සෝවියට් දේශයේ අවසානය

සෝවියට් දේශයේ අවසානය

හරියටම මීට අවුරුදු 34 කට පෙර එනම් 1991 දෙසැම්බර් 26වන දා උදෑසන ටාස් ගුවන් විදුලියෙන් මෙම නිවේදනය නිකුත් කෙරුණා.

“සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයේ පැවැත්ම අද දින සිට අවසාන කරන බව උත්තරීතර සෝවියට් සභාව විසින් සෝවියට් දේශයේ මහජනතාව වෙත මෙයින් නිවේදනය කරනු ලැබේ.”

විසිවන සියවසේ ලෝකය හොල්ලා ගෙන සිටි සෝවියට් දේශය 1991 අද වැනි දිනක එසේ අවසාන වුණා.

හිසෙහි පැල්ලම සහ යථාර්ථය

හිසේ ලේ පැල්ලමක් සහිත මිනිසකු නිසා ලෝකයේ අවසානය සිදුවනු ඇතැයි බොහෝ කාලයකට පෙර යම් අනාවැකිකරුවකු පවසා තිබුණා. මිහායෙල් ගොර්බචොව් සෝවියට් නායකත්වයට පත් වීමෙන් පසු එකී කම්මුතුකරන්නා ගේ (Terminator) චරිතය ඔහුට ආදේශ කරන්නට සමහරු උත්සාහ කළා. ගොර්බචොව් ගේ හිසේ පැහැදිලිව එවැනි පැල්ලමක් තිබුණා. ඒ නිසා අනාවැකි විශ්වාසකරන්නන් සිතුවේ මහා බලවතුන් අතර තිබූ සීතල යුද්ධය ගිනියම් වී ලෝකය න්‍යෂ්ටික යුද්ධයක් දක්වා තල්ලු වී යනු ඇති බව.

ගොර්බචොව් ගේ ක්‍රියාකලාපය නිසා සෝවියට් දේශය කම්මුතු වී ගිය බව ඇත්ත. එසේම ලෝක සිතියමෙන් හරි අඩකටත් වඩා වසා පැතිර තිබූ රතු අධිරාජ්‍යය කම්මුතු වි ගිය බව ඇත්ත. නමුත් ලෝකයේ මතු පැවැත්ම වෙනුවෙන් ඔහු පියවර කිහිපයක් පස්සට ගත්තා. ඔහුගේ ක්‍රියාමාර්ග නිසා සම්ප්‍රදායික කොමියුනිස්ට් ලෝකය උඩු යටිකුරු වුවත් ඒවා ලෝක සාමය වෙනුවෙන් බොහෝ සෙයින් බල පෑවා.

ඇමෙරිකාව අත් පත් කරගත් නිරවි යුද්ධයේ ජයග්‍රහණය

කොයි තරම් මහා බලයක් තිබුණත් මිනිස්සුන්ට වරදින්න පුළුවන්. මිහායෙල් ගොර්බචොව්ටත් එහෙම වැරදුණා. ඔහුට ඇත්තටම වුවමනා වුණේ යල්පැන ගිය සීමා ඉවත්කර කොමියුනිස්ට් රාජ්‍යයට දියුණු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ එකතු කිරීම බව පැහැදිලියි. ඔහු ඒ වෙනුවෙන් නිර්භීත ආරම්භයක් ලබා ගත්තා. නමුත් ඒ ප්‍රජාතන්ත්‍රවාදය ම මකරකු මෙන් නැගී සිට සෝවියට් සංගමය කෑලි කෑලිවලට කඩා දැම්මා. ඇමෙරිකාව නිරවි යුද්ධයේ ජයග්‍රහණය ලෙහෙසියෙන් ම අත්පත්කර ගත්තා. ඔවුන් ලෝකයේ තනි සුපිරි බලවතාගේ ස්ථානය තහවුරු කරගත්තා.

1991 අගෝස්තු 19වන දා හරියටම උදෑසන 6.06 ට සෝවියට් ටාස් පුවත් සේවය කිසිවෙකු බලාපොරොත්තු නොවූ නිවේදනයක් නිකුත් කළා. සෝවියට් සංගමයේ ජනාධිපති මිහායෙල් ගොර්බචොව් සහෝදරයාව සෞඛ්‍ය හේතු මත තනතුරෙන් ඉවත් කළ බවත් සෝවියට් සංගමයේ පාලන බලය හදිසි අවස්ථා කමිටුවට පවරා ඇති බවත් එයින් කියැවුණා. වැඩබලන ජනාධිපති තනතුර උප ජනාධිපති ග්‍රෙනඩි යනායෙව් සහෝදරයා වෙත පවරා ඇති බවත් එම නිවේදනයෙන් වැඩි දුරටත් කියැවුණා.

ඒ වන විටත් මොස්කව් පාලනයේ මූලිකත්වයෙන් තිබූ රතු අධිරාජ්‍යය යම් ආකාරයකින් දෙදරා යමින් තිබුණා. නමුත් කොමියුනිස්ට් යාන්ත්‍රණය ආගමක් මෙන් ලොව පුරා තවදුරටත් ක්‍රියාත්මකව තිබුණා. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පවා කටයුතු කළේ ක්‍රෙම්ලිනයෙන් ලැබෙන පණිවුඩ අනුවයි. කොමියුනිස්ට් ලෝකයත් ක්‍රියාත්මක වුණේ හරියට රෝමානු කතෝලික පල්ලිය වගේ. කොමියුනිස්ට්වරුන් ගේ ශුද්ධෝත්තම පියතුමා තමයි සෝවියට් කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම්වරයා. චීනය, යුගෝස්ලෝවියාව යනාදි රටවල් කිහිපයක් හැරුණාම කොමියුනිස්ට් ජාත්‍යන්තරය තවදුරටත් ක්‍රෙම්ලිනයේ නායකත්වය පිළිගත්තා. ඇතුළතින් සහ පිටතින් ඉරිතළා ගියත් ඒ වන විටත් කොමියුනිස්ට් ජාත්‍යන්තරය හුස්ම ගනිමින් සිටියා. නමුත් ගොර්බචොව් ගේ ඉවත් කිරීම නිසා සියල්ල අවසාන විමට පාර කැපුණා.

