කොළඹ අහස උසට පෙනෙන මෙම අති දැවැන්ත ගොඩනැගිලි පෙනෙන විට රාජ්‍යයට ඉතා වේදනාකාරී හැගීමක් ඇති කරයි. ප්‍රධාන බහු කාර්‍ය ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් වන ග්‍රෑන්ඩ් හයට් හෝටලය, ද වන් (ක්‍රිෂ් ටවර්) , ඩෙස්ටිනි රෙසිඩන්සීස් සහ කොටුව වාහන නවතා තැබීම සඳහා ඉදිකර ඇති මහල් 10 කින් සමන්විත ගොඩනැගිල්ල ඇතුළු තවත් ව්‍යාපෘතිය ගණනාවක් කාලයත් සමග නටබුන් බවට පත් වී ඇති අතර, එය රටේ ආයතනික දුර්වලතා පිළිබඳ සංකේතයක් ලෙස පවතී.
වසර ගණනාවක් තිස්සේ, මෙම ගොඩනැගිලි රටේ දේශපාලන අස්ථාවරත්වය, දුර්වල පාලනය සහ දැවැන්ත මූල්‍ය නාස්තිය පෙන්නුම් කරන ස්මාරක ලෙස අගනුවරටත් ඉහළින් පිහිටා ඇත.
වඩාත් ම දෘශ්‍යමාන බාධක
මෙම අත්භූත ගොඩනැගිලි ප්‍රමාද වූ ඉදිකිරීම්වලට වඩා වැඩි යමක් පෙන්නුම් කරයි. ඒවා සංකේතවත් කරන්නේ ආයෝජක අවිශ්වාසය, පිරිහෙන නාගරික සෞන්දර්යය, බිලියන ගණනක නිෂ්ක්‍රීය ඝනී බවනය වී තිබෙන ප්‍රාග්ධනය සහ රටක් හැටියට ආරම්භ කරන දේ අවසන් කිරීමට අපොහොසත් බවට වර්ධනය වන මතයකි. ජාතියට විදේශ ආයෝජන දැඩි ලෙස අවශ්‍ය වන අවස්ථාවක, මෙම අතහැර දැමූ දැවැන්ත ව්‍යාපෘති ආර්ථික ප්‍රකෘතියට වඩාත්ම දෘශ්‍යමාන බාධකවලින් එකකි. මෙම ව්‍යාපෘතිවල බිඳවැටීම පද්ධතිමය දුර්වලතාවලින් පැන නගින බව පැහැදිලිය. එනම් පූර්ණ අධ්‍යයනයකින් තොරව ව්‍යාපෘති සඳහා අවසර ලබා දීම, දුර්වල කොන්ත්‍රාත් බලාත්මක කිරීම, අස්ථායී ප්‍රතිපත්ති, දේශපාලන මැදිහත්වීම්, දූෂණය සහ දුර්වල මූල්‍ය අධීක්ෂණය බඳු කාරණා දැක්විය හැකි ය. එහි ප්‍රතිඵලයක් ලෙස සංවර්ධකයින්ට අරමුදල් නොමැති වූ විට හෝ දේශපාලන බල හුවමාරු වූ විට, ඉදිකිරීම් නතර වී තිබේ. ශ්‍රී ලංකාවේ මෙවැනි තත්ත්ව නියාමන කිරීමට, සම්පූර්ණ කිරීම බලාත්මක කිරීමට හෝ අසාර්ථක ආයෝජන ඉක්මනින් නැවත ප්‍රතිව්‍යුහගත කිරීමට මෙවලම් නොතිබු බව පැහැදිලිව හදුනාගත හැකිය. අකමැති වුවත් එය පෙන්නුම් කරන්න රටේ අස්ථාවරත්වය යි.
