Language Switcher

V2025

කාන්තාවන් පැහැරගෙන ආදරේ ඉල්ලන සමාජයක් !

සුම්බා' දූපතේ පවතින ''මනමාලියන් පැහැරගැනීමේ'' චාරිත්‍රය `නතරකරන බවට ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රතිඥාවක් දී ඇත.

දැඩි විවාදයකට බඳුන්ව ඇති ''මනමාලියන් පැහැර ගැනීමේ චාරිත්‍රය ක්‍රියාත්මක වන 'සුම්බා' යනු බාලි දූපතෙහි නැගෙනහිර දෙසින් පිහිටි තවත් දූපතකි..

මනමාලියන් කර ගැනීමට කාන්තාවන් පැහැර ගනු ලබන ආකාරය දැක්වෙන වීඩියෝපට නැරඹීමට ලැබීමත් සමඟ එම චාරිත්‍රය ඉන්දුනීසියාව තුළ ජාතික මට්ටමේ උණුසුම් විවාදයක් බවට පත්ව ඇත.

එම හිරිහැරයට ගොදුරු වූ කාන්තාවකට ඇයගේ අනන්‍යතාව රැකදීම සඳහා අපි ඇයට 'සිත්‍රා' (Citra) යයි කියමු.

ඉන්දුනීසියාවට අයත් සුම්බා දූපතේ පිහිටීමඉන්දුනීසියාවට අයත් සුම්බා දූපතේ පිහිටීම

ඇයට නිලධාරීන්ගෙන් කැඳවීමක් ලැබුණු අතර, සිත්‍රා පවසන පරිදි ඇය සිතුවේ එය රැකියාවට අදාළ හමුවක් ලෙසිනි. තමන් ආණ්ඩුවේ ප්‍රාදේශීය නිලධාරීන් යයි හඳුන්වා දුන් පුද්ගලයන් දෙදෙනෙක්, සිත්‍රා විසින් මෙහෙයවනු ලබන ප්‍රාදේශීය ආධාර ආයතනයකට අදාළ ව්‍යාපෘතියක වැය පක්ෂය ඉහළයාම (over budgets) සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අවශ්‍ය බව දැනුම් දී තිබිණි.

එම රැස්වීමට තමා පමණක් තනිවම සහභාගී වීමට සිදුවීම සම්බන්ධයෙන් විසිඅට හැවිරිදි සිත්‍රා තුළ එක්තරා බයාදු ගතියක් ද විය. එහෙත් සිය සේවාව තුළ වූ ගරුත්වය පිළිබඳ හැඟීම් විසින් ඇයගේ එම බයාදු හැඟීම් පරාජය කරන ලදුව දැනුම් දී තිබූ රැස්වීමට සහභාගීවීමට සිත්‍රා තීන්දු කළාය.

සාකච්ඡාව පැයක පමණ කාලයක් පෙරට යමින් තිබිණි. ඉන් අනතුරුව ඊට සහභාගී වෙමින් සිටි පුද්ගලයන් දෙදෙනා යෝජනා කළේ 'එම සාකච්ඡාව වෙනත් ස්ථානයක දීර්ඝ වශයෙන් පැවැත්විය යුතු' බවය. එම ස්ථානය කරා ඔවුන්ගේ මෝටර් රථයෙන් ගමන් ගැනීමට ඔවුහු ආරාධනා කළහ. තමා සිය යතුරු පැදියෙන් ගමන් ගන්නා බව කියා සිටිමින් සිත්‍රා යතුරු පැදිය පණගැන්වීමට එහි යතුර ස්විචයට ඇතුළු කරත්ම, හදිසියේ කඩා වැදුනු වෙනත් කණ්ඩායමක් ඇය ඔවුන්ගේ ග්‍රහණයට ගෙන පැහැර ගත්හ.

''මම ඔවුන්ට පා පහර එල්ල කරමින් කෑ ගසන්නට පටන් ගත්තා. ඒත් එක්කම ඔවුන් මාව කාර් එක ඇතුළට තල්ලු කෙරුව. මම අසරණ වුණා. කාර් එක ඇතුළේ දෙන්නෙක් මාව හිරකරගෙන හිටියා.'' සිත්‍රා පවසුවාය.

