සුනිලුන්ගේ බෝනිකි පාට කවි

සුනිලුන්ගේ බෝනිකි පාට කවි

තමා දන්නා කවි කලාපය පෘථුල කරගැනීමේ කාර්යයෙහිලා, සුනිලුන් ගේ කවිය එක්තරා බුද්ධි ප්‍රබෝධන ව්‍යාපෘතියක විශ්‍රාමයක් නැති කොටසක් ලෙස මම දකිමි.

කවියෙහි දෘෂ්ටිවාදී නැඹුරුව, ධනේශ්වර සමාජය කෙරෙහි දක්වන ආකල්පය සහ කවියෙහි ඇති කෙරෙන ප්‍රඥා - චමත්කාරය සහිත සෞන්දර්ය කාර්ය වෙනුවෙන් සුනිලුන් ගේ කවියෙහි පොදු ජන හඬ ලෞකික මනුෂ්‍යත්වය හරහා ගලා බසියි.

සංස්කෘතික වන්දනා ගමන

සුනිල් විජේසිරිවර්ධන යනු '90 ප්‍රවණතාවය ' ලෙස පුළුල් අරුතින් දැකිය හැකි, දකුණේ සිංහල සමාජයේ ඇති ප්‍රඥා සම්පන්න කලාව සහ දේශපාලන ක්‍රියාදාමයක පුරෝගාමියෙකි. සංෂිප්තභාවයෙන් ගතහොත් එය විසිවන සියවසේ මාක්ස්වාදයට පසුව පැමිණි නව පරිකල්පන සිතීම් ලෙස හැඳින්විය හැකියි. නිදහසින් පසු සමාජ සංස්ථාවෙහි ක්‍රමික විකාශනය සහ ඒ සඳහා බලපෑ දේශීය සහ ගෝලීය දෘෂ්ටිවාදීමය සංවාදය පිළිබඳව 'විභවි සංස්කෘතික මධ්‍යස්ථානයේ' සිට වත්මන දක්වා සංස්කෘතික වන්දනා ගමනක යෙදෙන ආචාර්ය සුනිලුන් විෂයානුබද්ධ සහසම්බන්ධ කලාවට සාහිත්‍යයික අත්දැකීමක් ම වන්නේ ය.


Sunil Wijesiriwardane
වැඩ පිළිවෙළක් සහිත සංස්කෘතික සංවිධානයක්

මාක්ස්වාදයේ පැරදුමෙන් පසුව බොහෝ දෙනෙකු හට පහසු තෝරාගැනීම වූයේ මාක්ස්වාදයේ මානව විමුක්තිවාදී උරුමය අතහැර වාර්ගික අනන්‍යතා වෙත මාරු වීම ය. එහෙත් මේ පහසු තෝරාගැනීමට එරෙහිව මාක්ස්වාදයට පක්ෂපාතී වුව ද, නව සිතීමක් සොයා යෑමට ගත් උත්සහයක් යන අරුතින් 90 ප්‍රවණතාවය හදුනාගත හැකිය. 90 දශකයේ විභවිය නව සංස්කෘතික සංවාදයකට පදනමක් ඉන්ද්‍රජාල යථාර්ථවාදය හා යථාර්ථවාදය නම් බෙදීමක් වෙමින් කෘති අගය කරන්නට වූයේ ය. මෙහි ප්‍රධාන න්‍යායාචාර්යවරයා සුනිලුන් ය. ප්‍රජාතන්ත්‍රවාදය සහ සහජීවනය වෙනුවෙන් දීර්ඝකාලීනව කැපවූ කවියා 1981 වසරෙහි මෙහි සම්ප්‍රාප්ත වන විට මෙහි ' සංස්කෘතික කාන්තාරයකට ' ගොඩ බස් බවත්, ඒ හේතුවෙන් ම ජීවන අරගලයකට නතු වූ බවත් පවසයි. ඉක්බිති, 1984 – 85 අවදිය වන විට අනුරපුරයේ වඩා විඳීමත් වැඩ පිළිවෙළක් සහිත සංස්කෘතික සංවිධානයක් බිහි කිරීමට ඔවුන්ට හැකි විය.