කොළඹ ජාත්‍යන්තර ප්‍රතිරූපයට දැඩි හානි
දියුණු ආර්ථිකයන්හි, මහා පරිමාණ ව්‍යාපෘති සඳහා සම්පූර්ණ කිරීමේ ඇපකර, මූල්‍ය අරමුදල් සනාථ කිරීම, කාර්ය සාධන බැඳුම්කර සහ විනිවිද පෙනෙන ප්‍රසම්පාදනය අවශ්‍ය වේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව, සම්පූර්ණ සුරක්ෂිත මූල්‍යකරණයකින් හෝ දැඩි අධීක්ෂණයකින් තොරව රුපියල් බිලියන ගණනක ඉදිකිරීම් ආරම්භ කිරීමට ඉඩ දී ඇත. ආරවුල් ඇති වූ විට, නීතිමය ක්‍රියාවලීන් වසර ගණනාවක් ඇදී ගොස් තිබෙන අතර, ඒ හේතුවෙන් ගොඩනැගිලි දිරාපත් වෙමින් ඇත. එහි දැවැන්ත ආවස්ථික පිරිවැයක් ගැබ් වි තිබෙන බව අප අවබෝධ කරගත යුතු ය. විදේශීය ආයෝජකයින් අගනුවර මධ්‍යයේ ඇන හිට ඇති මෙම සංවර්ධන ව්‍යාපෘති තුළින් දකින්නේ දේශපාලන සහ ආයතනික අවදානම පිළිබඳ පැහැදිලි සාක්ෂි ය. ඒ හේතුවෙන් බොහෝ දෙනෙක් තම ආයෝජන ඩුබායි, වියට්නාමය, ඉන්දියාව හෝ මැලේසියාව යනාදි වඩාත් ස්ථාවර වෙළඳපොළවල් වෙත ගෙන යෑමට තීරණය කරනු ඇත. කොළඹ නගරයේ මෙම ප්‍රධාන ඉඩම් සහ වටිනා ගොඩනැගිලි භාවිතයට නොගෙන පවතින අතර ඒවා රාජ්‍යයට හෝ ආර්ථිකයට කිසිදු ආදායමක් උපයා නොදෙයි. බිලියන ගණනක් අඩක් ඉදිකර ඇති කොන්ක්‍රීට්වල සිරවී ඇත. එමගින් අත්හරින ලද ඉදිකිරීම් ස්ථාන අවට දේපළ වටිනාකම් ද අඩු කරයි, සංචාරක ආකර්ෂණය අඩු කරයි, එපමණක්ද නොව රට ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කරන තීරණාත්මක මොහොතක කොළඹ ජාත්‍යන්තර ප්‍රතිරූපයට දැඩි හානි සිදු කරයි. මෙවැනි තත්වයන් යටතේ ශ්‍රී ලංකාව තරගකාරී ආයෝජන ගමනාන්තයක් බවට පත් කිරීම අති විශාල අභියෝගයකි.
එම නිසා මෙම ගැටුම් නිරාකරණය කර ගැනීම සදහා බරපතළ ශක්තිමත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අනුගමනය කළ යුතුව ඇත. අත්හිටවා තිබෙන මෙම මෙගා ව්‍යාපෘති භාර ගැනීමට, මූල්‍යකරණය ප්‍රතිව්‍යුහගත කිරීමට, නව ආයෝජකයින් ගෙන ඒමට සහ වේගවත් නිම කිරීම සහතික කිරීමට ස්වාධීන ආයතනයකට බලය පැවරිය යුතුය.
කළ යුතු දේ...
