Language Switcher

V2025

මුස්ලිම් විරෝධී ප්‍රහාර වාසිදායක වූයේ කාට​ද?

අම්පාර සහ මහනුවරදී මුස්ලිම් ජනයා ඉලක්ක කොට එල්ල කෙරුණු වර්ගවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගේ ඉදිරි ප්‍රතිවිපාක කෙසේ වනු ඇතිදැයි කිසිවෙකුට අනාවැකි පළ කළ නොහැකි ය. නමුත් මුස්ලිම් විරෝධී පිපිරුමේ කෙටි කාලීන අතුරු වාසි අත්කර ගනු ඇත්තේ කවර බලවේගයන් විසින් ද යන්න විමසා බැලීම නොවැදගත් නොවේ. දෙමළ දේශපාලන විශ්ලේෂක නිලාන්දන් முஸ்லீம்களுக்கு எதிரான தாக்குதல்: பயனடைந்திருப்பது யார்? මැයෙන් ලියන ලද ලිපියෙන් අවධානය යොමුකරන්නේ ඒ ගැන ය.

පරිවර්තනය: ජීවේන්ද්‍රන් නඩරාජා සහ අතුල විතානගේ


‘‘යුද ගැටුම් වලින් පසුව ආර්ථික හා සමාජ ව්‍යාපෘති ඔස්සේ  ලංකාවට තිරසාර සාමයක් ඉතාමත් පහසුවෙන් උදා කර ගැනිමට හැකියාව තිබිණි. එහෙත් සිංහල බෞද්ධ බහුතරය ප්‍රමුඛත්වයේ ලා අනෙකුත් ජනයා කොන් කිරීම හේතුවෙන් ගොඩනැගුණ අර්බුදයෙන් තවමත් ගොඩ ඒමට නො හැකිව ඇත. වෙනත් බොහෝ  ජන සමාජයන්,  විවිධත්වය යහපත් දෙයක් ලෙස සැළකුව ද ලංකාව තවමත් ඒ කෙරෙහි  උනන්දුවක් දක්වා නොමැත.’’ -  ඉන්දියා​නු​ චින්තකයෙක් හා ආර්ථ ශාස්ත්‍රඥයෙක් වන අමර්ත්‍යා සෙන්

පුද්ගලයන් අතර ඇති වූ පුද්ගලික කෝන්තර අවසානයේ ජාතීන්ට එරෙහි  ගැටුම් දක්වා වර්ධනය වූ අවස්ථා අම්පාරේ දී හා නුවර දී අත් දකින්නට ලැබිණි. අම්පාර  නුවර මාර්ගයේ  බලගොල්ල, කෙන්ගල්ල, හුන්නස්ගිරිය, දිගන, මැද මහනුවර, තෙල්දෙණිය දක්වා ඇති, මුස්ලිම් ජනයා සතු වෙළඳ සැල් ඉතාමත් සැලසුම් සහගතව ප්‍රහාර එල්ල කරමින් විනාශ කරන ලදී. මෙම ප්‍රදේශයන්ගේ වෙළඳ සැල් හිමිකාරිත්වයෙන් 70%ක් ම මුස්ලිම් ජනයා සතු ය. එම මාර්ගයේ තිබු ඉතා කුඩා ප්‍රමාණයේ, තාවකාලික වෙළඳ සැලක් පවා අත් නො හැරීමට ප්‍රහාරකයෝ  වග බලාගත්හ. මේ මගින් පෙන්නුම් කරන්නේ කුමක්ද?

digana destroyed house jdslankaවර්ගවාදීන් විනාශ කළ නිවසක් - මහනුවර

මේ ප්‍රහාරයන් පිටුපස මුස්ලිම් ජනයාගේ ආර්ථිකය බිඳ දැමීමේ සැලසුමක් පවතී. දශක ගණනාවක සිට දකුණේ  දෙමළ ජනයාට එරෙහිවත්, මෑතක දී මුස්ලිම් ජනයාට එරෙහිව අලුත්ගම ප්‍රහාරයේ දීත්, ඉතාමත් සැලසුම් සහගතව ප්‍රහාරයන් දියත් කෙරුණේ ආර්ථිකමය ඉලක්කයන් වෙත ය. ‘බොදු බල සේනාව’ කැඳවූ පළමු මාධ්‍ය හමුවේදී ඔවුන් අවධාරණයෙන් පවසා සිටියේ බෞද්ධ ආර්ථික රාජ්‍යක් ගොඩනැඟීම ගැන ය. ඒ අනුව සලකා බැලීමේදී මෙය ඉතාමත් සැලසුම් සහගත ප්‍රහාරයක්  බව පැහැදිලි ය. සිංහල බෞද්ධයන් ට සුළුතර ජන ප්‍රජාවන් කෙරෙහි පවතින බිය සැක දුටුගැමුණු රාජ්‍ය කාලයේ සිට පැවත එන්නකි.