ජනතා සංස්කෘතික කේන්ද්‍රය

ධර්මසිරි රාජපක්ෂ, දයාසේන ගුණසේන ආදී කවීන්ගේ නිර්මාණ භාවිතාව තමන් විසූ අනුරපුර තරුණ පර්ශද සමග සක්‍රීය වූ අයුරුත්, ඒ වනවිට ජනතා විමුක්ති පෙරමුණෙන් විතැන්ව සිටි නන්දන මාරසිංහයන් ගේ සංවිධාන කෙෘශල්‍ය හරහා විජයානන්ද ජයවීර, ගුණදාස කපුගේ, ජයතිලක බණ්ඩාර සහ කරුණාරත්න දිවුල්ගනේ ආදීන් එකතු කරගත් ජනතා සංස්කෘතික කේන්ද්‍රය විසින් අනුරපුරයෙහි පමණක් නොව, නුවර සහ කොළඹ කේන්දීය ප්‍රදේශවල ද සාහිත්‍ය සංවාද ද, සම්මන්ත්‍රණ ද, සංස්කෘතික ක්‍රියාකාරකම් ද කවිය සහ කවියේ ප්‍රසංගිකත්වය අරඹයා තේමාත්මක වීමට ඔහුට හැකි විය. ඉක්බිති, නන්දන මාරසිංහගේ ඝාතනයෙන් පසුව දේශපාලන සරණාගතයින් ලෙස ඔවුන් අනුරපුරයෙන් කොළඹට සංක්‍රමණය විය.

1991 වසරේ විභවි සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිවූ අතර එය කවියේ නව මාන ගවේෂණයෙහිලා උදව් වූ බව කියැවේ.


රුසියානු ප්‍රේමවන්තයා

 

giri1

'ගිරි මුදුන මගේ නිවහන ' නම් කාව්‍ය සංග්‍රහයෙහි ඇත්තේ 2014 – 2016 යන තුන් වසර තුළ වූ කවියාගේ අපූර්ව නිමැවුම් ය. තමන්ට කලින් අවදිව, කවි මගට බට මිතුරන් නොමසුරුව දුන් පලයක මිහිරි අම මී රසය විඳිමින්, එහි ම මුල් බැස ගිය කාව්‍යමය පැනයක් තුළ ඔහු, නින්නාද වන්නේ ය.මන්ද යත්, ඒ මහා ණය රන් මිලෙන් ගෙවිය යුතු බව ද අගවමිනි. ඉතා සියුම් ලෙස තෝරාගත් ශබ්ද සහ විනිවිදින සුළු අන්තර්දෘෂ්ටිමය අනාවරණ කරන යෙදුම් සහිත මූලික චලන සමග ඔහුගේ කාව්‍යමය ඵලාප්තිය එයින් නිමැවෙයි.

තම ජීවිත පසුරින් දශකයකටත් වඩා රුසියානු පොළොවෙහි සැරිසරමින් ඒ හිලව්වට නැවත පෙරළා මව්රටට පැමිණි රුසියානු ප්‍රේමවන්තයා 'ගිම්හානේ යන්න ගිහින් ' නම් රජතමය යුගයේ රුසියන් කාව්‍ය දහර ලාංකේය පස් මිටක් පෙරළ, අස්වනු ගැනීම වස්, වපුරා අවසන් ය. ඉදින්, සුනිලුන්ගේ කවිය ගැන අදහසක් දක්වන්නේ නම් ඇත්තෙන් ම ඔහුගේ රුසියානු සාරය තුළ මඳක් කිමිදිය යුතු ම ය.

සාර් විරෝධය කෙරෙහි පුෂ්කිනියානු වෛරය

1917 සෝවියට් විප්ලවය අහම්බයක් නොවන වග කිව යුතු ය. එය පූර්ණ දැනුවත්, දේශපාලන ව්‍යාපාරයක මුදුන් මූලයක් විය. එමෙන් ම ඊට බොහෝ කාලයකට පෙර රුසියානු ප්‍රගතිශීලී ලියන්නන් සාර් රජුගේ අදාන්ත පාලනයට එරෙහිව සිය කාව්‍ය පිහි තුඩු අමෝරා ගත්තේ ය. ඇලෙක්සැන්ඩර් පුෂ්කින්, දොස්ත්‍රොවුස්කි, ලියෝ ටෝල්ස්ටෝයි, ආදී සුපක්‍රට ලියන්නෝ සාර් රජුගේ පාලනයට එරෙහිව මුල් පෙළෙහි සිටගෙන සිටියෝ ය. ඒ අතරින් පුෂ්කින් සුවිශේෂී වෙයි. මන්දයත්, රුසියානුවන්ගේ 'විප්ලවයේ කවියා' ඔහු ය. රුසියානු කවියෙහි පුරෝගාමියා සහ රුසියානු කවිය නව මානයකට ගෙනා ජාතික කවියා ලෙස ඇලෙක්සැන්ඩර් පුෂ්කීන් පිළිගැනෙන අතර, ඉංග්‍රීසි කවියේ ප්‍රකට රෝමාන්තික කවියන්ගේ ආභාෂය නොමදව ලබා ගත්තෙක් ලෙස පිළිගැනේ. පුෂ්කින් සිය කැරලිකාර මිතුරන් ස්ව - ගෞරවයෙන් අදහමින්, සාර් විරෝධය කෙරෙහි පුෂ්කිනියානු වෛරය එළිපිට ම අමෝරා ගත්තේ ය. එහෙත් ඒ වනවිටත්, පුෂ්කින් සාර් අධිරාජයා ගේ නිල කවියා වීමේ අභාග්‍යයට මුහුණපෑ හේතුවෙන් 1820 දී ඔහුට තාවකාලික පිටුවහල් දිවියක් ගත කිරීමට සිදු විය. එහි දී ඔහු විරාම නොතියා සංචාරයෙහි නියතු වෙයි. එහෙත්, මේ අවධිය වන විට රුසියානු ජාතික කවියා හැටියට ගොඩනගාගත් ප්‍රතිරූපය හේතුවෙන්, පුෂ්කින් ජාතික මට්ටමේ බුද්ධිමතෙකු වී සිටියේ ය .රුසියානු ජනකාය රැස්වෙමින්, ඔහු වෙනුවෙන් ආචාර සමාචාර ද, සතුටු දොඩමලු ද රැස් කළේ ය.පුෂ්කින්ගේ උතුරා හැලෙන ජන ප්‍රසාදය හේතුවෙන් පළමුවැනි නිකොලස් සාර් විසින්, 1826 දී ඔහුට සමාව නම් අභය දානය පිරි නමන ලදී.