''මට තේරුණා සිද්ධවෙන්න යන්නේ මොකක්ද කියල''

පැහැර ගැනීමට ලක්වූ සිත්‍රාට කිසිවකු සමඟ විවාහ වෙන ලෙස නියෝග කරනු ලැබිණි.

'සුම්බා' දූපතේ පවතින ''මනාලියන් පැහැර ගැනීමේ'' ඊනියා චාරිත්‍රය හඳුන්වනු ලබන්නේ 'කවින් ටන්ග්කප්' (kawin tangkap) යනුවෙනි. මනමාලියක් සොයන පුරුෂයන්ගේ පවුල්වල ඥාතීන් හෝ ඔවුන්ගේ මිතුරන් විසින් කාන්තාවන් බලහත්කාරයෙන් ගෙන යනු ලැබීමේ මෙම චාරිත්‍රයේ ආරම්භය සම්බන්ධයෙන් විවාදයක් පවතී.

එම ඊනියා චාරිත්‍රය තහනම් කරන ලෙස කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින කණ්ඩායම් දිගුකලක පටන් ඉල්ලීම් කරමින් ඇතත් 'සුම්බා' දූපතේ කළාප කිහිපයක එය තවමත් ක්‍රියාත්මක වේ.

එහෙත් පසුගියදා ''මනමාලියන්'' දෙදෙනෙක් පැහැරගනු ලබන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලයේ විශාල වශයෙන් හුවමාරු වෙන්නට පටන් ගැනීමත් සමඟ ඉන්දුනීසියානු මධ්‍යම ආණ්ඩුව එම චාරිත්‍රය අවසන් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

''මට දැනුණේ මම මියැදෙමින් සිටිනවා වගේ ''

පැහැර ගැනීමට ලක්ව මෝටර් රථයකින් ගෙනයමින් සිටියදී සිය පෙම්වතාට සහ දෙමව්පියන්ට පණිවුඩයක් යැවීමට සිත්‍රා සමත් වූවාය. පැහැර ගත් පුද්ගලයන් විසින් ඇය ගෙන යන ලද්දේ ශිඛරයක් සහිත උස වහළක් සහ දැවමය කුළුණු සහිත සාම්ප්‍රදායික මන්දිරයක් වෙතය. ඇය පැහැර ගනු ලැබ තිබුණේ සිය පිය පාර්ශ්වයේ දුර නෑකමක් සහිත කණ්ඩායමක් විසින් බව සිත්‍රා තේරුම් ගත්තාය.

'' විශාල පිරිසක් අපි බලාපොරොත්තුවෙන් එතැන හිටියා. මම එම ස්ථානයට රැගෙන එනවත් එක්කම ඔවුන් යකඩ තැටියකට ගහන්න පටන් ගත්තා. ඒත් එක්කම විවාහ චාරිත්‍ර පටන්ගත්තා.''

සුම්බා දුපතේ පිරිමින් එක්වන උත්සව අවස්ථාවක්

සුම්බා දුපතේ පිරිමින් එක්වන උත්සව අවස්ථාවක්

'සුම්බා' දූපතේ ජනතාව ඉස්ලාම් හෝ කිතුනු දහම අදහන අතර ඊට අමතරව බොහෝදෙනෙකු විසින් අදහනු ලබන වෙනත් දහමක් ද ඇත. එය 'මරපු'(Marapu) දහමයි. ආත්මවාදී ධර්මයක් වන 'මරපු' අදහන ජනයා ජීවී-අජීවී සෑම දෙයකටම ආත්මයක් ඇතැයි පිළිගනිති. ලෝකය සමතුලිතව පවත්වා ගැනීම වෙනුවෙන් ඔවුහු උත්සව සහ යාගහෝම පුදපූජා පවත්වමින් අද්භූත ආත්ම පිනවීමට කටයුතු කරති.

''කෙනෙකුගේ නළලට වතුර ඉස්සාම ඔහුට හෝ ඇයට නිවසෙන් පිටවෙන්න බැරිය කියන විශ්වාසයක් 'සුම්බා' දූපතේ ජනතාව අතර තියෙනව'' සිත්‍රා ප්‍රකාශ කළාය.

