එක්සත් ජාතික පක්ෂයේ 79 වෙනි සංවත්සර සැමරුම පසුගිය සෙනසුරාදා ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණි. වෙනත් වසරවල්වල මෙන් එම සංවත්සරය එක්සත් ජාතික පක්ෂයට පමණක් සීමා නොවී ශ්‍රී ලංකාවේ දැනට විපක්ෂයේ සිටින සියලු ම දේශපාලන පක්ෂ එකතු කරගෙන පැවැත්වීම විශේෂත්වයක් විය.
ප්‍රමුඛ දේශපාලන පක්ෂ 48ක නායකයින්
මෙහි දී ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගය ඇතුළු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ 48ක නායකයින්, නියෝජිතයින් 100 කට අධික පිරිසක් සහ පාක්ෂිකයින්ගේ එකමුතුවෙන් පැවැති මෙම සමුළුවෙහි දේශන පැවැත්වීමට ද කටයුතු කර තිබුණේ විපක්ෂයේ අනෙක් දේශපාලන පක්ෂ නියෝජනය කර කථිකයින්ට ය.
එය සම්පූර්ණයෙන් ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ යෝජනාවකට අනුව සිදුවීම ද කාගෙත් කතා බහට ලක්විය.
කෙසේ වෙතත් මෙවර සංවත්සර සැමරුම සියලු පක්ෂ එකමුතුවෙන් පැවැත්විය යුතු වන බවට යෝජනා වූ පසු මෙම පක්ෂ ඒකරාශී කරගැනීමේ වගකීම නායක රනිල් විසින් පවරන ලද්දේ වජිරට ය. ඒ මෙවැනි කර්තව්‍යයන් වජිර අකුරටම කරන බව නායක රනිල් දන්නා බැවිනි.
සංවත්සරයට පමණක් සීමා නොවූ එකමුතුවක්
කෙසේ වෙතත් රාජකාරිය පැවරු දින සිට ම ඒ සඳහා ක්‍රියාත්මක වූ වජිරගේ අවසන් ප්‍රතිඵලය මනාවට දිස් වූ බව පැමිණි සිටි දේශපාලනඥයින් වජිරගේ මූණට ම පවසා තිබුණි. ඊට අමතරව පැමිණි අනෙකුත් දේශපාලනඥයින් බොහෝමයක් වජිර ළඟට ම විත් වජිරට සුබ පතා තිබුණේ 'ඔබතුමා මේ කාර්යභාරය ඉතා හොඳින් මැනවින් සංවිධානය කර තිබණා' යැයි පවසමිනි.
ඒපමණක් නොව මෙම සැමරුම සඳහා මහා සංඝරත්නයට ද ආරාධනා කර තිබූ බැවින් වජිර ඊටත් පෙර සිට ම සූදානම් වූයේ උන්වහන්සේලාට අවශ්‍ය කරන දානමාන ආදියද නිසි පරිදි සංවිධානය කරමිනි. එම නිසාම කිසිඳු දෙයකින් අඩුපාඩුවක් නොවන ආකාරයෙන් හෝ කිසිම කෙනෙකුට වරදක් නොවෙන ආකාරයෙන් වජිර මෙම කර්තව්‍ය මැනවින් කර තිබු බව ද නායක රනිල් මෙම සංවත්සරයෙන් පසුව වජිරට පවසා තිබිණි.
කෙසේ නමුත් නායක රනිල්ගේ අදහස වූයේ ද මෙම එකමුතුව සංවත්සරයට පමණක් සීමා නොවී ඉදිරියටත් දේශපාලනිකව රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සහ වර්තමාන රජයේ ඒකාධිපති පාලනයට එරෙහිව ක්‍රියාත්මකවිය යුතු බවයි. එය ඔහුගේ කතාව අතරතුරදී ම පෙන්වා දී තිබිණි.
ජාජබ මන්ත්‍රීට වජිරගේ ගෞරවය
මේ අතර ජාතික ජනබලවේගයේ, කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති, අභාවප්‍රාප්ත මහිල් මුණසිංහගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා වජිර එක්වුණේ පසුගිය අඟහරුවාදා උදෑසනයි. කරන්දෙණියේ දේහය තැන්පත් කර ඇති නිවසට වජිර පැමිණියේ කරන්දෙණිය ආසන සංවිධායක නුවන් සොමිරත්න සමග වන අතර දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව වජිර මහීල්ගේ මව සහ බිරිඳ සමග ද කතාබහකට එක්විය. ඒ අවස්ථාවේ වජිර නායක රනිල්ගේ ශෝකයද ඒ මහතාගේ පවුලේ අය වෙත පළකර සිටියේ ය. පැය බාගයකට ආසන්න කාලයක් එම නිවසේ රැඳි සිටි වජිර ඉන් අනතුරුව ගාල්ල එක්ස්ත් ජාතික පක්ෂ කාර්යාලය වෙත පිටත්ව ගියේ තවත් වැඩකටයුත්තකට සහභාගී වීම සඳහා ය.
මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන ම වජිර මාතර බලා පිටත් වුණේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති සහ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහගේ මෑණියන් වූ අභාවප්‍රාප්ත කරුණාවතී හපුගොඩ ආරච්චි මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ය. කොළඹ වැඩ රාජකාරී කටයුතු බොහෝමයක් තිබුණත් ඒ සඳහා සහභාගී වීම අනිවාර්ය බැවින් වජිර ඒ සියලු කටයුතු පසෙකින් තබා ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්විය. දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව වීරසිංහ සමග සාකච්ඡාවකට එක් වූ අතර වජිර එහිදී තම නායක රනිල් වික්‍රමසිංහව දුරකථනය හරහා සම්බන්ධ කරගත් අතර නායක රනිල් ද ඒ අවස්ථාවේ දී සිය ශෝකය පළ කර සිටියේ ය.