අවසනාවන්ත නායකයා ගේ භූමිකාව

1917 දී ව්ලැදිමීර් උල්යානච් ලෙනින් ගේ නායකත්වයෙන් බිහිවූ මේ මහා දේශය පසුව ලොව පුරා රැල්ලක් මෙන් පැතිරී ගිය සමාජවාදී දේශපාලන මාදිලියට ජීවය සැපයූවා. දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රහණයත් සමග මහා බලසම්පන්න රාජ්‍යයක් ලෙස ඔවුන් වේගයෙන් ඉස්මතු වුණා. වසර 74 ක කාලයක් පුරා ගෝලීය දේශපාලනයේ එක් බල කේන්ද්‍රයක් නියෝජනය කළ සෝවියට් දේශය පරාජය කිරීමට එහි සතුරන්ට නො හැකි වුණා. නමුත් අවසානයේ මේ අපරාජිත දේශයේ නායකයාට ම එය විසුරුවා හැරීමට සිදුවීම දෛවෝපගතයි. 1991 දී ඒ අවසනාවන්ත නායකයා ගේ භූමිකාව රඟදැක්වූයේ ගොර්බචොව්.

න්‍යායාත්මක මාක්ස්වාදය මහපොළොවේ යථාර්ථයක් බවට පත්කළ සෝවියට් දේශයේ බිඳ වැටීමට හේතු කවරේදැයි විවිධ පාර්ශව විවිධ අයුරින් අර්ථකතනය කරනවා. ඒ පිළිබඳව විවාදය දශක තුනකට පසුත් තවමත් නිමා වී නැහැ. බොහෝ සම්ප්‍රදායික මාක්ස්වාදීන් සියලු චෝදනා ගොර්බචොව් ගේ ගිණුමට බැර කරන්නේ සෝවියට් ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට ඔහු විසින් ගන්නා ලද උත්සාහය සෝවියට් ශෝකාන්තයට හේතු වූ බව පවසමින්. බැලූ බැල්මට එසේ පෙනුණ ද සෝවියට් දේශය නම් යකඩ තිරය ඇතුළතින් ඉරිතලා යමින් තිබුණේ ඊට දශකයකට පමණ පෙර සිට බව පෙනෙන්නට තිබෙනවා.

ඇමරිකාව සමග කරට කර

1917 බෝල්ෂෙවික් විප්ලවයෙන් පසුව ගොඩනැඟුණු සෝවියට් දේශයේ අවසාන පාලකයා තමයි ගොර්බචොව්. විප්ලවයට නායකත්වය ලබා දුන් වී.අයි.ලෙනින් 1924 දී මියගියා. ඔහු සෝවියට් දේශය පාලනය කළේ සිව් වසරක් පමණයි. ඉන් පසුව බලයට පත්වූ ජෝසෆ් ස්ටාලින් ගේ පාලනය යටතේ ළදරු සමාජවාදී රාජ්‍යය ඒකාධිපති, ආඥාදායක අධිරාජ්‍යයක් බවට පරිවර්තනය වුණා. දෙවන ලෝක යුද්ධයේ දී ලැබූ ජයග්‍රහණයත් සමග සුපිරි බලවත් රාජ්‍යයක තත්ත්වයට පත් වූ සෝවියට් දේශය යුද ශක්තිය අතින් දක්ෂිණාංශික සුපිරි බලවතා වූ ඇමෙරිකා එක්සත් ජනපදය සමග කරට කර සටනකට අවතීර්ණ වුණා. ස්ටාලින්ගේ දශක තුනක පාලනය නිමා වූයේ 1953 වසරේ දී සිදුවූ ඔහුගේ මරණයත් සමඟයි.

ඉක්බිති ස්ටාලින්ගේ අනුගාමිකයෙකු වූ ජෝර්ජි මෙලන්කෝව් සෝවියට් නායකයා බවට පත්වුවත් ඔහුගේ පාලනය මාස අටකටත් අඩු කාලයකින් නිමාවට පත්වුණා.

සෝවියට් දේශයේ ස්වර්ණමය යුගය

කොමියුනිස්ට් පක්ෂයේ බලය අල්ලාගත් නිකිතා කෘෂෙෆ් සෝවියට් සංගමයේ පාලනය සියතට ගත්තා. ස්ටාලින් යුගයේ සිරගත කරන ලද දේශපාලන සිරකරුවන් නිදහස් කළ කෘෂෙෆ් වඩාත් මධ්‍යස්ථ හා විමධ්‍යගත කොමියුනිස්ට් පාලනයක් ගෙන ගියා. සෝවියට් දේශය අභ්‍යවකාශයට අවතීර්ණ වූයේ ද කෘෂෙෆ් යුගයේ දී. මගේ මතය අනුව සෝවියට් දේශයේ ස්වර්ණමය යුගය තමා කෲෂෙෆ් යුගය.

එකොළොස් වසරක කෘෂෙෆ් පාලනය නිමාවට පත්වූයේ ලියොනොඩ් බ්‍රෙෂ්නෙව් ඔහු ගේ අනුප්‍රාප්තිකයා බවට පත්කරමින්. ස්ටාලින්ට පසුව වැඩිම කලක් සෝවියට් සංගමය පාලනය කළේ බ්‍රෙෂ්නෙව්. ස්ටාලින් තරමටම නොවුනත් බලය තමා වටා ඒකරාශී කරගැනීමට බ්‍රෙෂ්නෙව් කටයුතු කළේ සෙසු පක්ෂ සාමාජිකයන්ගේ බලතල ද සීමා කරමින්.

ඉරිතැළීමේ ඇරඹුම

බ්‍රෙෂ්නෙව්ගේ දීර්ඝ පාලන කාලය සෝවියට් සංගමය ආර්ථික, සමාජීය හා දේශපාලන අංශවලින් එකතැන පල් වූ යුගයක් වූ බවයි මධ්‍යස්ථ විචාරකයින් ගේ මතය. අභිමානවත් ලෝක බලවතකු ලෙස නැඟී සිටියත් සෝවියට් ක්‍රමය ඇතුළතින් ඉරිතළා යෑම ආරම්භ වූයේ මේ කාලයේ බව කිව හැකියි.