''මොකක්ද සිද්ධ වෙන්න යන්නේ කියල මම හොඳ අවධානයකින් හිටියා. ඔවුන් මගේ නළලට වතුර දාන්න උත්සාහ කරන කොට අන්තිම මිනිත්තුවෙදී මම වහාම ඉවත හැරිලා ඒක මග හැරිය''

මේ අතර සිත්‍රා පැහැර ගත්තවුන් දිගින් දිගටම උත්සාහ කළේ එවැන්නක් සිදුකරන ලද්දේ ආදරය නිසා බව ඇයට ඒත්තු ගැන්වීමටය. ඒ අතරම ඔවුහු විවාහය සඳහා සිත්‍රාගේ කැමැත්ත දිනා ගැනීමට යත්න දරමින් සිටියහ.

''මම මගේ උගුරකට වේලෙනකම් ඇඬුව. පොළොවේ හැපුණා. මම මගේ මෝටර් සයිකලයේ යතුර බඩ අස්සේ හංගගෙනයි හිටියේ. යතුරට බඩ හීරිලා තිබුණා. මම මගේ ඔලුව විශාල ලී කණුවල හප්ප ගත්තා. මට ඕනෑ කෙරුවේ ඒ විවාහය මට අනවශ්‍ය බව ඔවුන්ට ඒත්තු ගන්වන්න. මම හිතුව ඔවුන් මට අනුකම්පා කරාවි කියල''

සුම්බා දූපතේ සම්ප්‍රදායික නිවාස ඇති ගම්මානයක්

සුම්බා දූපතේ සම්ප්‍රදායික නිවාස ඇති ගම්මානයක්

එහෙත් පැහැරගත් කණ්ඩායම සිත්‍රා තවත් දවස් හයක් ඔවුන්ගේ අත්අඩංගුවේ තබා ගත්හ. ඇය ඔවුන්ගේ නිවසේ සිරකාරියක් බවට පත්වූවාය. ඇයට එම ගෙදර සාලයේ නිදාගැනීමට සිදුවිය.

''රාත්‍රිය පුරාම මම කෙරුවේ අඬන එක. නිදාගත්තෙම නැහැ. මට දැනුන මම මරණය කරා ළඟාවෙමින් ඉන්නව කියල''

සිත්‍රා එම පවුලේ උදවිය විසින් දෙනු ලබන ආහාරපාන ප්‍රතික්ෂේප කළාය. ඊට හේතුව එම ආහාර බුදීමෙන් තමා ''බන්ධනයකට'' හසුවේය යන සැකය ය.

'' ඒ ආහාර අනුභව කළොත් ඒකෙ තේරුම විවාහයට 'කැමැත්ත'' දුන්න කියන එකයි''

මේ අතර සිත්‍රාට ආහාර සහ වතුර සැපයීමට සමත් වූ ඇයගේ සොහොයුරිය කාන්තා අයිතිවාසිකම් සංවිධානයක ද උපකාරය ඇතිව වෘද්ධ ගම්වාසීන් සහ විවාහය බලා සිටින මනමාලයාගේ පවුලත් සමඟ ඇය මුදා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කළාය.

සිය මුතුන් මිත්තන්ගේ සොහොනක චාරිත්‍ර ඉටුකරන සුම්බා දූපතේ කාන්තාවන් පිරිසක්

සිය මුතුන් මිත්තන්ගේ සොහොනක චාරිත්‍ර ඉටුකරන සුම්බා දූපතේ කාන්තාවන් පිරිසක්

''සාකච්ඡාවට සූදානමක් නැහැ ''

ඉහත කී ආකාරයට ''මනමාලියන් කර ගැනීම සඳහා'' පසුගිය අවුරුදු හතරක කාලය තුළ කාන්තාවන් පැහැරගනු ලැබීම් හතක් සම්බන්ධයෙන් 'Peruati' නම් කාන්තා අයිතිවාසිකම් සංවිධානය තොරතුරු වාර්තා කරයි. එවැනි තවත් පැහැරගැනීම් දූපතේ හුදෙකලා කළාපයන්හි බෙහෙවින් සිදුවනු ඇතැයි විශ්වාස කෙරේ.