images 1ඇලෙක්සැන්ඩර් පුෂ්කීන්
ද්වන්ධ සටන සහ සාර්

1837 පෙරවාරියේ 10 දා ශාන්ත පීටර්ස්බර්ග් අගනුවරදී සිදු වුණු ද්වන්දාත්මක සටනක දී ලබන ලද මාරාන්තික කැපුම් තුවාල කොටගෙන, මහා රුසියානු ජාතික කවියාගේ ප්‍රාණය නිරුත්තර වූයේ ය. මේ වූ ද්වන්ධය සාර් රජුගේ බල උපක්‍රමයක් හේතුවෙන් උසිගැන්වූ බවට සාහිත්‍යධරයින් අතර ප්‍රකට රහසක් බවට පත් වූයේ ය.

පුෂ්කින් සුවිශේෂී වන්නේ කවි ඇසුරෙන් පමණක් නොවේ, එවකට ජරපත් දුර්ගන්ධ ස්වභාවයෙන් ගලා ගිය සාර් පාලනය අනියමින් දෝෂයට නැගූ හෙයිනි. ඇලෙක්සැන්දර් පුෂ්කීන් ' ජාතික කවියෙකු' හැටියට හැඳින්වූ ඉවාන් තුර්ගිනිෆ්, කරන අපූරු ප්‍රකාශනයක් ඩබ්ලිවු. ඒ. අබේසිංහයන් ගේ අනුවාදයක් වන 'අහිගුණ්ඨිකයෝ සහ වෙනත් කවි ' නමැති කෘතියේ සඳහන් වෙයි; එය මෙබදු ය.

"අප, ජනතාව කියා හඳුන්වනු ලබන අයගෙන් කී දෙනෙක්, තම ශ්‍රේෂ්ඨ කවින්ගේ කවි කියවත් ද...? සාමාන්‍ය ජර්මන් ජනතාව, ගතේ කියවන්නේ නැත. වෙනකක් තබා, සාමාන්‍ය ඉංගිරීසි ජනතාව, ශේක්ස්පියර් කියවන්නේ ද නැත."

සුනිලුන්, ' වසත් සමර '' නම් වූ කොටසේ සෝවියට් දේශය, එහි කවීන් සහ එහි බිදවැටුම අළලා නිර්මිත කවි පංති හතර ඇසුරෙහි පුෂ්කින් වන්දනා ( ජූනි 06 ) නම් රමණීය කවිය මෙබඳු ය.


මොස්කව් මහා පුරවර
සරසවි දිවි දවස් මුල
රුසියන් බස ඉමිහිරි
පඬුරක් මෙන් තිලිණ කළ

ම'හද වැඩ වසන ඇදුරිනි
ඔල්ගා සිර්ගේව්නා
හඳුන්වා දුන්නා දිනක් ඔබව;
'කියවන්න පුෂ්කින් ලැදිව
ආදරයත් ඔබේ පොහොසත් වෙීවි'


අපට වැදගත් වන්නේ මෙවන් රමණීය කවියන් මෙවන් නව මං සොයා හැරුණේ කවර දිසාවකට යන්න විමසා බැලීමට ය. ඉංග්‍රීසි හා ප්‍රංශ නව කවිය පැහැදිලි ලෙස ම සිංහල නව කවිය පිටුපස සිටි බව කිව යුතු ය. වෝල්ට් විට්මන්, එස්රා පවුන්ඩ්, ටී. එස්. එලියට් සහ ප්‍රංශ සංකේතවාදී කවියන්ගේ බලපෑම අප පුරෝගාමී සිංහල කවියන් වන ජී. බී. සේනානායක, සිරි ගුනසිංහ, ගුණදාස අමරසේකර, මහගමසේකර යනාදි කවියන් ගේ කෘතිවලින් පැහැදිලි ව හඳුනාගත හැකි ය.

