Language Switcher

V2025

කෂෝගි ඝාතකයන්ට සමාව දෙන්න එපා : පෙම්වතිය ඉල්ලයි !

2018 වසරේ මරා දමන ලද මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතකයන්ට 'සමාව දීමට කිසිවෙකුට අයිතියක් නැතැයි' ඔහුගේ පෙම්වතිය කියා සිටින්නීය.

ඇය එම ප්‍රකාශය කර තිබෙන්නේ සිය පියා මරා දමන ලද පුද්ගලයන්ට සමාව දෙන බවක් ජමාල් කෂෝගිගේ පුත්‍රයා විසින් ප්‍රකාශ කරනු ලැබීමෙන් අනතුරුවය.

තුර්කි ජාතික හැටිස් සෙන්ගිෂ් (Hatice Cengiz) නම් එම කාන්තාව 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කරමින් "ජමාල් මරා දැමීමේ සාහසික අපරාධයට වගකිවයුත්තන් අධිකරණය ඉදිරියට ගෙන එනු ලැබීම සඳහා කාලය අතින් සීමාවක් නැතැයි" කියා සිටියාය.

සෞදි අරාබි පාලනය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළ ජමාල් කෂෝගි 2018 වසරේ තුර්කියේ, ඉස්තාන්බුල් නගරයේ සෞදි තානාපති කාර්යාලය තුළ දී මරා දමනු ලැබිණි.

එම ඝාතනය සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු මැදිහත් වීමක් නැතැයි පවසන සෞදි අරාබි නිලධාරීන්, එය 'කුරිරු මෙහෙයුමක්' ලෙස හඳුන්වා ඇත. සෞදි අරාබියේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ලෝක මට්ට්ටමින් පළවෙමින් පවතින්නේ සැකයකි.

සිය මරණයට මුහුණ දෙන අවධියේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත්වුන ජමාල් කෂෝගි, 'වොෂිංටන් පෝස්ට්' (Washington Post) පුවත්පත සඳහා ලිපි සම්පාදනයේ නිරත විය.

මරණ දඬුවම

කෂෝගි අතුරුදහන්වීමත් සමඟ වරින්වර එකිනෙකට වෙනස් ප්‍රකාශන කරමින් සිටි සෞදි අරාබියට අන්තිමේ දී එම ඝාතනයට තමන් සම්බන්ධ බව පිළිගැනීමට සිදුවිය. සෞදි අරාබිය පැවසුවේ, මාධ්‍යවේදියා ආපසු සියරට ගෙන ඒම සඳහා ගිය කණ්ඩායමක් විසින් සිදුකරන ලද අසාර්ථක මෙහෙයුමක දී ඔහු මරා දමන ලද බවය.

එම ඝාතනය සම්බන්ධයෙන් 2019 දෙසැම්බර් මාසයේ සෞදි අරාබි උසාවියක් 'රියාද්' නගරයේදී රහසිගත නඩුවක් විභාග කොට නම් ප්‍රසිද්ධ නොකරන ලද චූදිතයින් පස් දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කරනු ලැබ ඇත.

එම සෞදි නඩු විභාගය "අධිකරණ න්‍යායට එරෙහි" ක්‍රියාමාර්ගයක් ලෙස විග්‍රහ කරන එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක් වන ඇග්නස් කලමාර්ඩ් (Agnes Callamard) කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් ස්වාධීන විභාගයක් පවත්වන ලෙස ඉල්ලීමක් කළාය.

 twetter පසුගිය සිකුරාදා 'ට්විටර්' ජාලයේ අදහස් දැක්වූ හැටිස් සෙන්ගිෂ් (Hatice Cengiz) "ජමාල් කෂෝගි අප සියලුදෙනාට වඩා ප්‍රකට ජාත්‍යන්තර සංකේතයක් බවට පත් වුනා. ආකර්ශනයක් සහ ආදරයක් දිනා ගත්තා," යනුවෙන් සඳහන් කළාය.

තවදුරටත් අදහස් දැක්වූ ඇය, තමන්ට අහිමි කෙරුණ සිය පෙම්වතා සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළාය.

