Language Switcher

V2025

ජනමතය යනු කල්ලි කණ්ඩායම් පාලනයක්ද ?

මේ දිනවල සමාජයේ වැරදි මත ගොඩනැංවීම පිණිස වඩාත්ම අපයෝජනයට ලක්වන ප්‍රධාන සංකල්පයක් වන්නේ, ජනමතයයි (public opinion). ඛේදවාචකය නම්, මෙම අපයෝජනය සිතා මතා හෝ නොදැනුවත්ව වැඩියෙන්ම සිදුකරන්නේ, ඒ පිළිබඳව වඩාත් දැනුවත් යයි අප විශ්වාස කළ නීතිවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීය සමිති නායකයන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ආදී පිරිස් විසින් වීමයි.

පුළුල්ව අර්ථකථනය කළහොත් ජනමතය යනු, සමාජයක මිනිසුන්ගේ සාමූහික අදහස් නැතහොත් මතවාදයන්ය. මෙය සංකීර්ණ සංකල්පයක් බවට පත් වී තිබෙන්නේ ඒ තුළ තනි පුද්ගල අදහස් මෙන්ම කණ්ඩායම්වල අදහස් ද මිශ්‍ර වී ඇති බැවිනි. බොහෝ අය, ජනමතය යම් කණ්ඩායමක හෝ සංවිධානයක මතය ලෙස වරදවා වටහා ගන්නේ එබැවිනි.

ජනමාධ්‍ය ආයතන විසින් මෙම තනි පුද්ගල සහ කණ්ඩායම් මතවාද, තම තෝරා ගැනීමට සහ විශේෂතාවලට අනුව වරින් වර උලුප්පා දැක්වීම ද ජනමතය පිළිබඳ වැරදි වැටහීම් ඇති වීමට හේතු වී තිබේ. තම තනි පුද්ගල අදහස හෝ කණ්ඩායමේ හෝ සංවිධානයේ අදහස, එසේ නැතහොත් යම් ජනමාධ්‍ය ආයතනයක් විසින් ප්‍රවර්ධනය කරන අදහස ජනමතය ලෙස හුවා දක්වන්නට යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මේ දිනවල ව්‍යාකූලතා රැසක් ඇති වී තිබේ.

අප මතක තබා ගත යුත්තේ, අරගලකරුවන්, කැරලිකරුවන්, විවිධ දේශපාලන කල්ලි කණ්ඩායම්, සංවිධාන සහ ජනමාධ්‍ය ආයතන යනු, රටේ සමස්ත ජනගහනය නොවන බවයි. ඔවුන්ට සමස්ත ජනතාව නියෝජනය කිරීම සඳහා කිසිවෙකු විසින් ජනවරමක් (mandate) ලබා දී නැත. අප වෙනුවෙන් අරගල කරන්නට හෝ කැරලි ගසන්නට යයි කියා ජනතාව ඔවුන්ට ජනවරමක් ලබා දී නැත. එසේ නම් මෙවැනි පිරිස් රටේ සමස්ත ජනතාවගේ මතය නියෝජනය කරනවා යයි කියන්නේ කෙසේ ද?

කිසියම් විරෝධතාවයකට ජනයා එක්රැස් වීමෙන් ජනමතය පිළිබිඹු වන්නේ නැත. එම විරෝධතාවය හරහා කිසිවෙකුට ජනවරමක් ලැබෙන්නේ ද නැත. ජනමතය මැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක තිබෙන එකම නීත්‍යානුකූල සහ වලංගු ක්‍රමය වන්නේ කාලයෙන් කාලයට පවත්වන මැතිවරණයි. මත සමීක්ෂණ හරහා ඇතැම් අවස්ථාවල ජනමතය මැනිය හැකි නමුත් ඒවාට නීත්‍යානුකූල පිළිගැනීමක් නැත. ඒවායේ ප්‍රතිඵල හරහා ජනවරමක් ලැබෙන්නේ ද නැත. බොහෝ අවස්ථාවල ජන සමාජයෙන් කොටසක්, එසේ නැතහොත් නියැදියක් (sample) යොදාගෙන කරන මෙවැනි මත සමීක්ෂණවල ප්‍රතිඵලවලින් සැබෑ ජනමතය පිළිබිඹු වන්නේ ද නැත. මැතිවරණ ආසන්නයේ කරන මෙවැනි මත සමීක්ෂණවල ප්‍රතිඵල බොහෝ විට මැතිවරණ ප්‍රතිඵලයට වඩා සපුරා වෙනස්වන අවස්ථා බහුලය. එබැවින් ජන සමාජයක කොටසක් පමණක් දක්වන විරෝධතාවයකින් සමස්ත ජනමතය නියෝජනය නොවන බව පැහැදිලිය.

