බලය රැක ගැනීමට අතට අත දීම පමණක් ප්‍රමාණවත් ද...?

බලය රැක ගැනීමට අතට අත දීම පමණක් ප්‍රමාණවත් ද...?

ලෝක සිතියමේ බලවතුන් ලෙස වැජඹෙන රටවල් දෙස බලන විට අපට පෙනෙන්නේ ඉතාමත් ආකර්ෂණීය, ශක්තිමත් සහ ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි පින්තූරයකි.

විශේෂයෙන්ම ආසියාවේ දැවැන්තයා වන චීනය ගැන කතා කරන විට, ඔවුන්ගේ තාක්ෂණය, දැවැන්ත හමුදාව සහ ආර්ථික බලය හමුවේ ලෝකය ම දණ නමනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති. නමුත්, මෑතකාලීන ලෝක සිදුවීම් පෙළගැසෙන ආකාරය දෙස බැලීමේ දී පෙනී යන්නේ, මේ "බල පරාක්‍රමය" බොහෝ විට සර්කස් එකක කරන සංදර්ශනයකට වඩා වෙනස් නොවන බවයි.

අද අපි කතා කරන්න යන්නේ, තමන්ගේ රටේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය වෙනත් රටක ප්‍රචාරක යාන්ත්‍රණයන් මත විශ්වාසය තැබූ නායකයින්ට අත්වූ කණගාටුදායක ඉරණම ගැන ය. සමහර රාජ්‍ය නායකයින් සිතන්නේ බලවත් රටක් සම. අතට අත දීම පමණක් තමන්ගේ බලය රැක ගැනීමට ප්‍රමාණවත් බවයි.

ෂීක් හසීනා, නිකොලස් මදුරෝ සහ චීනය

මදුරෝ සහ චිනය 01 1බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂීක් හසීනා බලාපොරොත්තු වූයේ, තමන්ගේ දේශපාලන අර්බුදයක දී චීනය තමන්ගේ "ගැලවුම්කරුවා" ලෙස ඉදිරිපත් වනු ඇති බවයි. එසේම, වෙනිසියුලාවේ නිකොලස් මදුරෝ සිතුවේ ඇමරිකානු බලපෑම් හමුවේ චීනය තමන්ට නොසැලෙන පවුරක් වනු ඇති බවයි. නමුත් අවසානයේ සිදුවූයේ කුමක් ද? තීරණාත්මක මොහොතේ දී චීනය කළේ තමන්ගේ වාසිය පමණක් බලාගෙන නිහඬ වීමය. පසුගිය දා වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ චීන දූත පිරිසක් හමුවී මොහොතක් යන්නටත් මත්තෙන් ඇමරිකානු බලපෑම්වලට නතු වීම, චීනයේ "ආරක්ෂක සහතිකය" කෙතරම් දුර්වල ද යන්නට කදිම උදාහරණයකි.

චීනය සතුව ඇත්තේ ලෝකයම මවිත කරන ප්‍රචාරක යාන්ත්‍රණයකි. ඔවුන්ගේ හමුදා අභ්‍යාසවල වීඩියෝ දෙස බලන විට ඕනෑම අයෙකුට සිතෙන්නේ ඔවුන් පරාජය කළ නොහැකි පිරිසක් බවයි. නමුත් යුධ පිටියේ සැබෑ අත්දැකීම් සම්බන්ධයෙන් ඔවුන් සිටින්නේ ඉතා පසුපසිනි.

මීට හොඳම උදාහරණ හමුවන්නේ චීන ඉන්දියානු දේශසීමාවේ දී ය. ගල්වාන් නිම්නය, ඩොක්ලාම්, තවාන්ග් ප්‍රදේශවලදී චීන සෙබළුන් සහ ඉන්දීය සෙබළුන් මුහුණට මුහුණ හමු වූ අවස්ථාවල දී චීනයේ "සංදර්ශනකාරී" හමුදාවට සිදුවූයේ පසුබැසීමට ය.

දරුණු පෙනුම සැබෑ ගැටුමක දී ප්‍රායෝගික ද...?