'අදෘෂ්‍යමාන හස්තය'

සිංහල බෞද්ධයන්ගේ ප්‍රධාන සංස්කෘතික නගරයක් වූ මහනුවර, මුස්ලිම් ජනයාගේ ද දෙවැනි ප්‍රධාන නගරය ලෙස සැළකෙයි.  එමෙන්ම දෙමළ ජනයාගේ ද වැදගත් ප්‍රධාන නගරයක් ලෙස මහනුවර සැළකේ. මහනුවර ආර්ථික සංවර්ධනයෙහි  හරි අඩකට පමණ දායකත්වයක් සපයනු ලබන්නේ ද මුස්ලිම් ජනයා විසිනි.

1915 දී මුස්ලිම් ජනයාට එරෙහිව ප්‍රහාරයක්, මහනුවර මුල් කරගනිමින් එල්ල විය. අද වන විට, එම ප්‍රහාරයට වසර සියයක් ඉක්මවා ගොස් තිබුණ ද,  තත්වයේ වෙනසක් සිදුව නොමැති බව පැහැදිලි ය. ලංකාව තුළ ජාතීන් අතර සහජීවනය  සහ අන්‍යෝන්‍ය අවබෝධය ගොඩ නැගී නො මැති බව මේ ප්‍රහාරයන් මගින් යළිත් අපට පෙන්නුම් කරනු ලබයි. මෙම ප්‍රහාරයන් දියත් කෙරුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙකු මෙ රටට පැමිණි අවස්තාවක වීම ද සැලකිය යුත්තකි.

මෙය ජාතීන් අතර කෝලාහලයක් ලෙසින් අර්ථකථනය කිරීම නිවැරදි නොවේ. ප්‍රහාරයන්ට ලක්ව පීඩාවට පත්ව ඇත්තේ මුස්ලිම් ජනතාව ය. ඇත්ත වශයෙන්ම මෙය බෞද්ධ අන්තවාදීන් විසින් මුස්ලිම් ජනයාට එරෙහිව එල්ල කෙරුණු ප්‍රහාරයකි.

අදෘශ්‍යමාන හස්තයක් විසින් ගමේ තරුණ තරුණියන් ප්‍රකෝප කර ඉන් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු කරනු ලැබ ඇතැයි  රජයේ ප්‍රධානියෙකු ප්‍රකාශ කර තිබිණි. එය 'අදෘශමාන හස්තයක්' කියා කිසිවිට ප්‍රකාශ කළ නො හැකි ය. මේ අදෘශමාන හස්තයේ ශක්තිය මහින්ද රාජපක්ෂට උපරිම වශයෙන් ලැබුණු අතර, මෛත්‍රීපාල  හා රනිල්  අතර ද මෙම 'ශක්තිය' පවතී. එහෙත් එය මහින්ද රාජපක්ෂට වඩා අඩු ප්‍රතිශතයකින් වීමට ඉඩ තිබේ. ආණ්ඩුව විසින් වෑයම් දරමින් තිබෙන්නේ මේ අදෘශ්‍යමාන හස්තය තම බල සීමාවෙන් පිටත පවතින දෙයක් ලෙස පෙන්වා දීමට ය. ඊට මුහුණලා සටන් කිරීමට ආණ්ඩුව කිසිසේත් සුදානම් නැත. එම බලවේගය ආවරණයක් ලෙසින් රජයේ  ත්‍රිවිධ හමුදා යාන්ත්‍රණය තුළ ද පවතී. ප්‍රහාරයට ලක් වූ මුස්ලිම් ජාතිකයෙක් අසරණව සිටිය දී ඔහු දෙස බලා සිනාසෙමින් විනෝදවන විශේෂ කාර්ය බලකා සෙබලෙකු දැක්වෙන වීඩියෝවක් අන්තර් ජාලය පුරා හුවමාරු වෙමින් තිබේ. මෙම 'අදෘශ්‍යමාන හස්තයේ' ශක්තිය රජයේ හමුදාවන් තුළ ද පවතින බවට එම වීඩියෝව කදිම සාක්ෂියකි.