ඒ වන විට ලෝක සිතියමෙන් භාගයකට වඩා වසාගත් සමූහාණ්ඩු 15 ක දැවැන්ත රාජ්‍යයක් ලෙස සෝවියට් සංගමය ගොඩ නැගී තිබුණා. යුක්‍රේනය, බෙලොරුසියාව, ලිතුවේනියාව, ලැට්වියාව, එස්තෝනියාව, ජෝර්ජියාව ආදී යුරෝපා රාජ්‍යත්, කසකස්තානය, අසර්බයිජානය, උස්බෙකිස්තානය, කිර්ගීසියාව ආදී ආසියානු රාජ්‍යත් සෝවියට් සංගමය යටතේ ගොනු වී තිබුණා. සෝවියට් සංගමය ලෝකයේ වාමාංශික රාජ්‍ය පද්ධතියේ උත්තරීතර අණදෙන්නා බවට පත්ව සිටියා. කෙසේ නමුත් දරාගත නොහැකි තරම් වපසරියක පාලනයක් මොස්කව් කේන්ද්‍රීයව සිදුකරගෙන යෑම අනෙකුත් සමූහාණ්ඩු වල නායකයන්ගේ නොමනාපයට හේතු වී තිබුණා.

වර්ෂ 1982 දී බ්‍රෙෂ්නෙව් මරණයට පත් වුණා. ඉන්පසුව සෝවියට් සංගමයේ නායකත්වයට පත්වූ යුරී අන්ද්‍රපෝව් ද වසර දෙකකින් මරණයට පත් වුණා. 1984 දී අන්ද්‍රපෝව්ගේ අනුප්‍රාප්තිකයා බවට පත් වූ කොන්ස්තන්තීන් චෙර්නෙන්කෝට වසරක්වත් බලයේ සිටීමට වාසනාව ලැබුණේ නැහැ. ඔහුත් මියගියා.

වයොවෘද්ධ නායකයින් වෙනුවට තරුණ නායකයකු

වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ සෝවියට් නායකයින් තුන් දෙනකු ම මිය යෑම නිසා කොමියුනිස්ට් පක්ෂය සිය ක්‍රමෝපාය වෙනස් කළා. වයොවෘද්ධ නායකයින් වෙනුවට වඩාත් තරුණ නායකයකු පත්කර ගැනීමට පොලිට් බියුරෝවට අවශ්‍ය වුණේ ඒ නිසයි. ඒ අනුව 1985 දී මිහායෙල් ගොර්බචොව් සෝවියට් දේශයේ උත්තරීතර නායකයා බවට පත්වුණා. වෘත්තියෙන් නීතීඥයෙකු වූ ගොර්බචොව්ගේ වයස ඒ වන විට 52 යි.

ගොර්බචොව් බලයට පත්වන විට සෝවියට් දේශය නිලධාරිවාදය, එක තැන පල්වන ආර්ථිකය සහ අකාර්යක්ෂමක නිපැයුම් නිසා අර්බුදයට පත්ව තිබුණා. මේ සඳහා ගොර්බචොව්ගේ විසඳුම් වූයේ, වඩාත් නිදහස් ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් හඳුන්වා දීමයි. පසුකාලීනව දේශපාලන ශබ්දකෝෂයට එකතු වූ පෙරෙස්ත්‍රොයිකා හා ග්ලාස්නොස්ට් යනු මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාන්විතයන්ට ලබා දී තිබූ නාම ය.

රොනල්ඩ් රේගන් ගේ කලබලය

පෙරෙස්ත්‍රොයිකා සහ ග්ලාස්නොස්ට් වැඩපිළිවෙළ පිළිබඳව ගොර්බචොව් මුලින්ම හෙළි කළේ 1985 ලෙනින්ග්‍රෑඩ් නගරයේ දී සිදුකළ ප්‍රකාශයකින්. මේ හදිසි ප්‍රකාශයත් සමග එවකට ඇමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් පවා කලබල වුණා. එදිනම ධවල මන්දිරයේ හදිසි සාකච්ඡාවක් කැඳවූ ජනාධිපතිවරයා මේ පිළිබඳව තමාට වාර්තා කරන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නා. ක්‍රෙම්ලිනයේ තම ප්‍රබල පසමිතුරා අල්ලන්නට හදන අඩව්ව ගැන නිවැරදි අදහසක් නොතිබුණු ධවල මන්දිර නිලධාරීන්ට පෙරෙස්ත්‍රොයිකා සහ ග්ලාස්නොස්ට් යන වචනවල තේරුම සොයා ගැනීමට රුසියානු ශබ්දකෝෂ සොයා දිව යෑමට පවා සිදුව තිබුණා.

ඔහු පෙරෙස්ත්‍රොයිකාව ලෙනින් ගේ නව ආර්ථික වැඩපිළිවෙළට නව පණ දීමක් ලෙස තමයි හැඳුන්වූවේ. එහෙත් මෙම ක්‍රියාමාර්ගවලින් විශේෂයෙන් ග්ලාස්ට්නොට්ස් හේතුවෙන් සෝවියට් රාජ්‍ය බලය දුර්වල වුණා. සමාජවාදය ගොඩනගමින් පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය අංගයක් වූ නිර්ධන පංති ආඥාදායකත්වය දුර්වලවීම බාහිර මෙන්ම අභ්‍යන්තර සතුරන්ට වාසිදායක වුණා. සමාජවාදය බිඳ වැටෙද්දී සෝවියට් රතු හමුදාව අක්‍රීයව සිටීම ද මීට සාක්ෂි සපයනවා. ප‍්‍රමාණාත්මකව පිරිහෙමින් තිබුණු සෝවියට් දේශය, ගුණාත්මක බිඳවැටීමක් බවට පත් කිරීමට ගොර්බචෝෆ් ගේ ප්‍රතිසංස්කරණ හේතු වූ බව පැහැදිලියි.