සම්පූර්ණ කල හැකි මූල්‍යකරණ, බැංකු සහාය ලත් කාර්ය සාධන බැඳුම්කර, ස්වාධීන පිරිවැය විගණන, අනිවාර්ය ව්‍යාපෘති රක්ෂණය බඳු කාරණා සම්පූර්ණ කර නොගෙන කිසිම මෙගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා අවසර ලබාදීම නොකළ යුතු ය. ආයෝජකයකු අසාර්ථක වුවහොත් ඇපකරය සක්‍රීය කර ව්‍යාපෘතිය දිගටම පවතින බව සහතික කළ යුතු ය. එසේම රාජ්‍ය ආයතන විනිවිද පෙනෙන විගණන සහ දේශපාලන පත්වීම් නොමැති වෘත්තීයමය වශයෙන් කළමනාකරණය කළ යුතු ය. වේගවත් වාණිජ බේරුම්කරණය සහ ආණ්ඩු වෙනස් වන විට නීතිමය ගිවිසුම් වෙනස් කළ නොහැකි බවට සහතික විය යුතු ය. ඒ සඳහා අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති පෙර සූදානම් කරගෙන කටයුතු ආරම්භ කළ යුතු ය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය කෙරෙහි විශ්වාසය ගොඩනැගීමට නම්...
Grand Hyatt, The ONE ( Krish ) සහ Destiny සම්පූර්ණ කිරීමේ අයිතිවාසිකම් දැඩි කාල රාමු සහ මහජන විනිවිදභාවය යටතේ ගෝලීය ලංසු තැබීම සඳහා නැවත විවෘත කළ යුතු ය. කුමන තත්ත්වයක් යටතේ වුවත් මෙය හැකි ඉක්මනින් අවසන් කිරීමේ වගකීම රජය භාරගත යුතු ය. විසඳා ගැනීමට අපහසු කාරණා පසුවට තබා හෝ ව්‍යාපෘති අවසන් කළ යුතුව ය. ගෝලීය හෝටල් ක්‍රියාකරුවකු සමග රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් හරහා Grand Hyatt නැවත පණ ගැන්විය හැකි ය. ONE (Krish Tower) නීතිමය පිරිසිදු කිරීමකට භාජනය වී විශ්වසනීය ජාත්‍යන්තර සංවර්ධකයකුට නැවත පැවරිය හැකි ය. මුම්බායි සහ ක්වාලාලම්පූර් හි ප්‍රතිසංවර්ධන ආකෘතිවලට සමානව, ඩෙස්ටිනි රෙසිඩන්සීස් මිශ්‍ර ව්‍යාපෘතිය ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙස නැවත ස්ථානගත කළ හැකිය.
මෙම ව්‍යාපෘති සම්පූර්ණ කිරීම යනු ගොඩනැගිලි නිම කිරීම පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය කෙරෙහි විශ්වාසය නැවත ගොඩනැගීමකි. විශේෂයෙන් කොළඹ සහ වරාය නගරය තුළ මහා පරිමාණ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට රටට අවශ්‍ය නම්, ව්‍යාපෘති නියමිත වේලාවට, ස්ථාවර නීති යටතේ සහ විනිවිද පෙනෙන රාමුවක් තුළ නිම කළ හැකි බව පෙන්නුම් කළ යුතුය.
අප විනාශ කරන්නේ මොනවා ද...?
රටේ අගනුවර හදවතේ අතහැර දැමූ කොන්ක්‍රීට් යෝධයන් තවත් දශකයක් රටට දරාගත නොහැකි ය. එය පසු කරන්නෙ එක් දශකයක් පමණක් නොව අනාගත වසර තිහ හතළිහක් තුළ වේගයෙන් ඉහළට යා හැකිව තිබෙන කාලයකි. මෙම සංවර්ධන ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම මගින් අනාගත අසාර්ථකත්ව වළක්වා ගැනීම, ඉදිරි දශක සඳහා ශ්‍රී ලංකාව විශ්වසනීය නවීන තරගකාරී ආයෝජන ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා විධායකය, ව්‍යවස්ථාධායකය සහ අධිකරණය පමණක් නොව ජනතාවගේ ද පූර්ණ ආශිර්වාදය ලබාදිය යුතුව තිබේ. එසේ නැති වුවහොත් අප විනාශ කරන්නේ රටේ අනාගත පරම්පරාවන්ට ලැබිය යුතු ඉහළ ජීවන තත්ත්වයයි.
සාලිය නවරත්න