බෙදා යටත් කිරීම

rauff hakeem cropped jdslankaඑමෙන් ම හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා කළ ප්‍රකාශය තුළින් ද ඒ 'හස්තය' පෙන්නුම් කෙරේ.  ඔහු ප්‍රකාශ කළ ආකාරයට දෙමළ ජනයාගේ අරගලය මර්දනය කර හමුදා ජයග්‍රහණයක් ලබා ගැනීමට මුස්ලිම් ජනයා ලබා දුන් රහස් ඔත්තු මහත් සේ උපකාරී වී තිබිණි.  මෙම ප්‍රකාශය මතු පිටින් කියවීමේදී මුස්ලිම් ජනයා කෙරෙහි සිංහල ජනයා තුළ ගෞරවයක් ඇති වෙතැයි පෙන්නුම් කළ ද, එහි යටි අරමුණ නම් මුස්ලිම් හා  දෙමළ ජනයා අතර ගැටුමක් නිර්මාණය කිරීම ය. මුස්ලිම් හා දෙමළ ජනයා අතර ගැටුම් ඇති කිරීම මගින්, ඔවුන් සිය පොදු සතුරාට එරෙහිව එක් පෙරමුණකට ගොනු වීම වැලැක්වීම මෙවැනි ප්‍රකාශයන් හි අරමුණු වේ. සිංහල බෞද්ධ අන්තවාදය ශක්තිමත් න්‍යායක, මිලිටරිමය ශක්තියක හා ආර්ථිකමය සැලසුමක පදනම් වී ඇති අතර ජනාධිපති සිරිසේන ප්‍රකාශ කරන අයුරින් එය කිසිසේත් ම 'අදෘශමාන හස්තයක්' නො වන බව නම් නිසැක ය.

එහෙත් මුස්ලිම් දේශපාලනඥයෝ විරෝධාකල්ප දේශපාලනයක් වෙත නැඹුරු නො වෙති. මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රහාරයන්ට එරෙහිව ආණ්ඩුව නිසි පියවර නො ගතහොත් තමන් ගිනි තබා ගන්නා බවටත්, මුස්ලිම් ජනයා ආයුද අතට ගන්නා බවටත්, මුස්ලිම් දේශපාලනඥයෝ ප්‍රකාශ කළෝ ය. එහෙත් මේ කිසිවක් ප්‍රායෝගික සිදු නොවේ. ඊට හේතුව හවුල් දේශපාලනය යි. ඒ හැරෙන්නට වෙනත් දේශපාලනයක් මුස්ලිම් දේශපාලනඥයෝ නොදන්නා තරම් ය. එසේ වීමට ලංකාවේ දේශපාලන පසුබිම ද බලපානු ඇත.  සිය ජන්දදායකයන් සැනසීම වෙනුවෙන් උද්‍යෝගීමත් වීරයෝ ලෙස පෙනී සිටිය ද මෙම දේශපාලනඥයෝ ආණ්ඩුව සමඟ උරණ නො වෙති. විශේෂයෙන් මෛත්‍රී හා රනිල් සමඟ ඇති සබඳතා බිඳ දැමීමට ඔවුහු මැලි වෙති.  ඒ හැර වෙනත් විකල්පයක් ඔවුන්ට නො මැත. පවතින යථාර්ථය එය යි. යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා මුස්ලිම් ජන්දදායකයා ද අතිමහත්  දායකත්වයක් දැරී ය. එබැවින් ආණ්ඩුව රැකගැනීම ඔවුහු සිය යුතුකම සේ සලකති.

බොදු බල සේනා සංවිධානය සැලකෙනුයේ මහින්ද රාජපක්ෂගේ අවජාතක පුත්‍රයා ලෙසිනි. එමෙන්ම 'පොහොට්ටුව' පිටුපස පවතින මානසිකත්වය මෙම මුස්ලිම් විරෝධී ප්‍රහාරයන්ට ශක්තියක් වූ බව ඒකාන්ත ය. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරය  රනිල් වික්‍රමසිංහ  සතුව තිබුණු කාලය තුළ දී  මේ ප්‍රහාරයන් දියත්වීම වැදගත් දෙයකි. ඒ පිළිබඳ වන වගකීමෙන් ඔහුට නිදහස් විය නො හැකි ය. එහෙත් මේ ගැන මුස්ලිම් නායකයෝ  වික්‍රමසිංහට එරෙහිව කිසිවක් නො පවසති. ඔවුන් කල්පනා කරනුයේ සිංහල බෞද්ධ අන්තවාදීන් මෙවැනි ප්‍රහාරයක් දියත් කරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ දුෂ්කරත්වයට පත් කිරීමට බව ය. එ බැවින් මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව රැක නො ගතහොත්, සිංහල බෞද්ධ අන්තවාදීන් යළි ආණ්ඩු බලය අත්පත් කරගනු ඇතැයි ඔවුහු විශ්වාස කරති. ඒ අනුව අද මුස්ලිම් නායකයන් තෝරන්නේ තමන්ට අඩුවෙන්ම නපුරක් සිදුවිය හැකි පාර්ශ්වය බැව් පැහැදිලි ය. විපාර්ශ්වික දේශපාලනයේ නිරත දෙමළ හා සිංහල දේශපාලන නායකයන් කෙරෙහි  වුවද පුර්ණ විශ්වාසයක් ඔවුන් තුළ නො මැත. විපාර්ශ්වික දේශපාලනයක් කරා එළඹුනහොත්  සිංහල බෞද්ධ අන්තවාදීන් මෙන්ම, සිංහල මධ්‍යස්ථ පිරිස් ද තමන්ට එරෙහි වනු ඇතැයි  මුස්ලිම් නායකයෝ විශ්වාස කරති. එ මෙන්ම දෙමළ හා මුස්ලිම් ජනයාගේ එකතුවක් කිසිදු සිංහල නායකයෙකු අපේක්ෂා නොකරනු ඇත.