සුදෝ සුදු හිස කෙස් සහිත විනෝදකාමියා

කෙසේ නමුත් ඒ වන විට ගොර්බචොව් ගේ නායකත්වයට දැඩි අභියෝගයක් වෙමින් සුදෝ සුදු හිස කෙස් සහිත විනෝදකාමී පුද්ගලයකු රුසියානුවන් අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබුණා. ඔහු බොරිස් යෙල්ට්සින්. කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලනය පටන් ගත්තත් පසුව ඔහු ලිබරල්වාදී ධනේෂ්වර කඳවුරේ රුසියානු නියෝජිතයා බවට පත්වෙමින් තිබුණා. මොස්කව් නගරාධිපති ලෙස කටයුතු කරමින් සිටි ඔහු පසුව රුසියානු ෆෙඩරේෂණයේ ජනාධිපතිවරයා බවට පත්වුණා. සෝවියට් කොමියුනිස්ට් පක්ෂය නිර්ධය ලෙස විවේචනය කළ යෙල්ට්සින් ගොර්බචොව්ට මහා හිසරදයක් බවට පත්ව සිටියා.

ගොර්බචොව් කරන්න යන්නේ කුමක්දැයි යෙල්ට්සින්ට හරි අවබෝධයක් තිබුණෙ නෑ. ඇත්තට ම පෙරොස්ත්‍රොයිකා සහ ග්ලාස්නොස්ට් ප්‍රතිසංස්කරණ ඒ යුගයේ අවශ්‍යතාවක්. කොහොමත් ස්ටාලින් ගේ දැඩි පාලනයෙන් සමාජවාදයට වු කැළලි වහන්න ගොර්බචොව්ට සැබෑ වුවමනාවක් තිබුණා. ඔහුට සෝවියට් දේශයට සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දීමේ දැඩි උවමනාවක් තිබුණා. උග්‍ර ධනවාදියකු වූ යෙල්ට්සින් ගේ කඩි කුලප්පුව නොවන්නට දියුණු මානවීය දේශපාලන අදහස් තිබූ ගොර්බචොව්ට මහා යුරේසියානු කලාපය තුළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ගොඩනැගීමේ මනා ඉඩකඩක් තිබුණා.

යකඩ තිරයෙන් මෙපිට ලෝකය

නමුත් සම්ප්‍රදායික දැඩි මතධාරී කොමියුනිස්ට් නායකයන්ට ලෝකයේ නැගී එන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ. ක්‍රෙම්ලිනය තවදුරටත් තම බල පරාක්‍රමයේ සංකේතය ලෙසයි ඔවුන් සැළකුවේ. ඒත් මොස්කව් ක්‍රෙම්ලිනය අභිබවා යමින් ඊට ආසන්නයේ පිහිටි රුසියානු පාර්ලිමේන්තුව කෙමෙන් කෙමෙන් ශක්තිමත් වෙමින් තිබුණා. සෝවියට් සමූහාණ්ඩු අතර දැවැන්තයා වූ රුසියානු ෆෙඩරේෂණය තුළ පවා ජන මතය වෙනස් වෙමින් තිබුණා. සෝවියට් සංගමයේ සමූහාණ්ඩු අතර "ලොකු අයියාගේ" භූමිකාව රඟ දක්වනවාට වඩා නිදහස්, ස්වාධීන රුසියාවක් තුළ ජීවත් වීමේ කැමැත්ත වෙනුවන් රුසියානුවන් පෙනී සිටියා. මේක තමා ඇත්තටම ගොර්බචොව් හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලය. යකඩ තිරය ඈත් මෑත් වන විට මිනිස්සු ලෝකය දැක්කා. ඒ වගේම ඇමෙරිකානු CIA බළල් අත් සෝවියට් යාන්ත්‍රනය ඇතුළට රිංගා සිටි බව ද බැහැර කළ නොහැකියි.

රුසියානු බලය තවදුරටත් සම්ප්‍රදායික කොමියුනිස්ට් නායකයන් සතුව තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදීන් වේගයෙන් ශක්තිමත් වෙමින් තිබුණා. මෙකී ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයේ හිඩැස පිරවූයේ යෙල්ට්සින්. පැරණි කොමියුනිස්ට් නායකයන් යෙල්ට්සින්ව ප්‍රතික්ෂේප කළා. ඔවුන් යෙල්ට්සින් දුටුවේ ඇමෙරිකාවේ පදයට නටන ලිබරල්වාදී බේබද්දෙකු ලෙස. ඔවුන් යෙල්ට්සින්ගේ දේශපාලන කැරිස්මාව අවතක්සේරු කළා. නමුත් ගොර්බචොව් මහතා සිටියේ අතරමැද තැනක. කෙසේ හෝ සියලු දෙනා එක්ව තබාගෙන තමා බලාපොරොත්තු වූ සෝවියට් උතෝපියාව නිර්මාණය කිරීමට හැකි වේයැයි ඔහු තවදුරටත් විශ්වාස කළා.

හදිසි අවස්ථා කමිටුවක්

දැන් අපි නැවතත් 1991 අගෝස්තු 19 දිනට යමු. ටාස් ගුවන් විදුලියේ හදිසි නිවේදනය නිකුත් වන විට මොස්කව් නුවර මිනිස්සු උදෑසන අවන්හල් තුළ කෝපි බොමින් සිටියා. නගරයට බලපෑ දැඩි සීතල සුළං මැදින් තවත් අමුතු දෙයක් සිදුවෙමින් තිබුණා. රතු හමුදාවේ යුද ටැංකි රතු චතුරශ්‍රයට නුදුරින් එක පෙළට කොහේ හෝ ගමන් කරමින් තිබුණා. එකී රථ ගමන් කළේ රුසියානු ධවල මන්දිරය දෙසට. ඒ සෝවියට් නව නායකත්වයේ උපදෙස් අනුව බව අමුතුවෙන් කිව යුතු නැහැ. රාජ්‍ය කුමන්ත්‍රණයක් දියත් වී ඇති බව තේරුම්ගත් අවන්හල් තුළ සිටි ජනතාව කසු කුසු ගාන්නට වුණා.

තමාව ඉවත්කර සෝවියට් බලය ඇල්ලීමේ කුමන්ත්‍රණය සිදුවෙද්දී ගොර්බචොව් කොහොමත් මොස්කව් නුවර සිටියේ නැහැ.