කාව්‍යමය ප්‍රාගුණ්‍යයක් අවශ්‍ය නිර්මාණ

මේ භාෂා ඥානනය සුනිලුන් කෙරෙහි ද බලවත් ලෙස ප්‍රසාරණය වූවකි. නිර්මාණකරුවා සහ ඔහුගේ නිර්මාණ වේශයට මේ නව පෙරළියක් කළ බලපෑම සුළුපටු එකක් නොවෙී. එය සුනිලුන් ගේ චින්තන ප්‍රභාවයට, රුසියානු පොළොව පිළිබඳව ඔහු ලැබූ අත්දැකීම්, ගැඹුරින් ආවර්ජනය කිරීමට සහ කවිත්වය මුවහත් කර ගැනීමට හේතු භූත වූ කරුණු බවට පෙනී යයි. ඇත්තෙන් ම, කවියෙක් යන අදහස හිතට නැගුණේ නැතැයි යැයි කියමින් ඔහු, කාව්‍යමය ප්‍රාගුණ්‍යයක් අවශ්‍ය නිර්මාණ කිහිපයක් ම තිබෙන්නේ ය. කේමදාසයන්ගේ මුල්ම ඔපෙරාමය නිමැවුමක් වන ' මානස විල ' නමින් කළ ලිබ්‍රෙටෝව, 'රත්නවල්ලී' නැමැති ඔහුගේ ම නාටකය, සහ 'යක්ෂාගමණය' නමින් කළ බ්‍රෙෂ්ට් ගේ (Arthuro ui); නාටකයේ පරිවර්තනය යන නිර්මාණ ඔහුගේ කාව්‍ය ශක්තිය වඩවන නිර්මාණ බව ඔහුගේ ම අදහස් සමග තීන්දු වෙයි.


674d3750 49b2 451c 8b11 b7aff9709be9
පූර්ණ ඔපෙරාමය හැඟීමකට සමීප නිර්මාණ තෙ පෙත්ත

මානස විල නූතන සිංහල කලා - සංස්කෘතික ඉතිහාසයේ වැදගත් සංසිද්ධියකි. මානස විලෙන් පසුව කේමදාසයන් විසින් වඩා පූර්ණ ඔපෙරාමය හැඟීමකට සමීප නිර්මාණ තෙ පෙත්තක් බිහි කළේ ය. ඒ නම්, ලූෂන් බුලත්සිංහල විසින් ලිබ්‍රෙටෝව සකසන ලද දොරමඬල සහ සොදුරු වර්ණදාසි යන නිර්මාණ දෙකත්, එරික් එලියප්පාරච්චි ලියූ අග්නි ඔපෙරාවත් ය. ඒවා කලා - සංස්කෘතික පර්යේෂකයින් ගේ, ගුරුවරුන් ගේ සහ විද්‍යර්ථීන් ගේ අවධානයට ලක්වේවා යැයි දැකීම සුනිලුන් ගේ පැතුම ය. මානස විල ඔපෙරාමය රංගයේ පිටපත 2021 වර්ෂයේ මුද්‍රණ කෘතියක් ලෙස ජනගත කෙරිණ.

විය නොහැකි දෙයෙහි කලාව

හැත්තෑව දශකය ආරම්භයේ වෛද්‍යවරයකු වීමේ අදහසින් සමාජවාදී සෝවියට් දේශය තරණය කරමින් වෛද්‍ය විද්‍යාව වෙනුවට කෘෂිකර්මය තම විෂය කරගත් සුනිලුන්, වසර දහයක් පමණ සෝවියට් දේශයේ සැරිසරමින් සෝවියට් ක්‍රමය සමග පැවති සමාජවාදී ක්‍රමය පිළිබඳව විවෙීචනාත්මක හැදෑරීම් කිහිපයක ම ස්ථානගත ව තිබෙනවා. ඉක්බිති ඔහු ලංකාවට සපැමිණින්නේ නව මතවාදී චින්තකයකු ලෙසිනි.