එවැනි පැහැර ගැනීම්වලට ගොදුරු වූ සිත්‍රා ඇතුළු කාන්තාවන් තිදෙනෙක් නිදහස් වීමට සමත් වූහ. පසුගිය ජූනි මාසයේ ප්‍රසිද්ධියට පත් වීඩියෝ පටයක සටහන්වූ පැහැර ගැනීමට ලක්වූ කාන්තාවන් දෙදෙනාගෙන් එක් තැනැත්තියකගේ කතාව නිමවන්නේ තමා අවශ්‍ය කළ පුද්ගලයා සමඟ විවාහවීමට ඇයට සිදුවීමෙනි.

''ඔවුන් ඒ විදිහට රැඳී ඉන්නවා.මොකද, ඔවුන්ට වෙනත් තෝරා ගැනීමක් නැති නිසා'' උපදේශිකාවක වන 'අප්රිස්සා ටරනෝ' (Aprissa Taranau) පෙන්වා දෙන්නීය. ඇය 'Peruati' කාන්තා අයිතිවාසිකම් සංවිධනයේ ප්‍රාදේශීය නායිකාවය.

'''කවින් ටන්ග්කප්' (kawin tangkap) චාරිත්‍රය යොදා ගෙන ඇතැම්විට යෝජිත මට්ටමින් විවාහ සිදුකරන්නත් පුළුවන්. කාන්තාවන්ට සාකච්ඡා මගින් තීන්දුවක් ගන්න පුළුවන් පසුබිමක් නැහැ '' අප්රිස්සා පවසන්නීය.

අකැමැති විවාහ යෝජනාවලට පිටුපාන කාන්තාවන්ට ඔවුන්ගේම සමාජය විසින් නිතරම ගර්හා කරන බව ද ඇය පෙන්වා දෙයි.

මෑතදී සුම්බා දූපතේ කරන ලද පැහැරගැනීමක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දුනීසියාව තුළ වේගයෙන් ව්‍යාප්ත විය.

මෑතදී සුම්බා දූපතේ කරන ලද පැහැරගැනීමක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දුනීසියාව තුළ වේගයෙන් ව්‍යාප්ත විය.

'' බලහත්කාර විවාහයට අකැමැති කාන්තාවක් පහත්ය කියල ඔවුන්ට අවනම්බු කරමින් හංවඩු ගහනවා. ඇයට විවාහයක් කර ගැනීමට හෝ දරුවන් ලැබීමට බැහැයි කියල කියනව. එවැනි නින්දාවකට ලක්වීමට තියෙන බිය නිසා සමහර කාන්තාවන් බලහත්කාර විවාහ තුළ රැඳී ඉන්නවා'' ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

සිත්‍රා මෙසේ සඳහන් කළාය.

''දෙවියන්ට පිං සිද්ධවෙන්න ඕන. මම දැන් මගේ පෙම්වතා එක්ක විවාහවෙලා ඉන්නවා. අපට දැන් අවුරුද්දක පුතෙක් ඉන්නවා''

සිත්‍රා සිනා මුහුණින් යුතුව එසේ සඳහන් කළේ තමා මුහුණ දුන් අමිහිරි සිදුවීමෙන් වසර තුනකට පසුවය.

තහනම් කරන බවට පොරොන්දුවක්

''මනමාලියන් කර ගැනීමට කාන්තාවන් පැහැරගනු ලැබීම'' 'සුම්බා' දූපතේ උසස් සංස්කෘතික සම්ප්‍රදායක් නොවන බව පවසන එම දූපතේ වෘද්ධ වැසියකු සහ ඉතිහාසඥයකු වන ෆ්‍රාන්ස් වෝරා හෙබි (Frans Wora Hebi) එය සිදුකරනු ලබන්නේ වැදගැම්මකට නැති මිනිසුන් විසින් බව ද කියා සිටී.

ආරක්ෂාව භාර නායකයන් විසින් දැඩි පියවර නොගන්නා හෙයින් එම පුරුද්ද ඔවුන් දිගටම ගෙන යන බව ද ඔහු පෙන්වා දෙයි.