එක දිගට සිදුවූ දේශපාලන කඩා වැටීම් යම් තරමකට සමනය කළ ගොර්බචොව් අගෝස්තු මුල් සතියේ දිනයක විවේක ගැනීම සඳහා ක්‍රිමියාව බලා පිටත්ව ගියා. කොහොමත් ඒ වන විටත් යුරෝපයේ කොමියුනිස්ට් යුද-දේශපාලනික සංධානය බිඳ වැටී අවසන්ව තිබුණා. වෝර්සෝ සංවිධානයට අයත් චෙකොස්ලෝවැකියාව, පෝලන්තය, රුමේනියාව, බල්ගේරියාවේ ආදී කොමියුනිස්ට් ආණ්ඩු සියල්ල බිඳ වැටී තිබුණා. බර්ලින් තාප්පය බිඳ දමා නැගෙනහිර සහ බටහිර ජර්මානු රාජ්‍ය දෙක එකතු වී තනි ජර්මානු රාජ්‍යයක් නිර්මාණය වී තිබුණා. ලිතුවේනියාව, ලැට්වියාව, එස්තෝනියාව යන බෝල්ටික් සමූහාණ්ඩු තුන තම ස්වාධීනත්වය ප්‍රකාශ කර තිබුණා. ඉන් පසුව කොමියුනිස්ට් බල කේන්ද්‍රයේ ආධිපත්‍යය ගොනු වී තිබුණේ ඉතිරි සෝවියට් සමූහාණ්ඩු කිහිපයක් තුළ පමණයි. මේ සමූහාණ්ඩු කිහිපය එකතු කර නව සෝවියට් පොදු රාජ්‍ය සංගමයක් බිහිකිරීමේ මූලික කටයුතු සිදුකර එකී ගිවිසුම් අස්සන් කිරීමට දින යොදාගෙන තමා ගොර්බචොව් මහතා විවේකය සඳහා ගියේ. තමන් නැවත පැමිණෙන තුරු මොස්කව්හි පාලනය සඳහා හදිසි අවස්ථා කමිටුවක් ඔහු විසින් පත්කරනු ලැබුවා.

කුමන්ත්‍රණකරුවන්ට වුවමනා වුණේ මේ ගිවිසුම අස්සන් කිරීම වැළැක්වීමට. පැරණි සෝවියට් සංගමය නම් වූ සිහිනයෙන් මිදීමට ඔවුන් කැමති වූයේ නැහැ.

අටදෙනා ගේ කල්ලිය

සෝවියට් සංගමයේ බලය ඇල්ලූ කුමන්ත්‍රණ කණ්ඩායම අට දෙනෙකුගෙන් සමන්විතයි. පුදුමය නම් ඔවුන් සියලු දෙනා ගොර්බචොව් පත් කළ හදිසි අවස්ථා කමිටුවේ ම සාමාජිකයන් වීම ය. අගමැති වැලන්ටීන් පවුලෝව්, අභ්‍යන්තර කටයුතු ඇමති බොරිස් පූගෝ, ආරක්ෂක ඇමති හා සෝවියට් සංගමයේ මාෂල් දිමිත්‍රි යාදොව්, කේජීබී සංවිධානයේ සභාපති ව්ලැදිමීර් කෘච්කෝව් ආදී සෝවියට් පාලනයේ ප්‍රබලයින් මෙම අටදෙනා ගේ කල්ලියට ඇතුළත්ව සිටියා. නව පාලනයේ නායකයා ලෙස බාහිරට පේන්න සිටියේ උප ජනපති ග්‍රෙනඩි යනායෙව් වුණත් ඇත්තටම තිරය පිටුපස සිට මෙය මෙහෙයවන ලද්දේ කේජීබී නායකයා බවයි පැවසෙන්නේ.

හමුදා භටයින් හාරදහසක්, යුද ටැංකි 350 ක් සහ සන්නද්ධ රථ 300 ක් අගනුවරට පැමිණ තිබුණා. පීස්කෝව් හි කර්මාන්තශාලාවකින් මාංචු යුගල 250,000 ක් ඇණවුම් කර තිබුණු බවත් පසුව වාර්තා වුණා. ඕනෑම මොහොතක නව ආණ්ඩුවට විරුද්ධ වන ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හැකි වන සේ හිස් ආකෘති පත්‍ර දහස් ගණනක් මුද්‍රණය කර තිබුණා. අලුතින් පාලන බලය ලබාගත් හදිසි අවස්ථා කමිටුව මහජන රැස්වීම්, පෙළපාළි සහ වැඩ වර්ජන ආදිය මාස හතරකට තහනම් කරමින් නිවේදනයක් ද නිකුත් කළා.

අටදෙනාගේ කල්ලිය සූදානම්ව සිටියේ තමන් සතුව දැවැන්ත බලයක් ඇති බව පෙන්නුම් කිරීමටයි. ඔවුන්ට වුවමනා වුණේ ඉක්මන් ජයග්‍රහණයක්. නමුත් ඒ වන විට ගොර්බචොව් ගේ ප්‍රතිසංස්කරණවල ආදීනව සෝවියට් සමාජය විසින් ඩැහැගෙන තිබුණා. පැරණි නිලධාරිවාදී, ඒකාධිපති ස්වරූපයේ රාජ්‍යයක් තවදුරටත් රට තුළ දක්නට ලැබුණේ නැහැ.

“හමුදා නීතියෙන් කොමියුනිස්ට් ක්‍රමය රකින්න බැහැ” කියමින් තරුණයින් බෙරිහන් දුන්නා. සොල්දාදුවන් නගරවල ස්ථානගත වීමත් සමග නිදහස් මතධාරීන් රටහැර යන්නට සූදානම් වුණා. ඉදිරිය ගැන අවිනිශ්චිත වූ නිසා මිනිස්සු බඩුමුට්ටු එකතු කරන්නට වුණා. බේකරිවල පාන් පෝලිම් හැදුණා.

කුමන්ත්‍රණකරුවන් ගේ අවතක්සේරුව

අට දෙනාගේ කල්ලිය තමන්ගේ ජයග්‍රහණය ගැන සිටියේ අධිතක්සේරුවක. ඒ නිසාම අවධානය යොමුකළ යුතු ම බාධක ඔවුන්ගෙන් ගිලිහී ගොස් තිබුණා. ඒ වන විට මොස්කව් බලයේ තීරණාත්මක සාධකය ගොර්බචොව් නොවන බව ඔවුන් තේරුම් ගෙන සිටියේ නැහැ. ඒ නිසාම ඔවුන්ට බොරිස් යෙල්ට්සින්ව අමතක වුණා. ඔහුව අත්අඩංගුවට ගැනීමක් සිදුවුණේ නැහැ. ඇත්තට ම ඒ වන විට මොස්කව්හි කොමියුනිස්ට් බලයේ ප්‍රධානතම සතුරා බවට පත්ව සිටියේ යෙල්ට්සින්. ඔහුට කළ හැකි භූමිකාව ගැන කුමන්ත්‍රණකරුවන් අවතක්සේරුවකින් සිටි බවයි පෙනෙන්නේ.