අප කැමති වුව ද, අකැමති වුව ද ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක ජනමතය නියෝජනය කරන්නේ, මහජන ඡන්දයෙන් දේශපාලන ආයතනවලට පත් කරන දේශපාලන නියෝජිතයන් විසිනි. අප මෙය හඳුන්වන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය (representative democracy) යනුවෙනි. ශ්‍රී ලංකාවේ ජනමතය නියෝජනය කරන ප්‍රධානතම ආයතනික ව්‍යුහය වන්නේ පාර්ලිමේන්තුවයි. මීට අමතරව එක් එක් පළාතේ සහ ප්‍රාදේශීය පාලන ඒකකයන්හි ජනමතය නියෝජනය කිරීමට පිළිවෙළින් පළාත් සභා, මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ස්ථාපිත කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමස්ත රාජ්‍යයම නියෝජනය වන ලෙස වෙනම මැතිවරණයකින් තෝරාපත් කරගත යුතු වුවත්, විශේෂිත අවස්ථාවල පාර්ලිමේන්තුවට ද ජනාධිපතිවයා තෝරා පත්කරගත හැකිය. පාර්ලිමේන්තුවට මෙම බලය ලබා දී ඇත්තේ, පාර්ලිමේන්තු නියෝජිතයන් සමස්ත රාජ්‍යයම නියෝජනය වන ලෙස මහජනතාව විසින් තෝරා පත්කරන බැවිනි. ජාතික ලැයිස්තුව හරහා පත්වන පාර්ලිමේන්තු නියෝජිතයෝ ද කිසිදු වෙනසකින් තොරව සමස්ත රාජ්‍යයම නියෝජනය කරති. ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව වැනි රටවල ජනාධිපතිවරු පත්වන්නේ සෘජු ජනතා ඡන්දයෙන් නොවේ; ජනතාව විසින් පත් කරන දේශපාලන නියෝජිතයන්ගේ ඡන්දයෙනි.

නමුත් අපට දිගින් දිගටම දකින්නට ලැබෙන්නේ, ජනමතය පිළිබඳ වූ ඉහත සත්‍යයන් සිතාමතා හෝ නොදැනුවත්කම නිසා අමතක කරමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය, මැතිවරණ ක්‍රමය ආදී සියලු කාරණා අභිභවා කල්ලි පාලනය ප්‍රවර්ධනය කිරීමට තැත් කරන වෘත්තිකයන් පිරිසක් සහ සංවිධාන කීපයකි. රටේ සමස්ත ජනමතය නියෝජනය කරන පාර්ලිමේන්තුවේ ඒකාන්ත බහුතරයක් ලබාගෙන ජනාධිපති ධුරයට පත් වීම ප්‍රජාතන්ත්‍රවාදී නොවීමටත්, කිසිදු පිළිගත හැකි නීත්‍යානුකූල හෝ ව්‍යවස්ථානුකූල බලයක් නැති කිසියම් කල්ලියක හෝ කල්ලි කීපයක මතය ප්‍රජාතන්ත්‍රවාදී වීමටත් විශේෂ හේතුවක් තිබේ ද? කිසියම් කල්ලියක්, කණ්ඩායමක් හෝ සංවිධානයක් රටේ සමස්ත ජනමතය නියෝජනය කරන්නේ යයි කීමට ඔවුන්ට ඇති සහතිකය කුමක් ද? කල්ලි පාලනයකට රාජ්‍යයක ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී ආයතනික ව්‍යුහයන් අභිභවා යා හැකි ද? රටේ මිලියන 22ක ජනගහනයෙන් මෙම කල්ලියට, කණ්ඩායමට හෝ සංවිධානයට සහය දෙන පිරිස කොපමණ ද? නිහඬව සිටින රටේ බහුතර ජනතාවගේ ජනමතය කුමක් ද? එක් එක් කල්ලි කණ්ඩායම්වලට සහය දක්වන නීතිවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීය සමිති නායකයන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ආදී පිරිස් විසින් 'ජනමතය නම් මෙය' යයි කියමින් රාජ්‍ය විරෝධී කල්ලි පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හුවා දැක්වීමට මේ තරම් වෙහෙසෙන්නේ ඇයි? මඳක් නැවතී ඔබම කල්පනා කර බලන්න. ව්‍යාජයක් මවා පාමින් ඔබව රවටා ඔවුන් ඔබව දක්කන්නට අර අඳින්නේ ඉම නොපෙනෙන මහා අරාජිකවාදයක් වෙත නොවේ ද? කොතරම් අඩුපාඩු සහිතව වුවත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කල්ලි පාලනයට වඩා ඉතාම යහපත් බව හොඳින් සිහි තබා ගන්න.

ආචාර්ය ඉන්දි අකුරුගොඩ
29.07.2022