''එම ක්‍රියාව පාලනය කිරීමට නීති නැහැ. ඇතැම් වේලාවල සිද්ධ වෙන්නේ කාන්තාවන් පැහැරගත්ත පුද්ගලයන්ට සමාජය විසින් තර්ජනය කරනු ලැබීම විතරයි. නමුත් නෛතික හෝ සංස්කෘතිකමය අවහිර කිරීමක් සිද්ධ කෙරෙන්නේ නැහැ'' ෆ්‍රාන්ස් වෝරා හෙබි පවසයි.

කාන්තාවන් පැහැරගෙන යාමේ ක්‍රියාවට එරෙහිව ජාතික මට්ටමින් විරෝධය පළවීමත් සමඟ 'සුම්බා' දූපතේ ප්‍රාදේශීය නායකයන් විසින් එය තහනම් කෙරෙන ඒකාබද්ධ ප්‍රකාශනයකට මෙම ජූලි මාසය මුලදී අත්සන් තබනු ලැබ ඇත.

එම අවස්ථාවට සහභාගීවීම සඳහා ඉන්දුනීසියාවේ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ ඇමතිනී බින්ටන්ග් පුෂ්පයෝගා

(Bintang Puspayoga) ජකර්තා අගනුවර සිට සුම්බා දූපත කරා ගුවන් මගින් පැමිණ සිටියාය.

එම උත්සවයෙන් අනතුරුව මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වූ ඇමතිවරිය මෙසේ සඳහන් කළාය.

මනාලියන් කරගැනීමට කාන්තාවන් පැහැර ගැනීම අවසන් කරන බවට ඇමතිනි බින්ටන්ග් පුෂ්පයෝගා ප්‍රතිඥා දුන්නාය.

මනාලියන් කරගැනීමට කාන්තාවන් පැහැර ගැනීම අවසන් කරන බවට ඇමතිනි බින්ටන්ග් පුෂ්පයෝගා ප්‍රතිඥා දුන්නාය.

''විවාහකර ගනු ලැබීම සඳහා කාන්තාවන් බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ බෙහෙවින් සිදුකෙරෙන නමුත් එය 'සුම්බා' සංස්කෘතියට අයත් උසස් අංගයක් නොවන බව ප්‍රාදේශීය නායකයන්ගෙන් සහ ආගමික නායකයන්ගෙන් අපට අසන්නට ලැබුණා.''

අත්සන් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශනය එම පුරුද්ද නතරකර ගැනීම සඳහා ආණ්ඩුව දරන උත්සාහයක ආරම්භක පියවර වනු ඇතැයි ප්‍රතිඥාවක් ද දුන් ඇමතිවරිය, මනමාලියන් කර ගැනීමට කාන්තාවන් පැහැරගෙන යාම විග්‍රහ කළේ 'කාන්තා හිංසනයක්' ලෙසිනි.

ඉහත කී පියවර අගය කරන අතරම මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ එය '' දීර්ඝ ගමනක සමාරම්භක පියවරක් '' වන බවය.

''කාන්තාවන් පැහැරගෙන යාම'' වැලැක්වීම සඳහා ආණ්ඩුවේ අවධානය යොමුවීම අතිශයින් වැදගත් පියවරක්'' යයි සිත්‍රා ප්‍රකාශ කළාය.

එම ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් වශයෙන් වෙනත් කිසිදු කාන්තාවකට තමා මුහුණදුන් අමිහිරි අත්දැකීමට ගොදුරුවීමට සිදු නොවනු ඇතැයි ඇය බලාපොරොත්තු පළ කරන්නීය.

''මෙය අපේ මුතුන්මිත්තන්ගෙන් පැවත එන සංස්කෘතික අංගයක් කියල කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඒත් දැන් ඒක යල්පැන ගිය චාරිත්‍රයක්. ඒක දැන් නතරවිය යුතුයි. මොකද එම ක්‍රියාව කාන්තාවන්ට බරපතල හානිකරයි''

සිත්‍රා සිය අදහස් දැක්වීම අවසන් කරමින් සඳහන් කළාය.

(බීබීසී )