කුමන්ත්‍රණයේ නායකයින් ඒ වන විට රැඳී සිටියේ මොස්කව් හි ධවල මන්දිරය තුළ. ධවල මන්දිරය යනු සෝවියට් රජයේ මූලස්ථානය යි. යෙල්ට්සින් මොස්කව්හි ධවල මන්දිරය ඉදිරිපිටට පැමිණීමත් සමග දහස් ගණන් ජනතාව ඒ වෙතට රොක්වන්නට වුණා. ඔහු යුද ටැංකියක් මතට නැග කුමන්ත්‍රණය හෙළා දකිමින් වේගවත් කතාවක් පැවැත්වූවා. සැබැවින්ම එය ලෝක ඉතිහාසය වෙනස් කළ මොහොතක්. තමන් කිසි ලෙසකින් පසුබැසීමට සූදානම් නැති බව ඔහු ධෛර්යමත්ව පෙන්නුම් කළා. උද්යෝගිමත් වූ ප්‍රතිසංස්කරණවාදීන් වීදිවලට බැස්සා. ඔවුන් හමුදා සෙබළුන් ගෙන් ඉල්ලා සිටියේ කුමන්ත්‍රණයට දායක නොවන ලෙසයි. බොහෝ හමුදා සෙබළුන්ට තමන් කාගේ අණ පිළිපදින්නේදැයි සැකයක් තිබූ බව පෙනී ගියා. කුමන්ත්‍රණය ආපසු හැරවෙන බවක් තමයි පෙනෙන්නට තිබුණේ. හමුදා සේනාංක පවා අවසානයේ යෙල්ට්සින් ගේ පැත්ත ගත්තා.

කුමන්ත්‍රණයේ අසාර්ථකත්වය

කුමන්ත්‍රණකරුවන් රැඳී සිටි රුසියානු ධවල මන්දිරය අසළට තවතවත් ජනතාව එක්රැස් වුණා. ඒ ප්‍රමාණය ලක්ෂය ද ඉක්මවා ගියා. ඔවුන්ට වෙඩි තබා මන්දිරය ආරක්ෂා කිරීමට එහි ආරක්ෂාව භාරව සිටි හමුදා ප්‍රධානියා කැමති වුණේ නැහැ. එසේ කළ හොත් විශාල ලේ වැගිරීමක් සිදුවිය හැකි බව ඔහු තේරුම් ගත්තා.

අවසානයේ ධවල මන්දිරයේ ආරක්ෂාව භාරව සිටි හමුදා ජනරාල්වරයා කුමන්ත්‍රණයේ කොටස් කරුවකු වූ ආරක්ෂක ඇමති දිමිත්‍රි යාදොව් ඇමතුවා. තමන්ගේ සෙබළුන් තාවකාලික සෝවියට් පාලනයේ අණ ප්‍රතික්ෂේප කරන බව ඔහු වාර්තාකළා. ආරක්ෂක ඇමතිවරයා එය කේජීබී ප්‍රධානියාට දන්වා සිටියා.

“එහෙනම් මේක අල්ලලා දාමු.” බලාපොරෝත්තු සුන් වූ කුමන්ත්‍රණයේ නායකයා අවසානයේ තම සගයන්ට පවසා සිටියා.

අටදෙනාගේ කල්ලියට වුවමනාව තිබුණේත් විශාල ලේ වැගිරීමකින් තොරව නැවතත් සෝවියට් සංගමයේ බලය ස්ථාපිත කිරීමයි. මුල් අවස්ථාවේ සිටම දැඩි ආත්ම විස්වාසයකින් කටයුතු කිරීමට ඔවුන්ට නොහැකිව තිබුණා. ගොර්බචොව් මහතා බලයෙන් පහකළ බව පැවසීමට සංවිධානය කළ මාධ්‍ය හමුවේදී වුවත් යනායෙව් වෙව්ලමින් සිටි බව පෙනීගියා. තමන්ගේ අරමුණු පිළිබඳ අවිනිශ්චිතභාවයකින් හා දැඩි බියකින් ඔහු පසු වූ බවයි පැවසෙන්නේ. වගකීම් භාරගැනීමට කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. කුමන්ත්‍රණයේ ඇත්ත නායකයා වූ කේජීබී ප්‍රධානියා ඉදිරියට පැමිණියේත් නැහැ.

මේ අතර ජනාධිපති ගොර්බචොව් ඉවත් කිරීමට හදිසි අවස්ථා කමිටුව විසින් ගත් තීරණය නීති විරෝධී බවත්, කමිටුවේ සියලු නියෝග අවලංගු කරන බවත් උත්තරීතර සෝවියට් සභාව විසින් අගෝස්තු 21 දා ප්‍රකාශයට පත්කළා. වැඩබලන ජනාධිපති යනායෙව් විසින්ම එම කමිටුව විසිරුවා හැරියා.