1917 දී රුසියාව බලයේ ප්‍රධාන බලය අත්පත් කර ගත්තේ ය. එහි දී විප්ලව දෙකක් රුසියානු වැහුම්කඩ මුළුමනින් ම වෙනසකට භාජනය කරන්නේ ය. ප්‍රධාන වශයෙන් ලිබරල් හා එක් සමාජවාදී විප්ලවවාදී ආණ්ඩු දෙකකට පෙබරවාරි මාසයේ දී රුසියානු අධිරාජයන් වෙනුවට පළමු වරට ප්‍රතිස්ථාපනය කළේ ය. ඒ නමුත් ව්‍යාකූලත්වයේ කාලයකට පසුව ලෙනින් නායකත්වය දුන් වාඩිලාගී සමාජවාදී කණ්ඩායම ඔක්තෝම්බර් මාසයේ දී බලය අල්ලා ගනී. ඔක්තෝබර් මාසයේ දෙවැනි රුසියානු විප්ලවය රුසියානු නායකයන් ලෙස බොල්ෂෙවික්වරුන් පත් කළේ ලෝක පළමු කොමියුනිස්ට් රට ය.

ලෙනින් පැවසූ පරිදි දේශපාලනය යනු විය නොහැකි දෙයෙහි කලාව බව පසක් කරමින් සමාජවාදී විප්ලවයක් මගින් බලය අල්ලා ගැනීමට ඔහු සමත් විය.

ඉක්බිති, සාර්වාදී රුසියාවේ අන්තනෝමතික පාලන තන්ත්‍රය පෙරළා දමා, අර්ධ වැඩවසම් ආර්ථික සහ දේශපාලන සම්බන්ධතා හි බුබුළු දමා තිබූ ඉතිරු අරළු බුළු සුන්බුන් ගිනි තබා අළු දූලි කර, ජාතික පීඩනය කුල්මත් කරන්නේ ය. මෙයින් ප්‍රකට ම කාරණය වන්නේ ඔවුන් ඔක්තෝබරයේ බලය අල්ලාගත් පසුව, පළමු කම්කරු රාජ්‍යය පිහිටුවාලීම සහ ලෝකය පුරා කම්කරු පන්තියේ සහ පීඩිත ජනයාගේ පන්ති විඥානයේ සහ දේශපාලන අවබෝධතාවේ ඥාණාන්විත කොටසක් අල්ලා ගැනීම ය. එනයින් ගත් කළ, 1930 කාලයේ ඇමරිකා එක්සත් ජනපදය තුළ කාර්මික වෘත්තීය සමිති ගොඩ නැගීම, දෙවන ලෝක යුද්ධයේ දී නාසි ජර්මනිය පරාජය කිරීම, ලෝක යුද්ධයෙන් පසුව සිදු වූ සමාජ සුභ සාධන ක්‍රියාවලි ආදී දෑ රුසියානු විප්ලවයේ සන්තෝස චාරිකා ය.

කාල් මාක්ස් ගේ ප්‍රාග්ධනය කෘතියට එරෙහිව කළ විප්ලවය

images 2අන්තෝනියෝ ග්‍රාමිස්චි
ඉතාලියානු දාර්ශනිකයෙක් වූ අන්තෝනියෝ ග්‍රාමිස්චි පැවසුවේ රුසියානු විප්ලවය යනු කාල් මාක්ස් ගේ ප්‍රාග්ධනය කෘතියට එරෙහිව කළ විප්ලවයක් බව ය. මන්දයත් සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව රුසියාව යනු විප්ලවයක් සිදුවිය හැකි යැයි සිතිය හැකි රටක් නොවන හේතුවෙනි. බෝල්ෂෙවික් පක්ෂයේ නායකත්වය යටතේ සෝවියට් බලය පිහිටුවීම, මාක්ස්ගේ ඓතිහාසික න්‍යායේ සුප්‍රකට කරුණක් වන පන්ති අරගලය අවශ්‍යයෙන් ම කම්කරු පන්තියේ ඒකාධිපතිත්වයට මග පාදන බව තහවුරු කළේ ය. ලෙනින්, රුසියානු විප්ලවය ධනේශ්වර තාවකාලික ආණ්ඩු පෙරළා දමා, ධනවාදයට විකල්පය මනෝරාජික සිහිනයක් නොව, කම්කරු පන්තියේ දැනුවත් දේශපාලන අරගලය තුළින් සාක්ෂාත් කර ගත් සැබෑවක් බව සනාථ කළේ ය. එහෙත් ඔක්තෝම්බර් විප්ලවය නමින් වාමවාදීහු උත්කෘෂ්ට ලෙස සසකන 87 – 89 කාලවකවානුවේ සිට තරුණ මර්දනයේ පාර්ශවයේ සිට මෙම සිද්ධිය සහ එහි සංඛේතීය බව අවසන් වී ඇති බව සත්‍යයක් නොවේ ද...?