"අපේ විවාහය සඳහා සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ලිය කියැවිලි ලබා ගැනීමට ඔහු ඔහුගේ රටට අයත් තානාපති කාර්යාලයට ඇතුල් වූ අවස්ථාවේ එතුළ දී මරා දමනු ලැබුනා. ඝාතකයන් කණ්ඩායම සෞදි අරාබියේ සිට පැමිණ සිටියේ, සැඟව පහර දී උපායශීලීව ඔහු මරාදමනු ලැබීමේ පූර්ව සැලසුමක් සහිතව."

ජමාල් කෂෝගිගේ පුත්‍රයා කියන්නේ කුමක්ද?

ජමාල් කෂෝගිගේ එක් පුත්‍රයකු වන දැනට සෞදි අරාබියේ 'ජෙඩා' නගරයේ ජීවත් වෙන සාලාහ් කෂෝගි විසින් 'ට්විටර්' ජාලයෙහි ප්‍රකාශයක් පළකරනු ලැබ තිබුණි. එහි මෙසේ දැක්වෙයි.

ඇතැම් පිරිස් පවසන්නේ, ඔටුන්න හිමි කුමරු හමු වීම හරහා කෂෝගිගේ පුත්‍රයාට රටින් පිටවීමේ අවස්ථාව ලැබී ඇති බවයImage copyrightHANDOUT/AFPImage captionඇතැම් පිරිස් පවසන්නේ, ඔටුන්න හිමි කුමරු හමු වීම හරහා කෂෝගිගේ පුත්‍රයාට රටින් පිටවීමේ අවස්ථාව ලැබී ඇති බවය

"මෙම ආශීර්වාදාත්මක රාමදාන් මාසයේ, ආශීර්වාදාත්මක රාත්‍රියේ අපි දෙවියන්ගේ පණිවුඩය සිහිපත් කරමු. යම්කිසි තැනැත්තෙක් සමාව ප්‍රදානය කරන්නේනම්, සංහිඳියාවට දායක වන්නේනම්, එම තැනැත්තා අල්ලාගෙන් යහපත් විපාක ලැබීමට යෝග්‍ය වන්නේය."

සාලාහ් කෂෝගි වැඩි දුරටත් මෙසේ සඳහන් කරයි.

"එබැවින් දේශය වෙනුවෙන් දිවි පුදන ලද ජමාල් කෂෝගි ගේ පුතුන් වන අප, අපගේ පියාණන් මරා දමන ලද පුද්ගලයන්ට සමාව ප්‍රදානය කිරීමක් ප්‍රකාශයට පත් කරන්නෙමු. සර්ව බලධාරී දෙවියන්ගේ යහපත් විපාකය බලාපොරොත්තු වෙමු."

ඉස්ලාම් නීතිය අනුව අපරාධයකට ගොදුරුවූ තැනැත්තෙකුගේ පවුලේ සාමාජිකයන්ගෙන් ලද සමාවක් අනුව මරණ දඬුවම් වෙනස් කරනු ලැබීමට අවස්ථාව ඇත. එහෙත් එම සහනය මෙම ඝාතනයට අදාළ කර ගත හැකිද? යන්න අපැහැදිලිය.

ජමාල් කෂෝගිගේ පුත් 'සාලාහ්' සෞදි අරාබියේ පැවැත්වුන අදාළ නඩු විභාගයට සහයෝගය සහ එම ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය පළ කරමින් මින්පෙරත් ප්‍රකාශන නිකුත් කර ඇත.

සිය පියාගේ මරණය පාවිච්චි කරමින්, රටේ නායකත්වය අසීරු අඩියකට ඇද දැමීමට යත්න දරන සෞදි අරාබියේ "සතුරන් සහ විරුද්ධවාදීන්" සාලාහ් කෂෝගි ගේ දෝෂ දර්ශනයට ලක්විය.