 සියලු බලතල පාර්ලිමේන්තුව වෙත

අ‍ගෝස්තු 22 දා විශේෂිත ගුවන් යානයකින් ගොර්බචොව් මොස්කව් වෙත පැමිණුණා. නමුත් ඒ වන විට ඔහු සෝවියට් දේශයේ පාලකයා වුණේ සංකේතාත්මකව පමණයි. සියල්ල කණපිට ගැසී තිබුණා. ගොර්බචොව්ට තවදුරටත් කරන්නට යමක් ඉතිරි වී තිබුණේ නැහැ. ඔහුගේ නියෝග පිළිපදින්නට කෙනෙකු සිටියේ නැහැ. ඔහුට ඉතිරිව තිබුණේ යෙල්ට්සින් ගේ පදයට නැටීම පමණයි. යෙල්ට්සින් ජනතාව අතර වීරයෙකු වී සිටියා. තව දුරටත් සෝවියට් දේශයක් පැවතීම නිශ්ඵල බව සෑම පැත්තකින්ම පෙනීගියා. සෝවියට් සංගමයේ සම්පූර්ණ බලය බොරිස් යෙල්ටිසින් විසින් ඩැහැගෙන තිබුණා. යනායෙව් ඇතුළු අටදෙනාගේ කල්ලිය අත්අඩංගුවට පත්වුණා. එසේ අත්අඩංගුවට පත්වීමට මොහොතකට පෙර අභ්‍යන්තර කටයුතු ඇමති බොරිස් පූගෝ වෙඩිතබා ගෙන දිවි නසාගත්තා. සෝවියට් සංගමයේ ඇමතිවරු කිහිපදෙනෙක් නීති විරෝධී හදිසි අවස්ථා කමිටුවේ කටයුතු කර ඇති නිසා සෝවියට් රජය විසුරුවා හැරිය යුතු බව රුසියානු සමූහාණ්ඩුවේ පාර්ලිමේන්තුව මේ අතර යෝජනා කළා. අගෝස්තු 24 දා සෝවියට් දේශයේ සියලු ම බලතල තමා වෙත පවරාගන්නා බව රුසියානු පාර්ලිමේන්තුව නිවේදනය කළා.

එදිනම ගොර්බචොව් සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ධුරයෙන් එනම් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වුණා. එසේම සෝවියට් කොමියුනිස්ට් පක්ෂය විසිරුවා හැරෙන බවත් ප්‍රකාශයට පත්කළා. ඒ වන විටත් සෝවියට් ආරක්ෂක හමුදා සහාය හිමිව තිබුණේ රුසියානු පාර්ලිමේන්තුවට.

බලය ව්‍යාප්ත කිරීම සඳහා නැවතත් නොනවතින යුද්ධයක

කොහොම නමුත් දෙසැම්බර් දක්වා සෝවියට් සංගමයේ නාමික ජනාධිපති වරයා ලෙස ගොර්බචොව් මහතා කටයුතු කළා. දෙසැම්බර් 25 දින සවස ඔහු ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වුණා. 1991 දෙසැම්බර් 26 දා උදෑසන ටාස් ගුවන් විදුලියෙන් මෙම නිවේදනය නිකුත් කෙරුණා.

“සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයේ පැවැත්ම අද දින සිට අවසාන කරන බව උත්තරීතර සෝවියට් සභාව විසින් සෝවියට් දේශයේ මහජනතාව වෙත මෙයින් නිවේදනය කරනු ලැබේ.”

විසිවන සියවසේ ලෝකය හොල්ලා ගෙන සිටි සෝවියට් දේශය 1991 දී එසේ අවසාන වුණා.

සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයේ අවසානය පිළිබඳව එහි අවසාන පාලකයා වූ මිහායිල් ගොර්බචොව් මහතා පසුකාලීනව පැවසුවේ මෙහෙමයි.

"සිගරට් එකක් පත්තු කරගන්න ගිහින් උන් මුළු ගෙදරටම ගිනි තිබ්බා. බලය අල්ලගන්න වුවමනා වුණාට උන්ට ඒක ප්‍රජාතන්ත්‍රවාදීව කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් ඔවුන් අපරාධයකට යොමු වුණා. ඒක කුමන්ත්‍රණයක්."

පැරණි සෝවියට් දේශය ලෝක සිතියමින් ඉවත් වී ගොස් ඒ වෙනුවට රුසියාව ඉස්මතු වුණා. යෙල්ට්සින්ගෙන් පසුව ව්ලැදිමීර් පූටින් විසින් එහි සුක්කානම අතට ගත්තා. ඔහුගේ උත්සාහය වන්නේ යුදමය වශයෙන් සෝවියට් සුපිරි බලවතාගේ අනුප්‍රාප්තිකයා ලෙස රුසියාව පත්කිරීම බව පෙනෙන්නට තිබෙනවා. තම බලය ව්‍යාප්ත කිරීම සඳහා නැවතත් රුසියාව නොනවතින යුද්ධයක පැටලී සිටිනවා.

උකසට ගත් කොමියුනිස්ට් බෝඩ් ලෑලි

පසු ගිය දශක තුන තුළ ලෝකයේ බොහෝ දේශපාලන පෙරළි සිදුවුණා.බලසම්පන්න කොමියුනිස්ට් ජාත්‍යන්තරය වෙනුවට දැන් තිබෙන්නේ ඒ ඒ රටවල ජාතිකවාදීන් විසින් උකසට ගත් කොමියුනිස්ට් බෝඩ් ලෑලි පමණයි. එහි අතීත ශ්‍රී විභූතිය දැන් නැහැ. ඊට අමතරව නවීන ලෝකය සමඟ විසංවාදයක් නැති යල්පැනගිය සමාජවාදී විප්ලවකරුවන් මාක්ස්ගේ අනුගාමිකයන් ලෙස ගොඩනැඟී තිබෙනවා. ඔවුන් "කොමියුනිස්ට් ප්‍රකාශනය" හෝ "ප්‍රාග්ධනය" ආදී කෘති ගැන අහලාවත් නැති තොරම්බල්කරුවන් පිරිසක්. සමාජවාදය ඔවුන්ට විලාසිතාවක් පමණයි. සමහර සමාජවාදී රාජ්‍ය අන්තවාදී ආගමික කණ්ඩායම් විසින් අත්පත් කරගෙන තිබෙනවා.

ගොර්බචොව් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබයි

ලෝකය මේ සියලු අලකලංචි මැදින් ගමන් කරද්දී ගොර්බචොව් මහතා මොස්කව් නුවර නිවසට වී නිවිහැනහිල්ලේ ජීවත්වුණා. තමන්ගේ ප්‍රතිසංස්කරණ උත්සාහය නිසා ලෝකය උඩුයටිකුරු වුණත් ඔහුට පසුතැවිල්ලක් තිබුණේ නැහැ. ‍රුසියාව තම පැරණි සගයෙකු වූ යුක්‍රේනය සමග යුද්ධයක පැටලීම නිසා ගොර්බචොව් බොහෝ සෙයින් කම්පා වුණා. ඔහු විටින් විට මාධ්‍යවේදීන් හමු වෙමින් සැහැල්ලුවෙන් කාලය ගතකළා. අසනීපයෙන් පසු වූ හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් මියයෑමට පෙර ගොර්බචොව් මහතා ඇමෙරිකාවේ බුෂ් ගේ නිවසට ගියා. බුෂ් සමග පැරණි මතක අලුත් කරමින් සතුටු සාමීචියේ යෙදුණා. තමන් වටා ගොඩනැඟී තිබුණු අසීමිත බලය අතහැරීමට ඔහු දැක්වූ කැපවීම අගය කළ යුතුයි. එය එසේ මෙසේ බලයක් නොවෙයි. ලෝකයේ පැවත්ම පවා තීරණය කිරීමේ ව්ශ්වීය බලයක්.