විනෝදාත්මක වාර්තාකරණයේ බාහිර යොමුව
බර්ලින් තාප්පයෙන් පසු නැගෙනහිර ජර්මනියේ, ලතින් ඇමරිකාවෙී සහ පෙරදිග ලෝකයේ ද යන සෑම ඉසව්වකින් ම අසන්නට ලැබෙන්නේ මියගිය වමේ ශෝකී රාවය නොවේ ද...? පාගමන් සංස්කෘතිය, හෙලිකොප්ටර් ප්‍රදර්ශන, කොළඹ එක්රැස්වීම්, පීත්ත පටි, වෙඩි මුර ආදිය මිලියන ගණනක මුදල් අවභාවිතාවක් නොවන්නේ ද...?

ඔක්තෝබර් විප්ලවයේ 'ලාංකික' සැමරුම් සංවිධානය කරන මිනිසුන් සත්‍ය ජීවිතයේ සහ විප්ලවයේ කොන්දේසි අතර පරතරය නොදන්නවා නොවේ. එහෙත්, එය විනෝදාත්මක වාර්තාකරණයේ බාහිර යොමුවක් නොවන්නේ ද ? අප තවදුරටත් මේ කෘති බරපතළ ලෙස ගතයුත්තක් නොවේ ද...? ' මීහයිල් ෂෝලහෝව් ' ලියූ 'පෙරළුෑ නැවුම් පස ' නැමැති කොටස් දෙකකින් යුතු ග්‍රන්ථය පවා රුසියානු විප්ලවය පිළිබඳ වේදනාත්මක පරිකල්පනයක් දරනවා නොවේ ද...? නාගරික වපසරියක උපන් විප්ලවය අහේමාන ගාම්‍ය පරිසරයකට හේත්තු වීමෙන් මුහුණ දෙන කාෂ්ටක අවුල් සහ අත්දැකීම් පූර්ව ලෙස ම විවරණය කරයි.

එහි වූ විප්ලවවාදීන් වන 'දවීදව්', 'මකාර්' පමණක් නොව විප්ලවයෙන් සිහිමූර්ඡ වුව ද, රුසියානු වයෝවෘද්ධ පරම්පරාව සංඛේතමත් කරමින්, බොල්ෂෙවික්වරුන්ට අතිශයින් ප්‍රේම කරනා 'ෂුකාර් ' ද අප හදවත්හි කෙතරම් ඉඩකඩක ලැගුම් ගෙන ඇත්ද...?

මිනිසා සහ විශ්වය පිළිබඳ ප්‍රතිෂ්ඨාපිත ආකල්ප

මහා රුසියානු අධිරාජ්‍යය 1917 විප්ලවයට සූදානම් කිරීම අතිශය දුෂ්කර වෑයමක් වූයේ ය. ඒ නමුත්, වී.අයි. ලෙනින් ඇතුළු බොල්ෂෙවික් නායකයින් අවසානයේ සිය අරමුණ සඵල කර ගත්හ .ඒ වූ අතිමහත් කඩඉමේ වෙහෙස-මහන්සිය ජනයා වටහාගත්තේ රුසියානු සාහිත්‍ය කෘති තුළින් ය. ගෝර්කිගේ අම්මා යනාදි කථාංග තුළින් හෙළිදරව් වන්නේ සාර් පාලනය මෙන් ම, විප්ලවීය උරහිස් වල සාතිශය බර පිළිබඳව ය.


Cover Image3 8 e1509099789110වී.අයි. ලෙනින්
ක්ෂුද්‍ර වශයෙන් සමීප වූ රුසියානු කවිය

ක්‍රි.ව. 1596 – 1650 විසූ ඩෙකාටේ නම් දාර්ශනිකයා මිනිස් බුද්ධිය මෙහෙයවා සිතීම තුළින් බාහිර සත්තාව මිනිසාට ප්‍රගුණ කළ හැකි බව කියා පෑවා ය. නව කවිය අවැසි වූයේ මන්ද යත් එලියට් නම් කාව්‍යක්කාරයා වරෙක ඇසූ පරිදි ඇත්ත කවියා තමාගේ ප්‍රබන්ධය කිරීමෙන් ම, තමා ජීවත් වන යුගය ද ප්‍රබන්ධය කරන වග සඳහන් වෙයි. එසේ ආරම්භ වූ කාව්‍ය ව්‍යාපාරය මිනිසා සහ විශ්වය පිළිබඳ ප්‍රතිෂ්ඨාපිත ආකල්ප වගා කරේ ය.