ඉතිහාසය දෙස බලන විට, ඕනෑම බලවත් හමුදාවක් ශක්තිමත් වන්නේ ඔවුන් මුහුණ දුන් සැබෑ යුද්ධ ප්‍රමාණය අනුව ය. චීනය අවසන් වරට සැබෑ යුද්ධයකට මුහුණ දුන්නේ 1979 වසරේ දී වියට්නාමය සමග ය. එදින චීනය ලැබූයේ අමිහිරි පරාජයකි. එය ඔවුන්ගේ ඉතිහාසයේ මහා කළු පැල්ලමකි. නවීන උපකරණ තිබුණ ද, සැබෑ යුධ බිමක උපායශීලීව සටන් කිරීමේ සහ මානසික ශක්තියේ අඩුවක් ඔවුන් ගෙන් පෙන්නුම් කළේ ය. වීඩියෝ මගින් පෙන්වන දරුණු පෙනුම සැබෑ ගැටුමක දී ප්‍රායෝගිකව නැති බව එහි දී ඔප්පු විය.

බොහෝ රටවල් චීන රේඩාර් සහ ගුවන් ආරක්ෂණ පද්ධති මිලදී ගන්නේ තම රටේ ගුවන් සීමාව සුරක්ෂිත කර ගැනීමට ය. පකිස්ථානය සහ වෙනිසියුලාව මේ සඳහා විශාල පිරිවැයක් දැරූ රටවල් දෙකකි. නමුත් යථාර්ථය ඊට වඩා හාත්පසින්ම වෙනස් ය. සතුරන් ගේ ඩ්‍රෝන යානා සහ ප්‍රහාරක යානා රට අභ්‍යන්තරයට පැමිණෙන විටත්, චීන නිෂ්පාදිත රේඩාර් පද්ධතිවලට ඒවා හඳුනා ගැනීමට නොහැකි විය. චීන ADS පද්ධති ක්‍රියාත්මකව තිබියදී ම සතුරු යානා කිසිදු බාධාවකින් තොරව ඉලක්ක වෙත ළඟා වූ බව ඊයේ වෙනිසියුලාවෙන් වාර්තා විය. තාක්ෂණය කොතරම් අති නවීන යැයි පැවසුව ද, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවේ නම් එයින් ඇති ඵලය කුමක්ද?

ලෝක බලවතුන්ට ගැළපෙන උපමාව

අතීතයේ සිට එන ඉතා ගැඹුරු කියමනක් මෙහිදී මට සිහිපත් වේ, "ගිනි වළලු මැදින් පනින, මේසයක් උඩ දෙපයින් හිටගන්නා සර්කස් කොටියාට වඩා, ඕනෑම දවසක කැලේ ඉන්න වනචාරී ව්‍යාඝ්‍රයාට බිය විය යුතුයි."

මේ උපමාව අද ලෝක බලවතුන්ට මනාව ගැළපේ. සර්කස් කොටියා පුහුණු වී ඇත්තේ අනුන්ගේ විධානයන්ට අනුව වැඩ පෙන්වීමටයි. ඌ දකින්නට ලස්සන විය හැකිය, ඌගේ දස්කම් මවිත කරවන සුළු විය හැකිය. නමුත් ඌට වනචාරී සටන් අත්දැකීම් නැත. ඌ හුදෙක් ප්‍රදර්ශන භාණ්ඩයක් පමණි.

චීන හමුදාවේ "සර්කස්" දක්ෂතාව

සැබෑ යුධ පිටියක අවුරුදු ගණනාවක් අත්දැකීම් ඇති, පරණ AK-47 තුවක්කුවක් අතින් ගත් සෙබළෙක්, කිසි දිනෙක සැබෑ සටනකට මුහුණ නොදුන් නවීනතම උපකරණ සහිතමදුරෝ සහ චිනය 00 සෙබළෙකුට වඩා භයානක වන්නේ එබැවිනි. චීන හමුදාව සතු වන්නේ "සර්කස්" දක්ෂතාවයක් මිස සැබෑ ලේ, කඳුළු සහ මරණය හමුවේ ලැබූ සටන් අත්දැකීම් නොවන බව විචාරකයින් පවසන්නේ ඒ නිසාය. තාක්ෂණයට වඩා වැදගත් වන්නේ එය භාවිතා කරන මිනිසාගේ අත්දැකීම් සහ කැපවීමයි.