සෝවියට් දේශය තුළ සිදුකළ දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණයන්ට අමතරව ඔහු ලෝක සාමය වෙනුවෙන් ද බොහෝ පියවර ගත්තා. ඇමෙරිකාව සමඟ න්‍යෂ්ටික පාලන ගිවිසුමකට ඇතුළත් වුණේ ගොර්බචොව් යුගයේ දී. ඒ නිසාම ඔහුට 1990 දී නොබෙල් සාම ත්‍යාගය පවා හිමි වුණා. මේ ප්‍රමාණික මිනිසා 2022 අගෝස්තු 30 වෙනිදා උදෑසන නික්ම ගියා. ඔහුගේ මරණයෙන් පසු ලියූ කුඩා සටහනකට මෙවැනි කමෙන්ටුවක් වැටී තිබුණා.

"මහාමේරු පර්වතය වගේ තිබ්බ සෝවියට් දේශයට කෙළපු එකා.."

විසිවන සියවසේ ලෝකයට බිහි වූ ශ්‍රේෂ්ඨතම නායකයෙක්

අපි කාලයක් තිස්සේ අන්තර්ජාතික භූ-දේශපාලනය ගැන කතා කරනවා. මිහායෙල් ගොර්බචොව් යනු මට අනුවනම් විසිවන සියවසේ ලෝකයට බිහි වූ ශ්‍රේෂ්ඨතම නායකයෙක්. ඔහුව අපේ රටේ නිසි ඇගැයීමකට ලක්වුණේ නැහැ. පූටින්ලා ගැන දන්නා බොහෝ අය ගොර්බචොව්ලා ගැන අහලාවත් නැහැ. නමුත් ගොර්බචොව්ගේ  යුගයේ දී මෙරට කොමියුනිස්ට් පාක්ෂිකයන් ඔහු ගේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉහළින්ම පෙනී සිටියා. යම් යම් හේතු නිසා මගේ ලැයිස්තුවේ ගොර්බචොව් ඉන්නේ ලෙනින්ටත් උඩින්.

ගොර්බචොව් ගේ ශ්‍රේෂ්ඨත්වය තමා මාතෘභූමියේ යහ පැවත්ම හා එහි පුරවැසියන්ගේ පුද්ගල නිදහස පිළිබඳව ඔහු දැරූ නිර්භීත මතය. ජීවිතයේ අවසානය දක්වා ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටියා.1995 දී ප්‍රකාශයට පත්කළ Life and Reforms නම් වූ පොතේ ඔහු සඳහන් කරන්නේ ආරම්භ කරන ලද ප්‍රතිසංස්කරණවල වගකීමෙන් ඔහු කිසිදා නිදහස් නොවන බවයි.

ඊළඟට ලෝකයේ අනාගතය වෙනුවෙන් ඔහුට තිබූ සංවේදී තිගැස්ම. ඔහු ඒ වෙනුවෙන් පියවරක් නොවෙයි පියවර ගණනාවක් පසුපසට ආවා. නමුත් ඒ පසුබෑම් නිසා ලෝකය ඉදිරියට ගියා. ඔහු තමන්ගේ ප්‍රබල පසමිතුරා වූ එක්සත් ජනපදය සමග දියුණු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයක් පවත්වා ගත්තා. න්‍යෂ්ටික අවිහරන ගිවිසුම් අස්සන් කළා.මේවා ඉතා හොඳ පරිකල්පනයක් ඇති දුර්ලභ නායකයෙකු ගේ ලක්ෂණ.

ගොර්බචොව්ට වැරදුණේ කොතැන ද...?

නමුත් පරම්පරා ගණනාවක් තිස්සේ නිදහස භාවිතා නො කරපු සමාජයකට නිදහස හඳුන්වා දීමට යෑම දැලි පිහියෙන් කිරිපැණි කනවා වැනි වැඩක්. එතැන තමයි ගොර්බචොව්ට වැරදුණේ. ඔහුට උපදෙස් දීමට ප්‍රමාණවත් දැක්මක් තිබුණු උපදේශකයන් පවා පක්ෂය තුළ ඉතිරි වී සිටියේ නැහැ. එවැනි සමාජයකට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී උරුමය කැඳවා දීමට අඩු වශයෙන් දශකයක් පමණ කැපකළ යුතුව තිබුණා.

මිහායෙල් ගොර්බචොව් ගේ දේශපාලනය ගැන ලිවීම ඔහුගේ මරණය ගැන ලිවීමට වඩා අපට වැදගත්. ඔහු පැරණි පරම්පරාවට අමතකව ගිය එසේම නව පරම්පරාව නො දන්නා සමාජවාදී දාර්ශනිකයෙක්; ලෝකය වඩා යහපත් තැනක් කිරීමට පැමිණි පුද්ගලයෙක්. ඔහු ගැන නො කියවූ අය මේ ලිපියට පවා පහර ගසාවි. තමන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔහු එදා සිටම කොම්ප්‍රදෝරු සමාජවාදීන් ගේ නින්දා අපහාසවලට ලක්වුණා. ගොර්බචොව් යනු දේශපාලන පරාජිතයෙක් ලෙස තමා ඔවුන් සකන්නේ.

නමුත් ගොර්බචොව් ජීවිතයෙන් නික්ම ගියේ පසුතැවීමක් නැති ජයග්‍රාහකයෙකු වශයෙන් බව කිව හැකියි.

(දෙසැම්බර් දෙසැම්බර් 26වන දිනට යෙදි තිබූ සෝවියට් දේශයේ බිඳවැටීම වෙනුවෙන් ලියූ ලිපියකි)

Shanaka Madhushan Liyanagama

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න