහස බව මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ ගැන පුවත්පතකට ප්‍රකාශයක් කරමින් රොෂාන් මහානාම පවසා තිබුණේ ක්‍රිකට් අර්බුදයට පැලැස්තර ඇලවීමට නොව කිසියම් ස්ථාවර වැඩ පිළිවෙලකට පමණක් තම සහය ලබාදීමට සුදානම් බවය.

දැනට වාර්තාවන ආකාරයට රොෂාන් මහානාම ගේ ආගමනය තීරණය වනු ඇත්තේ ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දක්වන ප්‍රතිචාරය අනුවය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ද පිළිගැනීම ඇති රොෂාන් මහානාම යොදාගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීම හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයාගේ අරමුණ වී තිබෙන නමුත් ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දක්වන ප්‍රතිචාරය මත ඒ සියල්ල රැඳී පවතී.

යම් හෙයකින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතුරු කමිටුවක් පිළිගැනීම ප්‍රතික්ෂේප කළහොත් ක්‍රිකට් නිලවරණය පවත්වා එම නිලධාරී මඬුල්ල මාර්ගයෙන් ඉහත කී සංශෝධන සිදුකිරීම සඳහා උත්සහ ගැනීමට අමාත්‍යවරයාට සිදුවිය හැකිය.

(බීබීසී)