කෙසේ වෙතත් රුසියානු සහ සෝවියට් ගද්‍ය සාහිත්‍යය අප වෙත කෙතරම් ළං වූව ද රුසියානු කවිය අපට සමීපව ඇත්තේ ඉතා ක්ෂුද්‍ර වශයෙනි. පරිවර්තිත කාව්‍ය මුද්‍රණය වී ඇත්තේ සෝවියට් යුගය නියෝජනය කරනා, එහි පූර්ණ අනුමැතිය ලද කවි ය. කවිය යනු ඥානාවලෝකනය උද්දීපනය කරනා සාහිත්‍යමය මැදිහත් වීමක්යැයි වටහා ගන්නට රුසියානු කාව්‍යයෙන් ලැබෙන සෙවණැල්ල අතිමහත් ය.

"සියවස් හරහා ඇදෙන විට
ලේ දහර දොළක් වෙයි
ඔයක් වෙයි, ගඟක් වෙයි
මානයක් කෙළවරක් නොපෙනෙයි
හිස මගේ කැරකෙයි.
මුල් සහස ගෙවා දෙවැන්නට එන කළ
නගා රළ දෙදරවා ඉවුරු,
හඹා එන්නා සේ ය මා පසුපස රුහිරු ගඟ"
( ප්‍රාග් මාතාවන්ගේ සංදේශය )

ගම සහ නූතනයෙහි වන සමාන්තර නොවන කොමඩිය


සුනිලුන්, දශකයක කාලයකින් ඉක්බිති රුසියාවේ සිට නැවත ඔහු අහස් ගමනෙන් පතිත වන්නේ තිසා වැවේ රමණීය වැව් ඉවුර මත්තට ය. ඉපලක තටු වේළන දියකාවන් ද, දිඹුල් ගසක හිටිවන හිටි පිළිහුඩුවා ද, පොතක් අතැති ඔහුගේ ම ළමා අවධිය ද, රළු පරළු සන්නිවේදන කාල චාරිකාවක් ලෙස විනිවිඳිමින් ගම සහ නූතනයෙහි වන සමාන්තර නොවන කොමඩිය ඔහු, අත්දකියි.

මානව විද්‍යඥයින් මෙන්ම සමාජ විද්‍යඥයින් ද ඔවුනොවුන්ගේ සන්දර්භයන් මත පිහිටා ගාම්‍ය පරිසරය නිර්වචනය කිරීම හරහා ගම සංකීර්ණ වීම හේතුවෙන් කෘෂිකර්මය තුළ පවා නවීකරණ ලක්ෂණ බිහි වී තිබේ. අතීතය ග්‍රාම්‍ය ජනාවාස රටාව පදනම් වූයේ කෘෂිකාර්මික ආර්ථික අර්ථ ක්‍රමය මත ය. එය පදනම් කර ගනිමින් ඊට අදාළ සමාජ දේශපාලන, තාක්ෂණික, සංස්කෘතික මෙන්ම අධ්‍යාත්මික සාරයක් ද මේ පද්ධතිය වටා පැවතිණි. නමුත්, ග්‍රාම්‍ය පරිසරයෙහි පිළිවෙළින් සිදුවූ වෙනස්කම් හේතුවෙන් රටක සංවර්ධනය සදහා අවැසි භාවිතයට නොගත් අතිරික්තය, ශ්‍රමය සහ සම්පත්, ස්වාධීනව විඳීමේ ප්‍රවණතා අහෝසි වීමෙන් ගම්මුන්ගේ මූලික අවශ්‍යතා පවා සන්තර්පණය නොවූ තත්වයකට ඇද වැටී ඇත. ඒ සදහා නව ආර්ථික මෙන්ම දේශපාලන සත්තාවන් ද ගැමි ජනපදවලට බලපාන්නට විය. නමුත්, ඔවුන්ගේ හිත් සතන් තුළ බැදුණු පුස්, කාරම් සහ කිළි කුණු ඇතිරුණු ජරපත් ගුණ ස්වභාවයේ අළු දූලි පිස දමන්නට, මේ ගාම්‍ය පරිසරය සමත්කම් දක්වන බව කිව යුතු ය. මුළුමනින් ම ගසක, පතක, නිදහස පිළිබඳ කාරණාව පමණක් කේන්ද්‍ර කරගනිමින්, එය ම සෙෘන්දර්යයක් ලෙස ගනිමින් ගම ඉපැදී තිබුණු බව කිව යුතු ය.

ගමත් - නගරයත් සමග මේ වූ වෙනස ගැන සංවාද

ගම, නගරය සමග හැම්මුණු සුලක්ෂණ සමග අතීතය ගම ව්‍යුහගත වූ කෘෂිකර්මය විනාශ වීම පිළිබඳ නටබුන් අළු දූලි පමණක් අද ඉතුරු වී තිබේ. රොබර්ට් රෙඩ්ෆීල්ඩ් යනාදින් අධ්‍යනයට ලක් කළේ ද මෙවන් ජන සමාජ සම්බන්ධතා ගැන ය.