ජමාල් කෂෝගි මරා දමනු ලැබීමට වන්දියක් වශයෙන්, ඔහුගේ දරුවන්ට නිවාස සහ මාසික දීමනා ප්‍රදානය කරනු ලැබ ඇතැයි 'වොෂිංටන් පෝස්ට්' (Washington Post) පුවත්පත පසුගිය වසරේ වාර්තා කළේය.

එහෙත් ජමාල් ගේ දරුවන් අතරින් සෞදි අරාබියේ ජීවත්වීමට අදහස් කළ එකම තැනැත්තා, ඔහුගේ වැඩිමහල් පුත් 'සාලාහ් ' පමණකැයි එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබුණි.

ජමාල් කෂෝගිට සිදුවුනේ කුමක්ද?

ජමාල් කෂෝගි සියරට වූ සෞදි අරාබියෙන් 2017 වසරේ ස්වයං-පිටුවහල්ව, ඇමෙරිකා එක්සත් ජනපදයට ගොස් එහි පදිංචිව, සිය මාධ්‍යවේදී වෘත්තීය දිගටම කරගෙන යමින් සිටියේය.

ජමාල් කෂෝගි යනු සෞදි පුවත් ආයතන කිහිපයක් වෙනුවෙන් ප්‍රබල පුවත් ආවරණය කළ ප්‍රකට මාධ්‍යවේදියෙකි.

ඔහු සෞදි රජයේ උපදේශකයෙකු ලෙස ද සේවය කර ඇති අතර, පසුකාලීනව රජයේ උදහසට ලක් විය.

ඔහු 2018 ඔක්තෝබර් 02 දින තුර්කියේ, ඉස්තාන්බුල් නගරයේ පිහිටි සෞදි අරාබි කොන්සල් කාර්යාලයට පිවිසුනේ සිය පෙම්වතිය වූ තුර්කි ජාතික කාන්තාවක් වන හැටිස් සෙන්ගිෂ් (Hatice Cengiz) සමග විවාහවීම සඳහා සම්පූර්ණ කළයුතු ලියකියැවිලි ලබාගැනීම සඳහාය.

පරීක්ෂකයන්ගේ විශ්වාසය වන්නේ හැටිස් සෙන්ගිෂ් (Hatice Cengiz) එම කොන්සල් කාර්යාලය ඉදිරිපිට සිටියදී, ඝාතකයන් ජමාල් මරා දමා ඔහුගේ සිරුර කඩ කඩ කොට කපා කැබැලි කරන්නට ඇති බවය. එහෙත් එම සිරුරු කොටස් මෙතෙක් හමුවී නැත.

ජමාල් කොන්සල් කාර්යාලයෙන් පණපිටින් පිටත්ව ගිය බව එහි නිලධාරීහු ආරම්භයේ දී කියා සිටියහ. එහෙත් ජමාල් අතුරුදහන් වීමෙන් සති කීපයක් ඇතුළත එම නිලධාරීන්ට ඔහුගේ ඉරණම සම්බන්ධයෙන් විවිධ කතා කියන්නට සිදුවිය.

ජමාල් කෂෝගි ඝාතනය කරනු ලැබ තිබුණ ඇති බිහිසුණු කෲර විලාශය ඇතුළත් තොරතුරු ලෝකය කම්පාවට පත් කළේය.

ඉන් අනතුරුව ප්‍රකාශයට පත් කෙරුණ එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් කියැවුනේ,සෞදි අරාබි ඔටුන්න හිමි කුමරා සහ එරට ඉහළ මට්ටමේ තවත් නිලධාරීන් කණ්ඩායමක් එම ඝාතනය සම්බන්ධයෙන් පෞද්ගලික මට්ටමින් වගකිව යුතු බවය.

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු එම ඝාතනයට තමා හවුල් බවට එල්ල වෙන චෝදනා බැහැර කරයි. එහෙත් සෞදි අරාබි ආණ්ඩුවේ සේවයේ නිරත පුද්ගලයන් කණ්ඩායමක් එම අපරාධය සිදුකර ඇති හෙයින් රටේ නායකයා හැටියට එම අපරාධයේ සම්පූර්ණ වගකීම තමා භාරගන්නා බව ඔහු ප්‍රකාශ කර ඇත.

(බීබීසී )