ලෝකය අද ඇත්තේ තීරණාත්මක සන්ධිස්ථානයකය, දශක ගණනාවක් ලොව පාලනය කළ බටහිර බලවතුන් සහ අනෙක් පසින් නැගී එන ආසියානු බලවතුන් අතර 'සීතල යුද්ධයක්' නිර්මාණය වී ඇත. මේ අතරමැද, අප වැනි කුඩා රටවල් මෙන්ම වෙනිසියුලාව වැනි සම්පත් බහුල රටවල් ද බල අරගලයේ "ගොදුරු" බවට පත්වෙමින් තිබේ.

චීන රේඩාර් පද්ධතියේ අසමත්බව

චීනය ලෝකයට විකුණන ප්‍රධානතම භාණ්ඩයක් වන්නේ ඔවුන්ගේ යුද තාක්ෂණයයි. විශේෂයෙන් ම ඇමරිකානු හෝ රුසියානු ආයුධ මිලදී ගැනීමට අපහසු රටවලට ඔවුන් ඉතා සහනදායී මිලට තම නිෂ්පාදන ලබා දෙයි. නමුත් මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ ඒවා ප්‍රායෝගික පරීක්ෂාවකට එනම් 'Combat Proven' ලක් නොවූ තාක්ෂණ වීම ය.වෙනිසියුලාවේ සහ පකිස්ථානයේ ස්ථාපිත කළ චීන රේඩාර් පද්ධතිවලට සතුරු යානා හඳුනා ගැනීමට නොහැකි වීම තාක්ෂණික දෝෂයකට වඩා එහා ගිය දෙයකි. එයින් පෙන්නුම් කරන්නේ සැබෑ යුදමය පරිසරයකදී ඇතිවන 'Electronic Jamming' හමුවේ චීන තාක්ෂණය අඩපණ වන බව ය.සැබෑ ලෝකයේදී ඇමරිකානු "පේට්‍රියට්" හෝ රුසියානු "S-400" පද්ධති යුද අත්දැකීම් රාශියක් ලබා ඇත. එහෙත් චීන පද්ධති තවමත් පවතින්නේ "ප්‍රදර්ශන" මට්ටමේ ය. නිකොලස් මදුරෝ ඇමරිකා අත් අඩංගුවට පත්වුණේ තම ගුවන් සීමාවට ඇතුළු වන සතුරු බලපෑම් හඳුනා ගැනීමට චීන පද්ධති අසමත් වූ නිසා ය.

චීනය සැමවිටම අනුගමනය කරන්නේ "අත පෙවීම් නොකිරීමේ ප්‍රතිපත්තිය" බඳු ලස්සන වචනයි. නමුත් මෙහි යටි අරුත නම්, "ඔබ අමාරුවේ වැටුණු මොහොතක අපි ඔබ වෙනුවෙන් පෙනී නොසිටිමු" යන්නයි. චීනයට අවශ්‍ය වන්නේ ව්‍යාපෘති, පොලිය සහ සම්පත් පමණි. බංග්ලාදේශයේ අර්බුදය දරුණු වූ විට චීනය නිහඬ විය. වෙනිසියුලාවේ මදුරෝට ඇමරිකානු පීඩනය එල්ල වන විට චීන දූත පිරිස කළේ අතට අත දී ඡායාරූපයකට පෙනී සිට පිටව යාම පමණි. චීන බුද්ධි අංශ මෙය නොදැන සිටියා ද? මෙය අප වැනි රට වලට දෙන විශාල පාඩමකි. "බලවතුන් ඔබ අසල සිටින්නේ ඔබ ශක්තිමත්ව සිටින තාක් පමණි!"

සාගර දියගම

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න