වික්‍රමසිංහගේ ගැළවුම

දෙමළ ජාතිකවාදීන් සමග එක්ව සිංහල බෞද්ධ අන්තවාදයට මුළුමනින්ම එරෙහිවීමට මුස්ලිම් නායකයෝ මැලිකමක් දක්වති. ඔවුන්ගේ උත්සාහය වනුයේ මුළුමනින්ම එරෙහි නොවී, යටත් නොවන තත්ත්වයක සිට සම්මුතිවාදීවත් සමබරවත්  ක්‍රියා කිරීම ය. දශක ගණනාවක සිට මෙ වැනි දේශපාලන උපක්‍රම මගින් ඔවුන් මුස්ලිම් සමාජය පවත්වගෙන ගොස් තිබේ. එහෙත් මෙම සහයෝගිතා දේශපාලනය මගින් සිංහල බෞද්ධ අන්තවාදය තුළ පවතින බිය, සැක සංකා දුරුකර ඔවුන් සෑහීමකට පත් කිරීමට  මුස්ලිම් දේශපාලනඥයෝ අසමත් වුහ. එම නිසා සිංහල බෞද්ධ මධ්‍යස්ථවාදීන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇති අතර එය රනිල් වික්‍රමසිංහට ඉතා අනර්ඝ අවස්ථාවක් බිහිකර දෙයි. ඇති වූ සිදුවීම්වලින් ඔහුව දුර්වල කරනවාට වඩා තව තවත් ශක්තිමත් කෙරිණි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී 'පොහොට්ටුව' ලකුණින් තරඟ කළ රාජපක්ෂ කණ්ඩායම ලැබූ ජයග්‍රහණයත් සමග යහපාලන ආණ්ඩුව තුළ දෙදරීමක් ඇති වූ බව සැඟවිය හැකි නොවේ. එය මඟහරවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තුළ පුද්ගලයන් වෙනස් කරමින් කටයුතු කළ ද,  සිය පක්ෂය අභ්‍යන්තරයෙන් වික්‍රමසිංහට එරෙහි කැරැල්ලක් පැනනැගුණි. ඒමෙන්ම ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ද  ඉදිරිපත් කිරීමේ සුදානමක් ඒ මොහොතේදී පැවතිණි. සිය  පක්ෂ අභ්‍යන්තරයේ පැවති අර්බුදය සමථයකට පත් කරගැනීම වෙනුවෙන් වික්‍රමසිංහ සිය නායකත්වය වෙනත් අයෙකුට පිරිනැමීමට සුදානම් බව ද ප්‍රකාශ කළේය. එහෙත් අම්පාර හා මහනුවර ප්‍රහාරයන් හේතුවෙන් ඔහුගේ පක්ෂ නායකත්වය  පවා තාවකාලිකව ආරක්ෂා වී තිබේ. එය කොතෙක් කාලවක් පවතීදැයි මේ ලියන මොහොත වනවිට නොපැහැදිලි ය. එමෙන්ම ඔහුගේ පක්ෂය තුළ සිටින ඔහුගේ ප්‍රතිවාදීන්ගේ සටන් ද තාවකාලිකව හෝ කල් දමා ඇත. මහින්ද රාජපක්ෂ පාර්ශවය ද  රනිල් වික්‍රමසිංහට එරෙහි නො වන තත්ත්වයක් පෙන්නුම් කරයි. ඊට හේතුව මෙවැනි මොහොතක රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට කටයුතු කළහොත්, එය දැනට තමන්ට තිබෙන මුස්ලිම් ඡන්ද පවා අහිමිකර ගැනීමකට හේතුවනු ඇතැයි රාජපක්ෂ කල්පනා කරන බැවින් විය හැකි ය. එබැවින් රනිල් වික්‍රමසිංහට හුස්ම ගැනීම සඳහා පටු අවකාශයක් තාවකාලිකව හෝ නිර්මාණය වී තිබේ.