පළමු ලෝක යුද්ධයෙන් පසුව දශකයන්හි චිකාගෝ විශ්වවිද්‍යාලයෙහි සමාජ විද්‍යාව පිළිබඳව ඇති වූ ප්‍රහර්ෂය සමග රොබර්ට් පාක්, ලුවී වර්ත්, සහ රෙඩ්ෆීල්ඩ් වැනි කෘතහස්ත ලේඛකයින් ගමත් - නගරයත් සමග මේ වූ වෙනස ගැන සංවාද ඇති කර ගත්තෝ ය. ග්‍රාම්‍ය ජනයා තමන් එක කොටසක මානව ක්‍රියාකාරකම් පිළිබඳව වූ පූර්ණය එකිනෙකා සමග හවුලේ බෙදාගත් අයුරු ද, නගරයේ දී එකිනෙකාගේ ජීවිතවල කොටස්කරුවන් වන අතර මිනිසුන් තුළ වන සංකීර්ණ මනෝභාව සහ අන්තර්ක්‍රියා විශේෂණය වූ කාර්යයන්ට බාධා වන බව කියා සිටියේ ය.


cover2
අකල් වැස්සෙන් හෙම්බත් වූ වන ඵලය

පණ්ඩුකාභය සිට මහ පැරකුම්බාවන් දක්වා සියවස් පහළොව දක්වා කාලය තුළ ගොවිතැන පහළ වූ හැටි ලාංකේය ජීවිතයට සෘජුව ම අදාළ වීම ප්‍රධානත ම සිද්ධියකි. පොළොන්නරු යුගය භාෂා සාහිත්‍යයේ දියුණුව පවා තනා ගත්තේ කෘෂිකාර්මික උසස් තත්වයක් තිබූ බැවින් යැයි පෙනේ. මිනිසුන් ඒ අතීතය තුළ ඇති ජීවිතය ගැන දනී. එතෙක් කොපමණක් ඒ අතීතය හදාරා ඇති ද, ඒ මුල් ම පෙර නිමිති මිනිසාට අමතක වන්නට විදිහක් නැත. මහා පැරකුම්බාවන් පවා කෘෂිකර්මය අග්‍ර කොට සැලකුවේ ය. තමන් පිළිබඳව වන ජීවන පුස්තකය ස්වයං සංඥාපයක් සේ තනා ගනිමින් ‘අහසින් වැටෙන එක වැසි බිදකුදු ප්‍රයෝජනයට රැගෙන මිස මුහුදට යා නො දෙමි’ යැයි මහා පරාර්ථකාමී අදහසින් උදම් ඇනුයේ ගොවිතැන කෙරෙහි වන අපමණ විශ්වාසය නිසාවෙන් බව වචනයෙන් පවා කිව යුතුද? එහෙත් සමස්ථ සමාජය අතරින් කෙමෙන් ඇදවැටෙන කෘෂිකාර්මික දාසභාවය සුනිලුන් තුළ පවා පිළිකුල දැනවෙමින් පැවතිණ. පොළොන්නරු යුගයෙන් පසුව අභාග්‍යට මෙන්, කෘෂිකාර්මික ඉෂ්ටාර්තය නියගයට හසුවූ යේ අකල් වැස්සෙන් හෙම්බත් වූ වන ඵලයක දිය රසක් මෙනි.

භරතමුනිටත් අභියෝගයක්...

දැන් මේ මොහොත පවා, කොළපත්‍ර ඇදහැලෙන ඔ්තනයක් වුවත්, කඳු අතර දෝංකාර නංවන සුළං සරය, දුබික් සායෙන් පෙළෙන විට වූවත්, කොහේ හෝ තැනක පැහැදුල් දිය කැටපතක් මතුවන තුරු කපක් වුව බලා හිඳින්නට ආසා වන මිනිසුන් මෙහි ඇති ය. එය කාන්තාරයක වූ ඉලුක් පතනක වුව, යමහල් මෝවිටක් බදු මහා ගිනි ඇවිළෙන නගරයක වුව, වෙනත් ඔ්නෑ ම තැනක සිට වෙනස් කරගත හැකි මානයක් වන්නේ ය. ඉදින් ඔහු, භරතමුනිටත් අභියෝග කර, ' වැරදියි භරතමුනි, මහරු කවියක විදින්නේ අප රස දැයි අසමින් පුරන් වූ හද කුඹුරු සී සා අස්වද්දන්න කිරි ගොවි රජුන් හට, කවි නගුලු හා ආදර හැගුම් පැස ගෙන සැබෑ කවි වප්මගුලකට ඇරයුම් කරයි. එය කෙතරම් රමණීය වදන් දැමිල්ලක් වන්නේ ද?

(සූරිය සිහබාහු)

උපුටා ගත්තේ Sooriya Sihabahu ගේ face book පිටුවෙන්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න