දරුණු කොන්දේ අමාරුව තියාගෙන හිසට වහලයක් නොමැතිව, කුසගින්නට හරියට ආහාරයක් නැතුව ඇය ලිව්වා. ඒ පොතට බුකර්, ඩබ්ලින් සම්මාන ඇතුළුව සම්මාන හතරක් දින්නා. අවුරුදු 50කට අධික ඉතිහාසයක් තියෙන බුකර් සම්මානය වැඩකරන පන්තියෙන් ඇවිත් පළවෙනි වතාවට දිනන්නෙ ඇනා බර්න්ස්. ඇනාගේ කතාව සරල එකක් නෙමෙයි.
සාහිත්‍ය පිළිබඳ පළමු ඇල්ම
ඇය උපදින්නෙ උතුරු අයර්ලන්තයෙ. ඒ 1962 දී. ඇයට කුඩා කළ දකින්න ලැබෙන්නෙ ප්‍රචණ්ඩත්වයෙන් පිරි සමාජයක්. අරගල සහ යුද්ධ අතරෙ රුධිරය ගලා ගියා. ඇය ගිය පාසල ඒ කාලේ හඳුන්වලා තිබුණෙ ප්‍රසූත වාට්ටුව කියලා. ඒ තරමට ඒ පාසලේ ගෑනු ළමයි අඩු වයසින් ගැබ් අරගෙන තිබුණා. ඇනා පාසැල් ගමන අතාරින්නේ පාසැල් අධ්‍යාපනයට තිත තියලා තමන්ම ස්වයංව ඉගෙන ගන්න. ඊට පස්සෙ ඇය රෑ පන්තියකට යන්නෙ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. එතනදී තමයි ඇයට පළවෙනි වතාවට සාහිත්‍ය ගැන ඇල්මක් ඇතිවෙන්නෙ.
කුසට අහරක් මෙන් ම හිසට වහලක් අහිමිව
කොහොම හරි 1987දී ඇනා බර්න්ස් ඒ සමාජයෙන් පැනලා එංගලන්තයට පැනලා එන්න සමත් වෙනවා. හැබැයි ඇගේ ජීවිතය පහසු එකක් වෙන්නෙ නැහැ. ඇය 2001 දී තමන්ගෙ පළවෙනි නවකතාව ලියනවා. ඒක ඔරේන්ජ් ප්‍රයිස් එකට නිර්දේශ වෙනවා. ඊටපස්සෙ ඇය 2007 දී සහ 2014 දී පොත් ප්‍රකාශයට පත් කරනවා. හැබැයි මේවායින් ඇනාගේ ආර්ථිකය ශක්තිමත් වෙන්නෙ නැහැ. ඇගේ අවාසනාවට ඇයට බරපතළ කොන්දේ අමාරුවක් හැදෙනවා. මේ නිසාම ඇගේ රැකියාවත් අහිමි වෙනවා. ඒ එක්කම ඇයට කුලියක් ගෙවන්න බැරි නිසා හිසට වහලයකුත් කුසට ආහාරත් අහිමි වෙනවා. ඇයව ඉන් තරමකට ගලවා ගන්නේ පුණ්‍යාධාර යටතේ ක්‍රියාත්මක වෙන ආයතන දෙකක්. බුකර් සම්මානය දෝතට ගන්න වෙලාවේ මේ ආයතන දෙකට ම ස්තුති කරන්න ඇය අමතක කරන්නෙ නැහැ. ඇය ආහාර ලබාගන්නේ Food Banks නම් සංවිධානයකින්. ඇයට හිසට නිවහනක් දෙන්න තවත් එවැනි සංවිධානයක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ආයතන දෙක නොවුණානම්, ඇනා බර්න්ස් ඇගේ මිල්ක්මන් නවකතාව ලියලා අවසන් කරන එකකුත් නැහැ.