ranil w united national partyරනිල් වික්‍රමසිංහ

රට අභ්‍යන්තරයට පමණක් නොව, ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ද අම්පාර හා මහනුවර ප්‍රචණ්ඩ ප්‍රහාරයන්ගේ බලපෑම දැනෙනු ඇත. යහපාලන ආණ්ඩුව විසින් මේ අර්බුදකාරී අවස්ථාවේදී පවා අතුරුදහන් වුවන් පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාර්ථකව  සම්මත කර ගනු ලැබිණි. එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය මගින් කළ යෝජනාවකි. යහපාලන ආණ්ඩුව එය ඉටුකරන බවට පොරොන්දුවක් ද ලබා දී තිබිණි. නමුත් මේ මොහොතේ මුස්ලිම් විරෝධී ප්‍රහාරයන් පිළිබඳව ද එක්සත් ජාතීන්ගේ මෙන් ම බටහිර රටවල අවධානය යොමු වී ඇත. එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙකු රට තුළ සිටිය දී මෙවැනි ප්‍රහාරයන් දියත් වූව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ බටහිර රටවල් යහපාලන ආණ්ඩුව කෙරෙමහි දක්වන අනුග්‍රහශීලී පිළිවෙතට එයින් බලපෑමක් නොවනු නිසැක ය. ඔවුන් ලංකා ආණ්ඩුව සම්බන්ධයෙන් නොයෙකුත් යෝජනා මගින් චෝදනා ඉදිරිපත් කළ ද ඒවා ඇත්තෙන්ම කඩදාසි වලට පමණක් සීමා වනු ඇත. කිසිදු ප්‍රායෝගික බලපෑමක් ඉන් සිදු නොවන අතර සියලු පාර්ශවයන්ගේ ගැටළු එක් සාධකයක් මගින් එකිනෙක සම්බන්ධ වේ. ඒ වනාහී 'පොහොට්ටුවේ' හදිසි පිබිදීම ය.

ඉන්දියාව හා බටහිර රටවල් ද දායක වී, 2015 ජනවාරි 8වැනිදා සිදු කළ ආණ්ඩු වෙනසත් සමග ස්ථාපිත කළ බල තුලනය පසුගිය පළාත් පාලන මැතිවරණයත් සමග වෙනසකට ලක්විය. බල තුලනය යළි සකස් කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේත්, ප්‍රධාන වශයෙන් බටහිර රටවල්වලත් අවධානය යොමුවී ඇති බව ද පෙන්නුම් කෙරේ. ඒ සඳහා ගනු ලබන මුලික ක්‍රියා මාර්ගය වනුයේ යහපාලන ආණ්ඩුව රැක ගැනීම ය. ඒ සමග දෙමළ - මුස්ලිම් සහයෝගය යහපාලන ආණ්ඩුව තුළ තවදුරටත් රඳවා ගැනීම,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා මහින්ද පාර්ශවය අතර ගැටුම් තව දුරටත් පවත්වා ගෙන යාම, ආදිය තව දුරටත් නඩත්තු කිරීමට අවශ්‍ය වේ. එම නිසා යහපාලන ආණ්ඩුවට එරෙහිව බරපතල ගැටළු ඇති කිරීමට එකසත් ජාතීන්ගේ සංවිධානය කටයුතු නො කරනු ඇත.

රනිල් වික්‍රමසිංහ විසින් මහින්ද රාජපක්ෂ නැමති බිල්ලා පෙන්නා මුස්ලිම් ජනතාවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, සිය පක්ෂ අභ්‍යන්තරයේ ගැටළුත් සමනය කරගැනීමට පියවර ගනු  නිසැකය.  ඒ අනුව බලතොත් මුස්ලිම් ජනයාට එරෙහිව එල්ල කෙරුණු ප්‍රහාරවලින් දැනට සහනදායක අතුරු වාසියක් හිමි කරගෙන ඇත්තේ රනිල් වික්‍රමසිංහ බැව් බැලූ බැල්මට පෙනේ.☐

නිලාන්දන්


© JDS