සම්මාන ලාභිනියක ලෙස කරළියට
ඇනා තමන්ගේ සිවුවැනි නවකතාව වන Milkman ලියන්න පටන් ගන්නෙ මේ වගේ අභියෝග ගණනාවක් එක්ක සටන් කරමින්. ඒ සටන් කිරීම ඇතුළෙ තිබුණෙ එකම දෙයයි. ඒ තමයි ලිවීමට ඇති ආසාව. එහෙම නොවුනා නම් හරියට ඉන්න තැනක්වත් නැති, කුසට හරියට ආහාරයක් නැතුව, දරුණු කොන්දේ අමාරුවක් එක්ක ඇය මිල්ක්මන් ලියන්නෙ නැහැ. ඇය ලිව්වෙ ඇය උපන් අයර්ලන්තයේ සිද්ධ වුණ දේවල්. මිල්ක්මන් නවකතාවට පදනම් වෙන්නෙත් ඇය ඒ උතුරු අයර්ලන්තයේ දී මුහුණ දීපු සිදුවීම්. ගැහැනු ළමයින්ව අපයෝජනයට ලක්කරන බලවත් පිරිමියෙක් වටා මේ කතාව ගොනු වෙනවා. මේ කතාවේ කිසිම චරිතයකට නම් නැහැ. ඒ වෙනුවට ඒ ඒ චරිත අතර සම්බන්ධය මත තමයි ඔවුන් ආමන්ත්‍රණය කරන්නෙ. ඇගේ වචන නිකන්ම වචන නෙමෙයි, දශක ගණනාවක් පුරා තමන්ගෙ ඇතුළෙ ම පිහි තුඩු වගේ ඇනෙමින් තිබුණ වේදනාවල එකතුවක්. ඒ වේදනාව ඇය සම්මාන හතරක් දිනන කෘතියක් බවට පත්කරනවා.
ඇනා ගේ පළමු පැතුම
බුකර් සම්මානය දිනාගත්තු වෙලේ ඇය කියන්නෙ මේ ත්‍යාග මුදල නිසා මට මගේ කොන්දේ සැත්කම කරගන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් මට දිගට ම ලියන්න ලැබේවි කියලා. ඇය තමයි බුකර් සම්මානය දිනපු පළමු උතුරු අයර්ලන්ත ලේඛිකාව. ඇය තමන්ගෙ පරම්පරාවෙ මිනිස්සු වෙනුවෙන් පෑන යොදාගත්තා. ඒ එක්කම ඇය අනාගතයටත් ඒ පොතෙන් ම කතා කරනවා. ඒ නිසාම ඒ පොතේ බලපෑම නූතනයට වැදගත්. ඒ වැදගත්කම අඳුන ගන්න බුකර් සම්මාන විනිශ්චය මණ්ඩලය මෙහෙම කියනවා.
“ඇනා බර්න්ස්ගේ මිල්ක්මන්ගේ භාෂාව සරලව ම අපූරුයි. ඒක ප්‍රහසනාත්මක, ඔරොත්තු දෙන, තීක්ෂණ බුද්ධියකින් යුතු සරලව කතා කරන උත්තම පුරුෂ ප්‍රධාන චරිතයේ සුවිශේෂි ලක්ෂණවලින් පටන් ගන්නවා.”
පූසකු ගේ වංකත්වය
ඇය තමන්ගේ මිල්ක්මන් කතාවේ මෙහෙම දෙයක් ලියනවා.
“පූසො බල්ලො වගේ ආදරය කරන්නෙ නැහැ. උන් ඒවා ගණන් ගන්නෙ නැහැ. මානවීය මමංකාරයක් ගොඩනගාගන්න උන් ගැන විශ්වාසය තියන්න බැහැ. උන් තමන්ගෙ මාර්ගයේ යනවා, උන්ට කැමති දේ කරනවා. කවදාවත් යටත් වෙන්නෙ නැහැ. කවදාවත් සමාව ඉල්ලන්නෙත් නැහැ. පූසෙක් සමාව ඉල්ලනවා කවුරුවත් දැකලා නැහැ. පූසෙක් එහෙම සමාව ගත්තා නම් ඒක කළේ අවංකව නොවෙන බව පැහැදිලියි.”
මේ මිල්ක්මන් කතාව පටන් ගන්නේ මිස්ටර් සම්බොඩි කියන කෙනෙක් මේ කතාවේ ප්‍රධාන චරිතය වන ගැහැනු ළමයාගේ පපුවට පිස්තෝලය තියලා ,'' උඹ පූසෙක්, මැරෙන්න ලෑස්ති වෙයන්''කියන තැනින්.
ඇනා බර්න්ස් කියන්නේ ලේඛිකාවක් ම නෙමෙයි ඇය අප්‍රතිහත ධෛර්යයේ සංකේතයක්.
(Rashmika Mandawala)

